අහිංසකයන්ගේ කඳුළු විකිණිමේ දේශපාලනය!

0
229

FB_IMG_1574472547335ජනාධිපතිවරණයෙ ප්‍රතිඵලය නිර්මාණය වෙන්න වස්තුබීජය වෙච්චි නගරය කුමක්දැයි ඇහුවොත් ඒ වෙන කොහෙවත් නෙවෙයි ඒ මීගමුව ය.

පාස්කු ප්‍රහාරය හා දේශානුරාගය
————————————–
ජනපතිවරණයට මාස 7කට පමණ පෙරාතුව එනම් 2019 අප්‍රේල් 21 දින මුස්ලිම් අන්තවාදීන් විසින් මීගමුව ආසන්න කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දෙව්මැදුරට සිද්ධ කළා වූ එකී පාස්කු ප්‍රහාරය හරහා ඇති කළ ත්‍රස්ත කිරීම රටේ මුලු මහත් සිංහල බෞද්ධ ජනප්‍රජාව තුළ ජාතික ආගමික අනුරාගය දේශප්‍රේමය ඇතිකලා. ඒ අනුව එකී මාස හයක කාල සීමාව තුළ පැවති යහපාලන රජයේ යම් හොඳක් තිබ්බා නම් ඒ සකලමනාවම මැළවී ඇකිළී ගියේ ගින්නට අසුවූ සෙලෝපේන් පොලිතින් කොලයක් වගේය. රාජපක්ෂවරුන් සංවිධානය කරගත් පරිදි අලුතින් පිහිටුවන ලද හොහොට්ටු පක්ෂයට පහුගිය රජයේ යූධවීර චරිතය ගෙනවිත් සම්බන්ධ කිරීමත් සමඟ ඉදිරි ජනපතිවරණය තනි සුනාමි රැල්ලක් බව පෙනිණ.

එහෙත් මීගමුවට සිද්ධ වූ පාස්කු ප්‍රහාරය අනුව රටේම සිංහල බෞද්ධ ජනප්‍රජාවම පොහොට්ටුව සිපවැළඳ තුරුල්කර ගනිද්දී මීගමුවෙන් අපේක්ෂා කළ පොහොට්ටු ආකර්ශණය ඇති නොවීය. පොහොට්ටුව මීගමුවෙන් පරාදය. එච්චර දෙයක් වෙච්චි මීගමුව එහෙම වුනේ ඇයි?

කොමිසම
————–
යහපාලනයට පාස්කු ප්‍රහාරය වලකා ගැනීමේ හැකියාව තියෙද්දී විහිලු සහගත ජනපතිවරයාත් ඇම්බ්‍රැස්ට අගමැතිවරයාත් අතර තිබුණු කඹ ඇදීම හේතු කොට ගෙන රාජ්‍ය ආරක්ෂාව බල්ලට ගියේය. එහෙත් පිපිරුමට පස්සේ කොමිසමක් දමා ප්‍රහාරය ගැන අලගිය මුලගිය තැන් හොයන්නට ගත්තේය. ලංකාවේ මෑත කාලීනව ඉස්මතු වූ සිංහළ බෞද්ධ මෙන්ම මුස්ලිම් අන්තවාදී සංවිධාන හරහා ගොඩ නැගුණු ජාතිවාදී රැල්ලේ කූටප්‍රාප්තිය ලෙස මෙය සිංහල බෞද්ධ ප්‍රජාව අරමුණු කර කළ යුත්තක්ව තිබූ නමුදු එය කතෝලිකයන් අරබයා සිදුවිණි. එමගින් නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට කවුන්ටර් ඇටෑක් එකක් ලෙස චිත්‍රයක් මැවෙතත්, කොමිසමේ කාරණා මගින් එය ද යම් ඇන්දීමක සලකුණු ය යන වගක් ඉස්මතුවිණ. එහිදී අනාවරණය වූ තොරතුරු අනුව බෝම්බකරු සහරාන්, පසුගිය රජයේ යුධ ඔත්තුකරුවකු ලෙස හමුදා බුද්ධි අංශ විසින් පඩිගෙවා නඩත්තු කළ ඔත්තුකරුවකු වූ බවට ද කියැවිණ. එකී තොරතුරු අමුණා පූට්ටු කරමින් යම් මතයක් සමාජගත කිරීමට රජයේ පාර්ශ්වය කටයුතු කළ මුත්, එය රටේ බහුතර සිංහල බෞද්ධ ප්‍රජාව තඹදොයිතුවකටවත් පිළිගත්තේ නැතිය. එහෙත් බෝම්බ ප්‍රහාරයෙන් සිය දරුවන් බිරිද, සැමියා, මව පියා ඇතුලු සමීපතමයින් අහිමි වූ සහ ආබාධිත වූ මීගමු වාසී අහිංසකයින්ට මෙය බරටම දැනුනේය. ඒ තුවාලයේ වේදනාව ඇත්තේ තුවාලය තියන එකාට මිස අහක ඉන්න එකාලට නොවන නිසාය.

අද්විතීය පෞරුෂය
———————
ඇත්ත නැත්ත කුමක් වුවත්, බලයට පත් වූ නව ජනාධිපතිවරයා හිටපු විහිලුකාරයින්ට වඩා දාහෙන් සම්පතක් බව ඇත්තය. අවුල ඇත්තේ එතුමාගේ වටේ සිටින සුවහසක් ඥාති හිතමිතුරු නම්දරාපු හොර තක්කඩි සෙට් එකය. කෙසේ වෙතත්, අදවන විට පෙරකී ජාතිවාදී අන්තවාදී සංවිධාන සියල්ල හිරු දුටු කදෝපැණියන් මෙන් ස්වේච්ඡාවෙන්ම විසිර යන බවක් පෙනෙන්නට තිබේ. ඇත්තෙන්ම එය නව ජනපතිවරයාගේ ඇති අද්විතීය පෞරුෂය නිසාම සිද්ධවන වන ආස්චර්මත් අහඹුවක් විය හැකිය.

‍අහිංසකයින්ගේ ලේ කඳුලු විකිණීම
————————————— ‍
‍‍මේ අනුව මීගමුවේ අහිංසකයින් ඝාතනය කළ ම්ලේච්ඡ ප්‍රහාරය පොහොට්ටු පක්ෂය සිය හිතවත් මාධ්‍ය ඔස්සේ මැතිවරණය අරභයා තලුමර මර රසවිඳිද්දී, රජයේ පාර්ශ්වය ද ප්‍රතිමතය හරහා අරිට නොදෙවෙනි ලෙසම මැතිවරණ ප්‍රචාරයේ යෙදුනහ. අන්තිමේ දී දෙගොල්ලෝම ලෙයින් කඳුලින් සහ ආත්ම වලින් වන්දිගෙවූ මීගමුවේ අහිංසකයන්ව පස්පඩංගුවේ වික්කෝය.

මීගමුවේ වැදගත් ඓතිහාසික ජනප්‍රජාවට නොගරහනු
———————————————————–
මැතිවරණයෙන් පසුව ජයග්‍රාහී පිළට මීගමුවේ උන් චන්දය නොදීම ගැන සමහර තිරිසන් ගොරකයෝ උන්ව නැවතත් තලා පෙලා කුරිරු සතුටක් ලබන බව පෙනිණි. මෙය කුජීතය. අතිශයින්ම නින්දිතය. ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන මීගමුවේ වැසියාව අවමාන කළ යුතු නැතිය. ඓතිහාසික මීගමු පුරවරයේ ඉන්නේ 6 වැනි පරාක්‍රමබාහු රජ කළ රජුට එල්ල වූ පරසතුරු උවදුරක් මඩින්නට, සිය හිතවත් ඉන්දියාණු රාජ්‍ය කිහිපයකින් ගෙන් වූ රාජ සෙනවියන් සහිත සේනාක කිහිපයක් ගම්වර කර තැගි ලැබූ වැදගත් ජන කොට්ටාසයක් බව ඉතිහාසය සාකෂ්‍ය දරයි. (මූලාශ්‍රය-මුක්කර හටනේ තඹ සන්නස).ඔවුන් හිත හොඳ සුන්දර කලාකාමී මනුෂ්‍යෙයා්ය. ජාති හිතෛශීයයෝය. මම ද මීගමුව අවට ගමක මිනිසෙකු වුවත් මගේ කුඩා කාලය ගොඩ නැගුනේ සුන්දර මීගමුවත් එහි සුන්දර ජනසමූහයාගේත් සුවඳ සමගය. ඔවුන් කතෝලිකයන් වුව ද මාගේ ආගම මෙන්ම එය ද සුන්දරය. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට මට ඇත්තේ ප්‍රබල අභිමානයකි.

පෑරුණු හදවත් දිනිය යුත්තේ ආදරයෙන්ම පමණි.
——————————————————–
‍කෙසේවෙතත් නව ජනපති තුමන්ට මීගමුවේ ජනහදවත දිනාගැනීමට අවශ්‍ය නම් එය වූ කලි ප්‍රබල අභියෝගයකිය. එය අවිආයුධයෙන්, චණ්ඩිකමෙන් හෝ වෛරී ප්‍රකාශ වලින් නොව ආදරය දයාව මුසු හැඟීමකින්ම කළ යුත්තක් බව එතුමාට වැටහීමක් ඇති බව ඔහුගේ අදහස් අසන දකින විට නම් පෙනේ. මනුෂ්‍යත්වයේ නාමයෙන් මීගමුවේ මිනිසුන්ට සාධාරණයක් ඉටු වෙත්වායි පතමි.

(සමනොළ විජේරත්නගේ මුහුණු පොතිනි)