විහිළුව හුදු විහිළුවක්ම නොවේ (Joke is not just a joke) යන්න සුප්‍රකට කියුමකි. ඉන් අදහස් වනුයේ සෑම විහිළුවක් තුළම කිනම් හෝ යටි අරුතක් ද ගැබ්ව ඇති බවකි. එමෙන්ම විහිළුව, කවටකම, සරදම හෝ ඉංගිරිසියෙන් සිංහලකරණය වූ අන්දමට “ජෝක් එක”ආදී වශයෙන් හැඳින්වෙන වගාලාපයන් වලට වඩා ඒවායේ පරිනත අවස්ථාවන් වන හාස්‍යය(Humour) ප්‍රහසනය (Comedy) තුළ ද ඊට වඩා ගැඹුරු යටි අරුත් තිබීමේ පහසු හැකියාවක් තිබේ. එමෙන්ම ඒවා ද පුද්ගල, ප්‍රජා හෝ සමාජමය චර්යාවන් සංසිද්ධීන් ඉලක්ක ගත ඒවා බව ද පෙනේ.
යම් කලකට පසුව ඉහත සඳහන් වැටහීම මගේ මනැස තුළ යළි ස්ථාපිත වූයේ පසුගිය දිනයෙක “අමරබන්දු මල් ශාලාව”ට ගොස් ඉන් පිටතට පැමිණි මොහොතේ ය. එහෙත්, එම මල් ශාලාව අප රටේ තබා මේ මිහිපිට වත් දක්නට ලැබෙන්නක් නොවේ. එය මට හමු වූයේ ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය ශිල්පී ගිරිරාජ් කෞශල්‍ය ගේ කතා සංකල්පයක් සහ තිර පිටපතකට අනුව ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන ” ජයප්‍රකාශ් ශිවගුරුනාදන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘කාසි වාසි’ සිනමා කෘතියෙනි. මට මුලින්ම දැන ගන්නට ලැබුණේ “කාසි වාසිනු හුදු රසිකයන්ට විනෝදාශ්වාදය ලබා දීමේ අරමුණින් නිපදවුණු ප්‍රහසනාත්මක චිත්‍රපටයක් බව ය. එහෙත්, එවන් අදහසක් පෙරදැරි ව නිපදවුණු සිනමා කෘතියක් මල් ශාලාවක්, අවංමගල්‍ය සේවා ආයතනයක් නැතහොත් සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කිවහොත් මිනී පෙට්ටි සාප්පුවක් කේන්ද්‍රගතව නිර්මාණය වූයේ ඇයි ද ? යන්න පිළිබඳව බලවත් කුකුසක් මා තුළ ඇති විය. ඊට හේතුව එවන් ආයතන සාමාන්‍ය ජන සමාජයේ ඕනෑම අයකු තුළ දුක, ශෝකය, කලකිරීම, බිය ආදී නොපහන් හැගීම් තොග පිටින් පිබිදුවීමට සමත් වන බැවිනි. විශේෂයෙන් අවමංගල භාණ්ඩ සහ සේවා සපයන ආයතනයක් දර්ශන පසුතලයක එහි ඇති මිනී පෙට්ටි ඇතුළු අවමංගල්‍ය සේවා උපකරණ සහිත රූප රාමු අතුරින් හාස්‍ය රසයක් ඉස්මතු කිරීම අතිශය අසීරු අමාරු කාරියකි.ශව භීතිකාව (Necrophobia)නම් වන මානසික අර්බුදයෙන් පෙළෙන්නවුනට එවැනි තැනක නම ඇසුණු විට උන් හිටි තැන් පවා අමතක වේ. ඒ ශව භීතිකාව එතරම් මානසික කැළඹීම් තත්වයක් වන බැවිනි.
ඒ අනුව එවන් ස්ථානයක් කේන්ද්‍රගතව හාස්‍ය රසයක් ජනනය කිරීම සුවිශේෂ ප්‍රතිභාවන් සහිත ප්‍රහසනවේදීන්ට හැර සෙස්සන් හට කළු ගලක් හාරා ජල උල්පතක් මතු කර ගැනීම වැනි කාරියකැයි මට සිතෙයි. එහෙත්, ‘කාසි වාසි’ චිත්‍රපටය තුළින් එවන් ස්ථානයක් තුළ ඇති වන සාමාන්‍ය සංසිද්ධීන් තුළින් කිසියම් හාස්‍ය රසයක් ලබා දීමට තිර කථා රචකයා සහ අධ්‍යක්ෂවරයා ගන්නා අසීරු උත්සාහය සිනමා කෘතියේ මුල් අර්ධයේ දී විශේෂයෙන් කැපී පෙනෙයි. ඒ සඳහා මා දන්නා අන්දමින් බොහෝ අවමංගල්‍ය සේවකයන් නොකරන අන්දමට මෘත ශරීර සම්බන්ධ උපහාසාත්මක කතා කීම සහ මිනී පෙට්ටි තුළ නිදා ගැනීම් ආදී සිදුවීම් කිහිපයක් ද අමරබන්දු මල්ශාලාවේ සේවකයන් තිදෙනාගේ වදන් සහ ක්‍රියා මඟින් එළිදක්වා ඇත්තේ ඔවුන් හුදෙක් විකටයන් හෙවත් ජෝකර් ලා බවට පත් කරමිනි.ඔවුන්ගේ විහිළු සඳහා සිනාසීම හෝ නොවීම ප්‍රේක්‍ෂකයන්ගේ මානසික මට්ටම් අනුව සිදු වන්නක් බැවින් ඒ උදෙසා අලගු තැබීමට මම අදහස් නොකරන මම පැත්තකට වෙමි.
නමුත් ‘කාසි වාසි’ චිත්‍රපටයේ සැබෑ ජීව ගුණය ඉස්මතු වනුයේ එහි දෙවන අර්ධයේ දී ය. ඒ අමරබන්දු මුදලාලි ගේ බිරිඳගේ ඥාති පුත්‍රයකු වන විශ්ව කර්මගේ සහ දේශපාලනඥයාගේ සම්ප්‍රාප්තියත් සමඟිනි.මට හැඟෙන දැනෙන ආකාරයට වත්මන් නොවිධිමත් නව ලිබරල්වාදී සමාජ ආර්ථිකයේ සංකේතයක් වන විශ්ව කර්ම පවසනුයේ ලොව රටවල් ගණනාවක් සම්බන්ධ අත්දැකීම් හා සබැඳි මොහොතින් මොහොත වෙනස් වන ලෝකයට ගැලපෙන නවීන වාණිජ උපාය මාර්ග රැසක් තමන් සතු බවකි. ඒ අනුව අමරබන්දු මුදලාලි ගෙන් ඔහුගේ මල් ශාලාව භාර ගැනීමට පෙර විශ්ව කර්ම පවසන ඒ නවතම ගෝලීය තත්වයන් හුදෙක් දේශීය ව්‍යාපාරයක් ලෙස මල් ශාලාව පවත්වා ගෙන යන අමරබන්දු මුදලාලිට හෝ ඔහුගේ බිරිඳට නොවැටහේ.මා ද නොයෙක් වර අත්දැක ඇති අන්දමට එය ඉතා කදිම සමාජමය නිරූපණයකි.
අමරබන්දු මල් ශාලාවේ කළමණාකාරීත්වය භාර ගත් සැනින් විශ්වකර්ම එහි සේවකයන් තිදෙනාට දෙන මුල්ම උපදෙස වනුයේ නවීන ලෝකයේ ප්‍රධානතම වාණිජ උපාය මාර්ගයක් වන පාරිභෝගිකයන් සිනා මුසු මුහුණින් පිළිගත යුතු බවකි. එහෙත්, තම පවුලේ සාමාජිකයකු ගේ හෝ සමීපතමයකු ගේ මරණයක් වූ සැනින් අවමංගල්‍ය සේවා සපයා ගැනීම පිණිස ශෝක භරිතව පැමිණෙන්නවුන් හා සිනහ වීමේ හෙවත් සතුටු මුහුණක් පෑමේ අයෝග්‍යතාව විශ්ව කර්මට නොවැටහේ. එමෙන්ම අවමංගල්‍ය භාණ්ඩ අලෙවිය ප්‍රවර්ධනය කිරීම පිණිස තෝරා ගත් නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා මිනී පෙට්ටි සඳහා අඩු මිල සේල් පැවැත්වීම විශ්ව කර්මගේ තවත් උපාය මාර්ගයකි. එමගින් ඔහු විශ්වාස කරනුයේ අප සමාජයේ සාමාන්‍ය පාරිභෝගිකයන් මෙන් මිනී පෙට්ටි ලාබෙට ගත හැකි වීම මත ඒවා මිල දී ගන්නවුන් අධිපරිභෝජනයට පෙළඹීම නිසා මිනී පෙට්ටි අලෙවිය ඉහළ යන බවකි. එසේම තවත් පිරිසක් තම නිවෙස් වල තබා ගැනීම පිණිස මෙම ලාභ කළ සේල් එකෙන් වැඩිපුර මිනී පෙට්ටි ද මිලට ගත හැකි බව ද විශ්ව කර්ම සිතයි. එමෙන්ම වත්මන් වෙළඳ ලෝකයේ පාරිභෝගිකයන් ආකර්ශනය කෙරෙන බහුලම වෙළඳ උපාය මාර්ගයක් වන ‘නොමිලේ!’ යන සාටෝපකාරී වදන පෙරදැරි කර ගත් වෙළඳ උප්පරවැට්ටිය ද අමරබන්දූ මල් ශාලාවට ආදේශ කිරීමට විශ්ව කර්ම අදහස් කරයි. එපමණක් ද නොවේ.පාරිභෝගික ආකර්ශනය සඳහා වත්මන් වෙළඳ ලෝකයේ බහුලවම දක්නට ලැබෙන නිරූපණය (Demonstration) මඟින් ද අමරබන්දු මල් ශාලාවේ සේවය ජනතාවට හඳුන්වා දීමට අදහස් කරන විශ්වකර්ම එහි දී යොදනුයේ අපූරු උපාය මාර්ගයකි. එනම් එම මල් ශාලාවේ සේවකයන් දෙදෙනෙකුට එම්බාම් කොට සකස් කළ මෘත ශරීර සේ අන්දනවා ඔවුන් දෙදෙනා මල් ශාලාව ඉදිරියේ සකස් කළ විශේෂ ආවරණයක් තුළ වූ මිනී පෙට්ටි දෙකක් තුළ ප්‍රදර්ශනය කරවීම ය. ඒ අනුව තම සේවකයන් මෘත ශරීර බවට පත් කොට හා ලාභය උපරිමයකට ගෙන ඒමට වෙර දරන හාම්පුතුන් හා විශ්ව කර්ම පුත්‍රයා අතර වැඩි වෙනසක් නැතැයි මට සිතේ. එමෙන්ම රටක් වශයෙන් අප අත්හදා බලන ගිරයෙන් ගොයම් කැපීම වැනි ඇතැම් නව සංවර්ධන උපාය මාර්ගයන් ද විශ්ව කර්මගේ මෙම ක්‍රියාවන්ට අනුරූප බව මගේ වැටහීම ය. ‘කාසි වාසි’ සිනමා කෘතිය සඳහා ගුණය ලබා දෙන ඊළඟ චරිතය වන දේශපාලනඥයා අමාත්‍ය පදවියක් ලබා ගැනීම පිණිස ඕනෑම පහත් වැඩක් කොට එළඹෙන මැතිවරණය ඉහළින් දිනීමට වෙර දරන මන්ත්‍රීවරයෙකි.එදා මෙදා තුර තම ප්‍රතිවාදීන් සේම තමන් සමඟ එකම පක්ෂයකින් පෙරමුණකින් දේශපාලන බලය ලබා ගැනීමට පොර බදන සෙස්සන් හොඳින් හෝ නරකින් බිම හෙලීමේ ආත්මාර්ථවාදී දේශපාලන සංස්කෘතියක් පවත්නා අප රටේ ජනතාවට “කාසි වාසි” සිනමා කෘතියේ එන දේශපාලනඥයාගේ චරිතය අප කිසිවකුටත් ආගන්තුක නොවේ.
මැතිවරණය ආසන්තම දිනයෙක නාගයකු දෂ්ඨ කිරීමෙන් මරණයට පත් වන සිය අනුගාමියකු ගේ මෘත ශරීරය සිය මැතිවරණයේ ප්‍රචාරක කටයුතු උදෙසා මාසයක් කල් තබා ගැනීමට අදහස් කරන දේශපාලනඥයා ඒ සඳහා උපකාර පතනුයේ අමරබන්දු මල් ශාලාවේ විශ්ව කර්ම ගෙනි. මැතිවරණ දිනය එන තුරු එම මෘත දේහය පෙළපාලිවල රැගෙන යාමට හා ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කරවීම එම දේශපාලනඥයාගේ අරමුණ ය. එහෙත්, එම අනුගාමිකයාගේ මරණය දේශපාලනය හා සම්බන්ධ නොවූවක් නිසා එම මෘත දේහය එවැනි භාවිතයකට ගැනීමේ අයෝග්‍යතාව සිය අනුගාමිකයන් පෙන්වා දෙන විට එම දේශපාලනඥයා සැහැල්ලුවෙන් පැවසූ කතාව සමාජයේ පවත්නා අවිචාරවත් බව සම්බන්ධ ගැඹුරු යථාර්ථ නිරූපණයකැයි මට සිතේ.එනම් ‘මිනිස්සු ඕවා ගැන හොයන්නේ නෑ’ යන්න ය.අප සමාජයේ බහුතරය තම දේශපාලනමය තීන්දු තීරණ වල දී පවා ප්‍රඥාව යටපත් කොට හැඟීම් මුදුන් පමුණුවා ගැනීම පිළිබඳ ඒ දේශපාලනඥයා කරන කතාවට මගේ විශ්වාසය හා පිළිගැනීම අනුව ළකුණු සියයෙන් සියයම හිමි විය යුතු ය… කෙසේ හෝ දේශපාලනඥයා ගේ එම සංකල්පය විශාල මුදලක් අත්පත් කර ගත හැකි ව්‍යාපාරික ගනුදෙනුවක් බැවින් එම මෘතදේහය සම්බන්ධ සියළු අවමංගල කටයුතු අමරබන්දු මල් ශාලාව මගින් ඉටු කර දීමට විශ්ව කර්ම මහත් කැමැත්තෙන් ඉදිරිපත් වේ. එහෙත්, ඔහුට ඒ සඳහා අවකාශ නොලැබෙනුයේ මිය ගිය අනුගාමිකයාගේ පුතු පැමිණ තම පියාගේ අවමඟුල් කටයුතු තම අභිමතය අනුව සිදු විය යුතු බව පවසමින් විශ්ව කර්මට මරණ තර්ජන එල්ල කිරීම නිසා ය.
නමුදු කිනම් හෝ මෘත දේහයක් යොදා ගෙන ඊළඟ මැතිවරණයෙන් තම ජයග්‍රහණය තහවුරු කර ගැනීමේ තම අදිටනින් බැහැර නොවන දේශපාලනඥයා ඒ සඳහා කොහෙන් හෝ මෘත දේහයක් සොයා ගන්නට යුහුසුළු වේ.ඔහුට අමරබන්දූ මල් ශාලාව ඉදිරියේ මෘත ශරීර දෙකක නිරූපණයන් ඉදිරිපත් කරන එහි සේවකයන් දෙදෙනා දක්නට ලැබෙනුයේ ඒ සඳහා තම අනුගාමිකයන් සමඟ සංචාරය කරන අතරේ ය.
“එක මිනියට මිනී දෙකක්ම තියනවා” යනුවෙන් එහි දී සතුටින් ඉපිළ පවසන ඔහු තම අනුගාමිකයන් ද සමඟ මෘත ශරීර වෙස් ගත් සේවකයන් දෙදෙනා අල්ලා ගැනීමට වෙර දරනුයේ එය තම දේශපාලන අවශ්‍යතාව ඉටු කරගැනීම පිණිස වන කදිම අවකාශයක් බැවිනි. එවිට ඉන් බියපත් වන සේවකයෝ පාරට පැන දුවන්නට පටන් ගනිති. එමෙන්ම තම අනුගාමික පිරිස ද සමඟ ඔවුන් ඇල්ලීමට දුවන අතරේ හටගන්නා හදිසි හෘදයාබාධයක් වැළඳෙන දේශපාලනඥයාට සිදුවනුයේ අනෙ`කකු ලවා ව්‍යාජ ලෙස නිරූපණය කිරීමට වෙර දැරූ මෘත ශරීර භූමිකාව සත්‍ය ලෙසම සමාජය හමුවේ නිරූපණය කොට මෙලොවින් සදහටම සමු ගැනීමට ය. “කාසි වාසි” තුළින් අප රටේ ජනප්‍රිය රංගනවේදීන් කිහිප දෙනකු ජෝකර්ලා බවට පත් කිරීම රසික මනැස් වල ආතති මෝචනය සඳහාත් ඊට බද්ධ කොට ඇති ප්‍රේම ජවනිකා රසිකයන් තුළ අරුමැසි හැඟීම් පිබිදුවීම ඉලක්ක කොට ගෙන ඇති බව පෙනෙයි.ප්‍රේක්ෂකයන් ඒවා පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම මත එම අංග වල අනාගතය තීරණය වනු ඇත.
මෙම සියළු තත්වයන් යටතේ “කාසි වාසි” සිනමා කෘතියෙන් විචාරයට බඳුන් වන වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථිකය හිසක් නොමැති මනාව වැඩෙමින් පවතින කඳක් මෙනි.ඒ සඳහා හිසක් සවි කිරීමට පුද්ගල පවුල් ප්‍රජා හෝ සමාජ වශයෙන් අපට කළ නොහැක. එහෙත්; ඒ සම්බන්ධයෙන් අපට කළ හැකි ඉතා වැදගත් කාරියක් තිබේ. එනම් පුද්ගලයා පවුල් ප්‍රජා හා සමාජමය වශයෙන් අපේ හිස් සිඳීමට බාහිර කිසිදු බලවේගයකට ඉඩ නොදී අපේ හිස් නිවැරදි සවිමත් හා සෘජු ආකාරයට ඒවා ස්ථාපිත කර ගැනීම ය. මගේ වැටහීම අනුව “කාසි වාසි” ඔස්සේ හමුවන අමරබන්දු මල් ශාලාවෙන් වත්මන් සමාජයේ ජීවත් වන අපට ලබා ගත හැකි ලොකුම වාසිය එයයි.
තිලක් සේනාසිංහ