අත්තනගල්ල ජල ව්‍යාපෘතියෙන් ලක්ෂ 06කට පිරිසිදු පානීය ජලය…

0
70

ගම්පහ දිස්ත්‍රික්කයේ යෝජිත අත්තනගල්ල ජල ව්‍යාපෘතිය මඟින් ප්‍රතිලාභ ලබන අත්තනගල්ල ගම්පහ,මිනුවන්ගොඩ,මහර සහ මීරිගම ආසන නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඉල්ලීම පරිදි විශේෂ සාකච්ඡාවක් 2016.01.19 වන දින පැලවත්ත පිහිටි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය මඟින් ලක්ෂ 06කට පමණ ප්‍රතිලාභ අත්වෙන අතර ග්‍රාම නිලධාරී වසම් 449ක් මීට අදාළ වේ. දිනකට මීටර් කියුබ් 54,000ක් පිරිපහදු කිරීම මින් සිදුවේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ අධික ජනගහණය හේතුකොට ගෙන පානීය ජලය සැපයීමේ ගැටළුවක් පවතින අතර ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම වැනි කාරණා පදනම් කර ගෙන පිරිසිදු පානීය ජලය ලබා දීමේ දී විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.ඒ අනුව කටාන ජල ව්‍යාපෘතිය ‍මෙන්ම ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති මඟින් අවශ්‍ය ජලය ලබා දීමටත් කටයුතු කරන අතර පාරිභෝගික ජනතාවද පිරිසිදු පානීය ජලය සුරැකීම සඳහා පියවර ගත යුතු බව පෙන්වා දුන්නාය._DSC0562

මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් ඇය ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදාළ ආසන වල පැවැත්වෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කම්ටු රැස්වීම් වලදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට යොමු කරන ලෙස හා මැති ඇමතිවරුන් ඉදිරිපත් කරන පානීය ජලය පිළිබඳ ඉල්ලීම් විශේෂයෙන් සළකා බලා ජනතාවට අවශ්‍ය මූලික පහසුකමක් වන ජලය ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.තමන් විෂය භාර කැබිනට් අමාත්‍ය රවුෆ් හකීම් මහතා සමඟද සාකච්ඡා කොට ඊට අදාළ විසදුම් කඩිනමින් ලබා ගැනීමට පියවර ගන්නා බව වැඩි දුරටත් සඳහන් කළාය.

මෙ‍ම අවස්ථාවට සහභාගී වූ  මැති ඇමතිවරුන් පෙන්වා දුන්නේ ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී මාර්ග සංවර්ධන අධිකාරිය වැනි ආයතන සමඟද සම්බන්ධීකරණය ඉතා වැදගත් බවත් එමඟින් ජල ව්‍යාපෘති වෙනුවෙන් නල එලීම් ආදී කටයුතු වලදී දැරීමට සිදුවන අමතර පිරිවැය වලක්වා ගැනීමට එමඟින් හැකි වන බවයි._DSC0551

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න,ඩුලිප් විජේසේකර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් මාන්නප්පෙරුම,හර්ෂණ රාජකරුණා,ප්‍රසන්න රණතුංග,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ අන්සාර් මහතා ඇතුළු ආයතනයේ නිළධාරීන් ඊට සහභාගී විය.