අපේ ජීවිත ගෙනියන්න දැන් රෝද තුනට බෑ….

0
128

මේ වනවිට සමාජයේ හරස් කඩක් ගෙන විමසා බලන විට විවිධ පැති වලින් ආර්ථිකයේ කඩා වැටීමක් මිස සංවර්ධනයක් දැකිය නොහැක. මෙකී කාරණය බරපතල ලෙස දැනෙන රැකියාවක් වශයෙන් ත්‍රිවිල් රියදුරන්ගේ රැකියාව හැඳින්විය හැක. මුල් කාලීනව ගත්විට ත්‍රීවිල් රියදුරන් හට තමන්ගේ පවුල් නඩත්තු කිරීමට අමතරව තමන්ගේ වෙනත් අවශ්‍යතාද ඉටුකර ගැනීමට මෙම රෝද තුන ප්‍රයෝජනවත් විය. දිනකට ලැබෙන ආදායම හොඳ තත්වයේ පැවති බැවින් එ් අනුව කිසිදු ගැටළුවක් මතුනොවූනු අතර ජීවිත්වීම සඳහා එය පහසු මාර්ගයක් විය. එබැවින් වෙනත් රැකියාවන්හි නියුතු වූ අය , විශ්‍රාමිකයන් යන විවිධ පිරිස් ත්‍රිවිල් මිලදී ගනිමින් රැකියාවක් ලෙස ත්‍රිවිල් රියැදුරකු වශයෙන් කටයුතු කිරීමේ ප්‍රවනතාවයක් සමාජය තුළ දක්නට තිබින. මේ අනුව විවිධ නාමයන්ගෙන් ත්‍රිවිල් සංගම්ද බිහිවිය.


නමුත් අදවනවිට විශේෂයෙන් කොරෝනා තත්වය සමඟ රටපුරා විසිරී සිටින ත්‍රිරෝද රථ රියදුරන්ට මෙම ආර්ථික කඩාවැටීම බරපතල ලෙස දැනෙන්නට පටන් ගෙන ඇත. මේ ගැන ත්‍රීවිල් රියදුරෙක් වන සේන මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.


” අපේ 41 දෙනෙක් ඉන්නවා. සමහර වෙලාවට උදේ අපි ආවහම දවල් 12.00 විතර වෙනව ටර්න් එක හම්බ වෙනකොට. මේ වෙනකොට රුපියල් හාර පන්සියයක් වගේ ගානක් තමයි ලැබෙන්නෙ. සමහර දාට එහෙමවත් නැති අවස්ථා තියෙනව. ඉස්කෝල සහ ප්‍රයිවෙට් ක්ලාස් නැතිඑක අපිට ගොඩක් බලපාන කාරණයක්.ළමයි දෙතුන් දෙනෙකු ඉන්න පවුල් වලට දැඩිලෙස මේ තත්වය බලපානවා. ඩීසල් ලාබ වුනාට ත්‍රීවිල් කොටස්වල මිල ඉහළ ගිය නිසා තත්වය තවත් බරපතලයි.


ඉහතකී තත්වය මත ත්‍රීවිල් රියැදුරා පමණක් නොව වෙනත් විවිධ කටයුතුවල නියැලී සිටි පිරිස් දැන් වෙනත් රැකියා කෙරෙහි අවධානය යොමු කරන බව පේනවා. සමහරු එලවළු වෙළඳාම, බිත්තර සහ කුකුළු මස් විකිණීම, අලළුෑනු විකිණිම ආදී විවිධ රැකියාවන් කිරීම සඳහා පෙළඹී තියෙනවා. මේ තත්වය අනුව ඉදිරියේදී මෙම ආර්ථික අර්බුධය හමුවේ වෙනදා ගතකළ ජීවිතයට වඩා දැඩි ප්‍රවේශමකින් මෙන්ම සිහියෙන් කටයුතු කරන ලෙස සෑම පුද්ගලයෙකුටම බල කෙරී තිබෙනබව පැහැදිළිවේ.
සැම්සන් ඥානසිරි