අච්චාරු මාමා ගැන පරම්පරා තුනක කථා …

0
53

පසුගිය දිනක  අප වෙබ් අඩවිය මගින් මීගමු නගරයේ වසර 35කට වඩා වැඩ කාලයක් තිස්සේ සිට අද දක්වාම පලතුරු අච්චාරු, වෙළඳාමේ යෙදෙන අච්චරු මාමා හෙවත් ටියුඩර් තිලකරත්නයන් පිළිබඳව විශේෂාංග ලිපියක් පළ කලා.

එලෙසම අප එම විශේෂාංග ලිපිය අප වෙබ් අඩවිය හා සම්බන්ධ මීපුර ෆේස් බුක් පිටුවේද පල කලා.ඒ සදහා මේ වන විට ඉහල ප්‍රථිචාර ලැබෙන්නට පටන් ගෙන තිබුණා.

“මහත්තයෝ මේ ලිපිය දැකල මට මුලින්ම කථා කරල තිබුනේ ඉතාලියේ ඉන්න අපි දන්න කට්ටියක්.

තවත් ගොඩක් අය මම ගැන ඉන්ටර්නෙට් එකේ තිබුන කියල කිව්වා”

අපි ටියුඩර් හමුවෙන්න ගිය දවසක ඉහත ප්‍රකාශය කලේ හරිම සතුටකින්..

මේ ප්‍රතිචාර පාදක කර ගනිමින් මීගමු ජනතාවගේ ආදරයට ලක් වූ මෙි අච්චරු මාමා පිළිබඳව තවත් සටහනක් මෙලෙස තබන්නට අප කල්පනා කළා.

අච්චාරු මාමා ලෙස කවුරුත් ආදරයෙන් හඳුන්වන ටියුඩර් තිලකරත්න මීගමු නගරයට පලතුරු අච්චාරු වෙළඳාමට එන්නේ මීට අවුරුදු 35 කට වගේ කලින්. එදා ඉඳන් අද දක්වාම ඔහු මේ වෙළඳාම තමන් ළඟට නිතිපතා එන අයට තමන් අතින් ඉටුවිය යුතු වගකීමක් යුතුකමක් විදියට තමයි කරගෙන ආවේ. එනිසා ඔහු ලඟට දවස ගානේ විශාල පිරිසක් එනවා මේ පලතුරු අච්චාරු අරන් යන්න. එහෙම විශාල පිරිසක් එන නිසා තමයි , ඔහුට අවුරුදු 35 ක් වගේ දිගු කාලයක සිට අද දක්වාම එකම තැනක ඉඳලා මේ විදිහට මේ වෙළඳාම කරගෙන යන්න හැකි වෙලා තියෙන්නේ.
ඒ පිළිබඳව ඔහු මෙහෙම කියනවා.

” මහත්තයෝ මාව හොයාගෙන එන්නේ මගේ අච්චාරු කාල බලලා ඒවා හොඳ හින්දනේ. මගේ තියෙන විශේෂය තමයි, එක දවසක් මගෙන් අච්චරු ගන්න කෙනා, අනිත් දවසෙත් මාව අනිවාර්යෙන්ම හොයාගෙන එනවා . මගේ වැඩක් තියෙනවා, මා ළඟට අච්චාරු ගන්න එන කෙනාව මම හුඟක් සතුටු කරලා තමයි යවන්නේ. එයා ගෙවන මුදලට එයාට සතුටු වෙන විදිහට මම අච්චාරු ටික දෙනවා. ඒක නිසා වෙන්න ඇති මාව හැමදාම වගේ මේ වගේ ලොකු පිරිසක් මාව ම මේ විදිහට හොයාගෙන එන්නේ”

අච්චරු මාමා පිළිබඳව මෙලෙස නැවත වරක් දෙවන සටහනක් තබන්නට ප්‍රධාන වූ තවත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි ඔහු මීගමු නගරයේ සිට කෙරෙන මේ පලතුරු අච්චාරු වෙළදාම තුලින් පරම්පරා තුනකට මේ පලතුරු අච්චාරු රසය බෙදා හදා දීලා තියෙනවා.

මේ පිළිබඳව අපට මුලින්ම අදහස් දැක්වූයේ මීගමු සාන්ත ජෝසප් වීදීයේ පදිංචි දිලානි මහත්මියයි.

පාසල් ඇරී ඇයගේ කුඩා දරුවා රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ අච්චාරු මාමාගෙන් අච්චාරු රැගෙන යාමට ඇය සිය දරුවා ද සමඟින් පැමිණ සිටියා. එහිදී ඇය කියා සිටියේ ඇයගේ දෙමව්පියන් ඇයට ටියුඩර් අංකල්ගෙන් අච්චාරු රැගෙන දුන් බවයි. එලෙසම ඇයත් ඇයගේ කුඩා දරුවත් මේ වන විට ටියුඩර් අන්කල්ගේ අච්චාරු රස බලන බවත් , ඔහුගේ අච්චාරු රස මෙන්ම, පිරිසිදු බවද ඇය පවසනවා. ඇය සිනහමුසුව පවසන්නේ ” ටියුඩර් අන්කල් අපිට වැඩියත් අච්චාරු දෙනවා. ඒ වගේම එයා අපිට ණයටත් අච්චරු දෙනවා ” යනුවෙනි.

එමෙන්ම අච්චාරු මාමාගෙන් අච්චාරු රැගෙන යෑමට පැමිණ සිටි කඩොල් කැලේ ප්‍රදේශයේ ඇග්නස් මහත්මිය කියා සිටියේ මෙවැන්නකි.

” මම ඉස්කෝලේ ගියේ නිවුස්ටඩ් එකට. මමත් ඉස්සර ඉස්කෝලේ ඇරලා යද්දි මෙතනින් අච්චාරු අරන් ගිහින් කනවා. පස්සේ මගේ දුවලා දෙන්නත් ඉස්කෝලේ ගියේ නිවුස්ටඩ් එකට. ඒ කාලේ ඒ දෙන්නත් මගෙන් සල්ලි ඉල්ලා ගන්නවා ,මෙතනින් අච්චාරු ගන්න කියලා. දැන් අද මම මගේ ලොකු දුවගේ දුව, ඒ කියන්නේ මගේ ලොකු මිනිබිරී එයත් යන්නේ නිවුස්ටඩ් එකට. මේ එයාව ඉස්කෝලේ ඇරිලා එන ගමන්.ඉතින් එයාටත් අච්චාරු කන්න ඕනෙලු. මේ ආවේ එයාටත් අච්චාරු ටිකක් අරන් දෙන්න. මේ අච්චාරු වල රස එදා වගේමයි තවමත්. අනිත් එක අපි සල්ලි දීලා ඉල්ලන ප්‍රමාණයට වඩා ගොඩක් අපිට මෙයා දෙනවා “.;

එමෙන්ම සිය සත් හැවිරිදි එකම පුතුට අච්චාරු රැගෙන යෑමට පැමිණි වැල්ල වීදියේ ප්‍රදේශයේ පදිංචි අසංක පෙරේරා මහතා පවසන්නේ වැඩිහිටි අයට සේම කුඩා දරුවන්ට ද පලතුරු ගුණදායක බැවින් මෙලෙස පලතුරු අච්චාරු ලෙස හෝ දරුවන්ට ලබාදීම ඉතා හොඳ බවයි.

වෙනත් කඩවල් වල තිබෙන කෙටි කෑම වර්ග අයිස් ක්‍රීම් ඇතුළු කෝලා බීම වැනි දෑ ලබාදීම දරුවන්ට අහිතකර බැවින් මෙලෙස පලතුරු ලබාදීම විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකර නිසා දිනපතාම පාහේ තම දරුවාට මෙම ස්ථානයෙන් අච්චාරු රැගෙන දීමට පැමිණෙන බව ඔහු පවසනවා.

මේ ආකාරයෙන් බලන කල අච්චාරු මාමා හෙවත් ටියුඩර් තිලකරත්නයන් මීගමුවට සුවිශේෂී පුද්ගලයෙකි.

අප ඔහු සම්බන්ධයෙන් එලෙස පවසන්නේ ඒ ඔහු පිළිබඳව අපගේ ප්‍රථම විශේෂාංග ලිපිය සඳහා අප මුහුණු පොතට ලැබුණු පාඨක ප්‍රතිචාර හේතුවෙනි. එසේම ඔහු වෙනුවෙන් ඔහුට ලැබුණු අප පාඨක ප්‍රතිචාර පිළිබඳව මේ සටහන තබන්නට ඔහු හමුවන්නට ගිය මොහොතේ අපට මුණගැසුණු පිරිස ඔහු සම්බන්ධව පැවසූ අදහස් සහ එම ප්‍රතිචාරයන් නිසා ම මීගමුවට පමණක් නොව මීගමු නගරයට ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන බොහෝ දෙනෙකු අතර ඔහු ඉතාමත් ජනප්‍රිය පුද්ගලයෙක් ලෙස ද හඳුන්වාදීව හැකිය. තමන් සුළුවෙන් හෝ කරන සිය වෙළඳාම තුළින් තමන් සොයා එන පාරිභෝගිකයින්ට ඔවුන්ගේ තරාතිරම නොබලා තමන්ට හැකි පමණ ලෙස ඔවුන් තෘප්තිමත් කරන්නටද ඔහු වග බලා ගනියි. ඉන් ඔහු ලබන්නේ අසීමිත සතුටකි. ඇත්තෙන්ම ලාභයම පමණක් සොයා යන ව්‍යාපාරිකයන්ට පරම්පරා තුනකට නොඅඩුව අච්චාරු රස සැපයූ මීගමුවේ අච්චාරු මාමා හෙවත් ටියුඩර් තිලකරත්න වැනි අය කදිම ආදර්ශයකි.