අතුරුදහන්වුවන්ගේ ස්මාරකයට පල්ලියෙන් සහ පොලිසියෙන් යළිත් බාධා…

0
326

සීදුව රද්දොළුව මංසන්ධියේ ඉදිකර ඇති අතුරුදහන් වුවන්ගේ ස්මාරකය එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙසින් බලපෑමක් මතුවන්නට පටන් ගත්තේ 2011 වසරේදිය. එයට මුලිකත්වය ගෙන තිබුනේ රද්දෝළුව දෙව්මැදුරේ ප්‍රසාද් පියතුමා ඇතුළු මීසම් සේවක කමිටුව විසිනි.

1989 ඔක් 27 වනදා එම ස්ථානයේදි මරාදැමුන ලයනල් සහ රංජිත් මරාදැමිමෙන් පසු ගෙවුන සෑම වසරකදිම අතුරැදහන් වුවන්ගේ සැමරැම සෑම වසරකදි පැවැත්වුන අතර ඒ වෙනුවෙන් වු විශේෂ ස්මාරකයක් ඉදි කිරිමෙන් පසු මේ ගෙවෙන්නේ 12 වන වසරයි.

මියගියවුන්ට ගරුබුහුමන් දැක්විම කිසියම් සමාජයක ශිෂ්ඨත්වය මනිනු ලබන මිම්මක්ව පවතින සමයක රාජපක්ෂ පාලනය යටතේ අද ලාංකීය සමාජය ඇද දමා ඇත්තේ අශිෂ්ඨත්වයේ මාවතටය.මේ අශිෂ්ඨත්වයට උතුරැ දකුණු බේදයක් නැත.

උතුරේ සටන් වැද මිය ගිය තරුණයන්ගේ ස්මාරක සහිත සොහොන් බිම් සියල්ල බිමට සමතලා කරමින් ලොවටම කියා පෑ අශිෂ්ඨත්වය දකුණේ පාර්ලිමේන්තුව අසල ඉදිකර තිබු අහිංසකයන්ගේ ආරාමය විනාශකරමින් තවදුරටත් තහවුරු කරනු ලැබ තිබේ.මේ අශිෂ්ඨත්වයේ සෙවනැල්ල දැන් කතෝලික සභාව හරහාද පැතිර යන්නට පටන්ගෙන තිබේ.

තමන්ගෙන් උදුරාගනු ලැබු ඒ ආදරණියන් සමරන්නට දකුණේ ඇති එකම තැනට ඒ වයෝවෘද්ධ මාපියන් පැමිණෙන්නේ තම වේදනාව මදක් හෝ තුනි කරගන්නටය.මේ  මාපියන් පඩිපෙළ නැග ස්මාරකයේ ඇති පින්තූරයට මලක් තබා පල්ලිය වත්තට පියමැන්නේ එතැන  තබා ඇති කුඩා දොරටුව හරහාය.

2011 වසරේ ප්‍රසාද් පියතුමාගේ මුලිකත්වයෙන් මේ කපොල්ල වසා දැමුනේ පල්ලියේ දේපොල රැක ගන්නටය.මේ නිසා මහළු වයසේ පසුවු දෙමව්පියන් මහත් අපහසුවකට පත් වු අයුරු අප පසුගිය ඔක්තෝබර් 27 වනදා දුටුවෙමු.

මෙ අපහසුතාවට පිළියමක් ලෙසින් තවත පඩිපෙළක් තැනිමට අද දින අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ පිරිසක් සුදානම් වු අවස්ථාවේ ඒ ස්ථානයට පොලිසියෙන් පැමිණ එය නවතා දමන ලෙසින් ඉල්ලා තිබුනේ කිසියම් පුද්ගලයෙක් විසින් 119 වලට කරන ලද පැමිණිල්ලක් අනුවය.

තමන් ගේ කටයුත්ත පොලිසියට නවතා දමන්නා කිසිදු අයිතියක් හෝ පදනමක් නැතැයි පවසන අතුරැදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් අද සවස් වරුවේ මේ පියගැටපෙළ නිමකර තිබුණි.හෙට දිනයේ එයට කෙබදු ඉරණමක් අත්වේදැයි තමන්ට ස්ථිර නැති බව ඔවුහු පවසති.

රටපුරා සමාරක විනාශ කරමින් අතුරුදහන්වුවන්ගේ මතකය බලහත්කාරයෙන් අමතක කර දමන්නට පෙළගැසෙන සියළු බලවේග වලට එරෙහිව ඔක්තෝබර් 27 වනදා රද්දොළුවට පැමිණෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.