අද සිට ගම්පහ දිස්ත්‍රික්කයේ සතොස සහ සමූපකාර අලෙවිසැල් විවෘතයි..

0
68
රටෙහි උද්ගත වූ වත්මන් තත්වය හමුවේ මේ වන විට ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් පාරිභෝගික ජනතාව වෙත අත්‍යවශ්‍ය පාරිභෝජන භාණ්ඩ සාධාරණ මිළකට බෙදා හරින්නේ කෙසේද යන කරුණ අරමුණු කරමින් සාකච්ඡාවක් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා පාරිභෝගික භාණ්ඩ සඳහා වගකීම පැවරී ඇති රජයේ ආයතන රැසක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ  දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා, “ඇඳිරි නීතිය බලපවත්වන ප්‍රදේශ වලට අත්‍යවශ්‍ය පාරිභෝජන භාණ්ඩ සාධාරණ මිළකට බෙදා හරින්නේ කෙසේද යන කරුණ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ අනුව හෙට දින සිට ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම සතොස අලෙවි සැල්, සමූපකාර ප්‍රාදේශික සහ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල විවෘත වෙනවා. වැලිසර ආර්ථික මධ්‍යස්ථානයද ඒ අනුව විවෘත වෙනවා. ඒ ස්ථාන වලින් භාණ්ඩ බෙදා හැරීම සඳහා ඒ ඒ ප්‍රදේශ වල ප්‍රාදේශීය ලේකම්වරුන් හා පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයන් ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කර ගත යුතුයි. අපි හිඟයකින් තොරව ඒ ඒ ප්‍රදේශ වල සතොස අලෙවිසැල් සහ සමූපකාර සමිති වලට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ටික අඛණ්ඩව ලබා දීමට උත්සාහ දරනවා. ඊට අමතරව ධීවර සංස්ථාව ජංගම සේවා මඟින් මාළු අලෙවි කිරීමත් පොල් සංවර්ධන මණ්ඩලය පොල් අලෙවි කිරීමටත් ජාතික කිරි මණ්ඩලයෙන් කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමටත් එකඟතාවය ඇති කරගත්තා.” යනුවෙන් පැවසීය.
දිණමි