අති උතුම් අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ට ආයාචනයක්…..

0
74

CARDINAL 1

.කොළඹ  අගරදගුරු  අතිඋතුම්  මැල්කම්  රංජිත්  හිමිපාණන්  පැවැත්වූ  මාධ්‍ය  සාකච්ඡාවක්  පිළිබඳ  ප්‍රවෘත්තියක්  2019- 07- 31වනදින රාත්‍රි  7.00  සිරස  රූපවාහිණියෙන්  විකාශනය විය.  එහිදී  උන්වහන්සේ   අවධානය  යොමුකර  තිබුනේ  අප්‍රේල්  21  පාස්කු  ඉරිදා  සිදුවූ  ත්‍රස්තවාදී  ප්‍රහාරය  පිළිබඳව  අපක්ෂපාතී  හා  ස්වාධීන  පරීක්ෂණයක්  කරන්නැයි  ආණ්ඩුවට  යම් බලපෑමක්  කරන්නටය.
අප  දැනුවත්ව  මෙම  ප්‍රහාරය  සිදුවූ  වහාම  ජනාධිපති  මෛත්‍රීපාල  සිරිසේන  විසින්  මේ  සම්බන්ධව  කමිටුවක්  පත්කර  තිබිණ.
ඊට  පසුව  පාර්ලිමේන්තුව  නියෝජනය  කරන  සියළු  පක්ෂවල  එකඟතාව  මත  පාර්ලිමේන්තු  තේරීම්  කාරකසභාවක්  පත්කරන්නට  කථානායකවරයා  තීරණය  කර  තිබිණි.
ඒ  සඳහා  සියළු  පක්ෂ  එකඟතාව  පළකර තිබුණු  නමුත්   තේරීම්  කාරක සභාව පත්කිරීමේදී   ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂය  සහ  පොදුජන  එක්සත් පෙරමුණ  ඒ  සඳහා  තම  නියෝජිතයින්  නම්කර  නොතිබිණ.  යෝජිත  පාර්ලිමේන්තු  තේරීම්  කාරකසභාව  පුළුල්  බලතල  සහිතව  සහ  මාධ්‍යට විවරකර  තිබීම  එහි  යහපත්  ලක්ෂණයකි.
පක්ෂ භේදයකින්  තොරව  ඔනෑම  අයෙකුට   එහිදී  සාක්ෂි දීටත්  අවශ්‍ය  ඕනෑම  කෙනෙක්  කමිටුව  ඉදිරියට  කැඳවීමටත්  තේරීම්  කාරකසභාවේ  ඉඩ හසර  විවරව  තිබීම  තවත්  යහපත්  ලක්ෂණයකි.  ජනාධිපති  මෛත්‍රීපාල  සිරිසේන  පත්කළ  කමිටුවට  වඩා  මෙම  කමිටුව  නීත්‍යානුකූල  බවින්ද  විනිවිද  පෙනෙන  සුළු  බවින්ද  යුතුබව  අපට  පෙනේ.  අතිඋතුම්  කාදිනල්  හිමිපාණන්  උන්වහන්සේගේ මාධ්‍ය සාකච්ඡාවේදී  ඉල්ලූ  පරිදි  අද  දේශපාලන  අදහස් වලින් තොර   ස්වාධීන  කමිටු  සෑදීම  කොතෙක්දුරට  ප්‍රායෝගිකද  යන්න  ගැටළු සහගත   බව  අපට පෙනේ.
එයට  හේතුව  වන්නේ  මේ වනවිට    ආගමික   සංස්ථාවන්   පවා  කාදිනල්  හිමිපාණන්  කෙසේ  කීවද   දේශපාලනයට  බරවී  තිබීමය.  අප  දකින  සත්‍ය  එයයි.රොෂෙන්roshen-1

වැලිවේරිය,  රතුපස්වල  ඝාතනය  ,  කටුනායක  රොෂේන්  චානක  ඝාතනය  පිළිබඳව  අති උතුම්  කාදිනල්  හිමිපාණන්   සිහිපත් කර  තිබිණ.   ඇත්තෙන්ම  ඒවා  යටයා නොදී  ඉස්මත්තට  ගතයුතුය.   රොෂේන්  චානක  ඝාතනයේදී  එවක  ආණ්ඩුව  හැසුරුණු  ආකාරය   ශ්‍රීලංකා  කතෝලික  සභාවට  කෙසේ වෙතත්  එදා  එම  අවමඟුලට  සහභාගීවූ   අපටනම්  අපුල දනවන  සුළුවිය.
රොෂේන්  චානකගේ  මරණයේ  ආගමික  චාරිත්‍ර  පවා  සිදුවූයේ  එවක  ආණ්ඩුවට  වුවමනා  විදියටය.  ඊට එරෙහිව  සභාව  ඒ මොහොතේ  කිසිදු  විරෝධතාවයක්  නොදැක්වීය.
අප්‍රේල්  21 ප්‍රහාරය  පිළිබඳව  පාර්ලිමේන්තු  තේරීම්  කාරකසභාවට   ශ්‍රි. ල. නි. ප  හා  පො. ජ. පෙරමුණ  සහභාගී  වූවානම්  එහි  සාක්ෂිදෙන  අයගෙන්  වඩා  විධිමත්  ලෙස  අවශ්‍ය  කරුණු    මතුකර ගැනීමට  මීටවඩා  හැකියාව   තිබෙන්නට  ඉඩ  තිබිණි.
අති උතුම්  කාදිනල්  හිමිපාණන්  ඒ පිළිබඳවද   අවධානය  යොමු කළේ නම්  ප්‍රශස්තය.
එසේම  පසුගිය  ආණ්ඩු  සමයේ  සිදුවූ  පාසැල්  සිසුන්  කිහිප දෙනෙකු  සමඟ  11  දෙනෙකු  කප්පම්  ලබා ගැනීම  සඳහා  පැහැරගෙනගොස්   මරා දැමීම , බන්ධනාගාරගතකර  සිටි  24  දෙනෙක්  ම්ලේච්ඡ  ලෙස  ඝාතනය  කිරීම ,  උතුරේ  හා  දකුණේ   මාධ්‍යෙව්දීන්   ඝාතනය  හා  පැහැර ගැනීම  ,  අතුරුදහන්  කිරීම  වැනි  ආණ්ඩුවේ  ත්‍රස්ත  ප්‍රහාර  පිළිබඳව  අපක්ෂපාත   පරීක්ෂණ  ඉල්ලා  සිටීමට  අති උතුම්  කාදිනල්  හිමිපාණන්  සක්‍රීයව  මැදිහත් වූයේ නම්  එතුමාට  විරුද්ධව    එකිනෙකා  අතර  ඇතැයි  එතුමා  සඳහන්  කරන  විවිධ  විවේචන  එතුමාට  එල්ල  නොවනු  ඇත.  පත්තර  කාරයෝ  කාටුන්  නොඅඳිනු   ඇත.
මෛත්‍රීපාල  සිරිසේන  වැනි  බාලගණයේ    දේශපාලනඥයින්   වීරයින්  සේ  කථානොකරනු  ඇත.   රාජපක්ෂලා  වැනි  අයට  ඔවුන්ගේ  ගොඩට  උන්වහන්සේ   දමාගැනීමට  ඉඩක්  ඉතිරි  නොවනු  ඇත. “ ඌරන්  ඉදිරියේ   මුතු  බිම  නොදමන්න ,,  යන  බයිබලීය  පාඨයක්  හා  අපේ  ගැමියන්  අතර    ව්‍යවාහාර  වන  “  රන් මුද්දක්  දැමූ  අතකින්   ටොක්කක්  කෑවත්  කමක් නැත ,,   යන   ආප්තෝපදේශයන්  සිහි ගැන්වීමටද  අවශ්‍ය නොවනු  ඇත.
ඒ  සියල්ලටමත්  වඩා  එම  මාධ්‍ය  හමුවේදී  අති උතුම්  කාදිනල්  හිමිපාණෝ   දේශපාලකයින්ට  බරපතල  අනතුරුහැගවීමක්  කර  ඇත.  පාස්කු  බෝම්බ  ප්‍රහාරය  පිළිබඳව  ස්වාධීන  හා  අපක්ෂපාතී  පරීක්ෂණයක්   සිදු  නොකරන    කිසිවෙකුට  ඉදිරි  ජනාධිපති  වරණයේදී   අපේක්ෂකයෙකු  ලෙස  උන්වහන්සේ  බැහැදකින්නට   අවසර  නොලැබෙන  බවය.
ඉතාමත්ම  අගනේය.   එසේම  සමස්ත  ශ්‍රී ලාංකික  ජනතාව  වෙනුවෙන්   අතිඋතුම්  කාදිනල්  හිමිපාණන්ට  මෙම  කරුණුද  අවධාරණය  කළ  හැකිය.

  1. 1. අප්‍රේල්  ප්‍රහාරය 21 පිළිබඳව   දැනසිටි  පාර්ලිමේන්තු  මන්ත්‍රීන්  225  දෙනාම  අහිංසක  ජනතාව  වෙනුවෙන්  කිසියම්ම  දෙයක්  නොකළ  බව  පිළිගනිමින්   ජනතාවගෙන්  ප්‍රසිද්ධියේ  සමාව  අයැද  සිටිය  යුතුය.  ඒ  පිළිබඳව  කිතුණු   මැති  ඇමතිවරුන්  ප්‍රසිද්ධ  පාප උච්චාරණයක්  කළ  යුතුය.

2  අඩුම  තරමින් පසුගිය  දශක  තුනක  කාලයේ  සිට  දේශපාලනයේ  නියුතු  සියළු  මැති ඇමතිවරුන්  පසුගිය  සමය  තුළ  යුද්ධයෙන්  පරිබාහිරව  මේ රටතුළ  සිදුවූ  මනුෂ්‍ය  ඝාතන ,  අතුරුදහන්  කරවීම්,  ප්‍රසිද්ධ  පහරදීම්  පිළිබඳව  වගකිවයුතු  පුද්ගලයින්  ලෙස  කරන ලද  නොතකා  හැරීම්  පිළිබඳව  ප්‍රසිද්ධියේ  ජනතාවගෙන්  සමාව  අයැද සිටිය  යුතුය.

  1. පසුගිය  දශක  තුන  තුළම  නීතියේ  ආධිපත්‍යට  එරෙහිව  කටයුතු  කරමින්,  අධිකරණ  තීරණ  වලට  එරෙහිව  කටයුතු  කරමින්  රටේ  නීතිය  හරියාකාරව  ක්‍රියාත්මක  වීමට  ඉඩ  නොදීම  පිළිබඳව  ආණ්ඩුවේ  හා  විපක්ෂයේ  සියළු  මන්ත්‍රීවරුන්    ජනතාව  ඉදිරියේ  සමාව  අයැද සිටිය යුතුය.
  2. පසුගිය  දශක  තුනක  කාලය තුළ  රටේ  පොදු  ජනතාව  සහ  දේපල  අයතා ලෙස  පරිහරණය  කරමින්  හා  කොල්ලකමින්   සිදුකළ  නාස්තිය,  දූෂණය  පිළිබඳව  වගකිව යුත්තන්  ලෙස  පක්ෂ  විපක්ෂ  මැති  ඇමති  සියළු දෙනා  ජනතාවගෙන්  සමාව  අයැද සිටිය  යුතුය.
  3. මේ  වසරේ  පැවැත්වෙන  ජනාධිපතිවරණයට  පෙර  මීට  දශක තුනකට  ඉහත සිට  පත්කළ  ජනාධිපති  කොමිෂන්  ආදී   සියළු  කොමිෂන්  සභාවල  වාර්තා   රට වැසියාගේ  දැනුවත්වීම  සඳහා   නොපමාව  ප්‍රසිද්ධ කළ යුතුය.

මේ  කරුණුද  මාධ්‍ය  හමුවකදී  ප්‍රකාශකළේ නම්   අතිඋතුම්  මැල්කම්  රංජිත්  කාදිනල්  හිමිපාණන්  එදා  මාධ්‍ය  හමුවේදී  උන්වහන්සේ  අවධාරණයෙන්  පැවසූ  විවිධ  අය  තමන්  වහන්සේට  ඒ  හෝ  මේ  දේශපාලන  මඩ ගොහොරුවට  තල්ලු  කරන්නට  උත්සාහ  නොකළ යුතුය   යන්නද  රටවැසි  සැමට  ඒත්තු  යනවා  ඇත.  මෙරට  මජර  දේශපාලනයේ   නිමග්නව  සිටින   දේශපාලකයින්ට  එය  සැබෑ  අවවාදයක් ද  වනු  ඇත.  අති උතම්  මැල්කම්  රංජිත්  හිමිපාණන්ට   ඒ  කිතුනු  හයිය  ලැබේවා !
ස.බ වෙල්ගම