අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට පාර්ලමේන්තුවේදී අවසන් ගෞරව

0
266

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ මන්ත්‍රීවරයෙකු හා හිටපු කථානායකවරයෙකු වූ ජෝශප් මයිකල් පෙරේරා මහතා පසුගියදා අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතාගේ දේහයට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අද (30) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව දැක්වූහ.

එමෙන්ම නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විරුද්ධ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.


1941 සැප්තැම්බර් 15 වන දින උපත ලැබූ ජෝශප් මයිකල් පෙරේරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වැනි කථානායකවරයා ලෙස 2001 දෙසැම්බර් 19 සිට 2004 පෙබරවාරි 7 දක්වා කටයුතු කළේය.

1964-1967 ජා-ඇල නගර සභාවේ තේරී පත් වූ මන්ත්‍රීවරයෙක් ලෙස සක්‍රීය දේශපාලනයට එක්වූ ඒ මහතා පසුව 1967-1970 ජා-ඇල නගර සභාවේ උප සභාපති ලෙස පත් වි 1970-1971 ජා-ඇල නගර සභාවේ සභාපති හා 1971-1976 විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේය. 1976-1977 පළමු ජාතික රාජ්‍ය සභාවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා 1977-1978 දෙවන ජාතික රාජ්‍ය සභාවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද 1978-1988 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙක් ලෙසද ඒ මහතා කටයුතු කර තිබේ.
ඉන් අනතුරුව ඒ මහතා 1989 සිට 2015 දක්වා පාර්ලිමේන්තු නියෝජනය කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය , කම්කරු අමාත්‍ය , ධීවර අමාත්‍ය ඇතුළු අමාත්‍යධුර ගණනාවක්ද හෙබවීය.