මීගමුව සහ කටාන MOH කලාප වල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ පැහැදිලි අඩුවිමක් තිබෙන බව එම කලාප වල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් පවසති. මේ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවිය විසින් කරන ලද විමසීමකට අනුව මීගමුව MOH කලාපයේ අගොස්තු මස 16 වනවිට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 147ක් වන අතර කටාන MOH කලාපයෙන් වාර්තා වී ඇත්තේ රෝගීන් 157 කි. මෙම තත්ත්වය ඉතාම යහපත් තත්ත්වයක් ලෙස සැලකිය හැකි වුවත් මෙමගින් ඩෙංගු උණ වසංගතය ව්‍යාප්තියේ අඩුවක් හෝ අවධානමේ අඩුවක් ලෙස සැලකිය නොහැකි බව ඔවුන් සඳහන් කර සිටිති. මේ ප්‍රමාණයට ඩෙංගු රෝගීන් ගණන අඩුවීමට හේතුව මීගමුව හා කටාන ප්‍රදේශ තුළ දිනපතාම සිදුකළ හා සිදුකරමින් සිටින ඩෙංගු වැලැක්වීමේ හා දැනුවත්කිරීමේ විවිධ වැඩසටහන් හා ශ්‍රමදාන සිදුකිරීම බවද පරිසරයේ ඇතිකළ පිරිසිදු කිරීම් හේතුකොට ගෙන මේ මාසය තුළ ඩෙංගු රෝගීන්ගේ අවපාතයක් පෙන්නුම් කර ඇති බව ද තවදුරටත් එම නිලධාරීන් අවධාරණය කර සිටිති.
ජූලි මාසයේදී මීගමුවේ ඩෙංගු රෝගීන් 3000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අතර කටාන ප්‍රදේශය තුළ ඩෙංගු රෝගීන් 950ක් වාර්තා විය.
මේ අතර අගොස්තු මාසය තුළ පෙන්නුම් කරන ඩෙංගු රෝගීන් වැඩි ප්‍රදේශ වන්නේ මීගමුව තුළ හඳුනාගෙන ඇත්තේ පෙරියමුල්ල සහ දළුපත යන ප්‍රදේශ වන අතර කටාන තුළ ඩෙංගු වැඩි කලාප ලෙස අක්කර පනහා,කටුවපිටිය,සෙල්ලකන්ද ,දෙමංහන්දිය යන ප්‍රදේශ හඳුනාගෙන තිබේ. ඉදිරියේදී ඇතිවිය හැකි මද වැසි තත්ත්වයන් වලදී ද නැවතත් මදුරු ගහනය වැඩිවිය හැකි බවත් එබැවින් ඩෙංගු මදුරුවන්ගේ වර්ධනය වැලැක්වීමට නිරන්තරයෙන් පරිසරය හා නිවාස පවිත්‍රව තබාගත යුතු බවටද මහජන පරීක්ෂක කාර්යාලය අවධාරණය කර සිටියි