”උරහිසේ පටියක් තිබුණ නිලධාරියෙක් අත තුවක්කුව තිබුණා.”

0
86

DSCN0223(6.02pm)මෙම ප්‍රකාශය අද මීගමුව මහාඅධිකරණයේදී සාක්ෂි දුන් ගිහාන් මධුරංග නැමත්තා විසින්  ප්‍රකාශ කරන ලද්දේ  2011 මැයි මස 30 වනදින නිදහස් වෙළද කලාපයේදී සිදුවූ විරෝධතාවයකට තැබූ පොලිස් වෙඩි පහරින් තරුණයෙකු මියගොස් තවත් තරුනයෙකුට බරපතල තුවාල සිදුකිරීමට එරෙහිව චෝදනා ගොනුකොට ඇති නඩුවේ සාක්ෂි ලෙසය.. 2011 මැයි මස 30  වැනි  දින   දිනයකදී  කටුනායකදී  රොෂේන් චානක යන අය වෙඩි තබා මරණය සිදු කිරීම  හා  හීනටියන මුදියන්සේලාගේ මංගල සම්පත් කුමාර යන අයට මරණයක් සිදුවීමට හැකිවන ලෙස බරපතළ තුවාල ඇති වන සේ වෙඩි තැබීම  සිදු කළ බවට  ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නීතිපති විසින් චෝදනා ගොනු කර තිබිණි.
මෙලෙස චෝදනා ලබා ඇත්තේ එවකට සීදුව පොලිසියේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්.එම්. රත්නායක සහ එහි පරිසර ඒකකයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්‍ෂක ආර්.පී.කේ.එල්. රණසිංහ නමැති නිලධාරීන් දෙදෙනාය. මේ සම්බන්ධ නඩු විභාගයේ සාක්ෂි කැඳවිම දැනට දින 06ක් පුරා මීගමුව මහා අධිකරණයේ දී සිදුවිය. අද (22) මීගමුව මහා අධිකරණ විනිසුරු අමල් රවීන්ද්‍ර රණවිරාජ මහතා ඉදිරියේදී
පෙනී සිටියේ 2011 මැයි මස 30 වනදා වෙළද කලාපයේදී සිදුවූ ගැටුමේදී පොලිස් වෙඩි පහර කෑමට ලක්ව බරපතල ලෙස තුවාල ලත් මංගල සම්පත් කුමාර මහතාට වෙඩි තැබූ අවස්ථාවේදී  ඔහු අසල සිටි සහ ඔහුව රෝහලට ගෙනයාම සදහා මැදිහත් වූ ATG ආයතනයේ සේවකයන් තිදෙනෙකි. මොවුන් ශිහාන් මධුරංග, රන්ජන් බියන්විල රෙජිනෝල්ඩ්, කලුඅප්පුකන්හැදිගේ සිංහ බොබී යන අය වන අතර අද දින මීගමුව මහා අධිකරණය හමුවේ පෙනී සිට සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙන ලදී.
ශිහාන් මධුරංග යනු ATG ආයතනයේ ම  මංගල සම්පත් කුමාර සමග සේවය කළ සේවකයෙකි. පොලීසිය කම්කරුවන්ට පහරදෙන අවස්ථාවේදී  මංගල සම්පත් සහ ශිහාන් මදුරංග  ප්‍රධාන ගේට්ටුවෙන් එළියට පැන දිවගොස් ඇත්තේ් ක්‍රිස්ටල් මාටින් ෆැක්ටරියට  දිසාවටය. ඊට මීටර් 100 පමණ නුදුරින් සිටින විට පොලිසිය විසින් වෙඩි තැබූ බව අද අධිකරනයේදී සාක්ෂි දුන් 26 හැවිරිදී ශිහාන් මධුරංග පවසා සිටින ලදී. තවදුරටත් සාක්ෂි දුන් ඔහු,

”අපි දෙන්න ෆැක්ටරියට මීටර් 100 ක් විතර ලගින් හිටියේ. ඊට පස්සේ මංගලට වෙඩි වැදුණා. ඊට පස්සේ මම මංගලව උස්සලා එතන තිබුණ ලොරියකට දැම්මා. උරහිසේ පටියක් තිබුණ නිලධාරියෙක් අත තුවක්කුව තිබුණා. අපිට වෙඩි තියද්දී රතිඤ්ඥා සද්දයක් වගේ තමා ඇහුණේ. මීටර්  300ක නුදුරින් තමා වෙඩි සද්ද ඇහුණේ. පොලිස් නිලධාරීන් 15ක් පමණ හිටියා. පස්සේ මම වෙනත් පාරකින් ෆැක්ටරිය ඇතුළට ගියා. පස්සේ දැනගන්ඩ ලැබුණා  මංගලව  රෝහලට අරගෙන ගියා කියලා.”
පැමිණිල්ලේ අවසරය මත ශිහාන් මධුරංගට උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් සැරයන්වරයෙක්ගේ නිල ඇඳුම හඳුනාගැනීමට අවශ්‍ය උදාහරණ දෙකක් ලෙස විවෘත අධිකරණයට සජීවී ලෙස පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කැදවන ලදී. එහිදී ශිහාන් මධුරංග විසින්  තමා එදින දුටු ආකාරයට උප පොලිස් පරීක්ෂකවරයාගේ ඇඳුම හඳුනා ගන්නා ලදී.
මෙම නඩුවේ නැවත සාක්ෂි ජූලි මස 09,10,18 වන දිනවලදී කැඳවන ලෙස මහාඅධිකරණ විනිසුරුවරයා නියෝග කරන ලදී.
මෙම නඩුවේ පැමිණිල්ලේ පාර්ශවය වෙනුවෙන් නිතිපති දෙපාර්තමෙන්තුව නියෝජනය කරමින් අධිනීතිඥ උදාර කරුණාතිලක සහ තිස්ස විජේසූරිය යන නීතිඥවරුන් පෙනී සිටියහ. වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන්  ජේ්‍යෂ්ඨ නීතිඥ හර්ෂ නානායක්කාර මහතා සහ  ජේ්‍යෂ්ඨ නීතිඥ සුමුදු හීන්කේන්ද මහත්මිය පෙනී සිටින ලදී.