දැන් ඉතින්
මැදින් මාසෙත් ඉවරයි
සඳුත් අඳුරම මතුරයි
එකල්හි
අකල්හි හමන අච්චාන් සුළඟට
එරබ ඳු නෙත් කෙවෙනි පිපිරී
ලේ ගලයි.
නොනගතය අංග විකලයි
ඒත් අවුරුදු තරුණයි,
කොවුලා ගීත ගැයුවත්,
කපුටු කූඩුව විතරයි..
හොට ඇරී ගී බිම වැටෙන කොට
අලුත් අවුරුදු සමරයි
පංචා අතක් දාන්න ආසයි
එත් ගොංගෝ නෑ
ඔංචිලි වාරමක් ලඹ දෙයි
එත් රැකුල් ගන්නට වෙර නෑ
මිනිස් ගිනි මැලයකින්
රත් කෙරෙන රබානක් පුපුරයි
මහ සිකුරාදා එන්නෙත්
අවුරුද්ද ළඟ ළඟමයි
මීන රාශිය මේන රාශිය
රිදී තිහකට විකුණයි
වන්නියට ගෙත්සෙමෙන සමවන
සොදුරු සිහිනෙට වෙඩි වදින විට
අහර වළදන නැකතයි
හිසෙහි තෙල්ගල්වන්න එනුමැන
කුරුස ගහ යට සෙවනයි
පාස්කුව එන බක්මහේ මැද
සොහොන් ගර්භය විවරයි
ජාතියක උත්තානයට පෙර
වන්නි ගම්දොර නිසලයි…
මංජුල වෙඩිවර්ධන – ( මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි )