ආණ්ඩුවට විස්සෙන් කරන්න බැරිවුණ දේ පනතෙන් කරගත්තා

0
115

Rohan H20 වැනි සංශෝධනයේ මතු පිට සහ එහි හරය දෙකක් හැටියට අපි හඳුනාගෙන තිබෙන්නෙ. අපේ අදහස වෙන්නෙ 20 වැනි සංශෝධනයෙන් උත්සාහ කළේ පළාත් සභාවල නිල කාලය දිර්ඝ කිරීම නැතිනම් පළාත් සභාවල මැතිවරණ කල් දැමීම කියන එක. එය එක්තරා ආකාරයකට සාධනීය දෙයක්. මොකද කොටස් වශයෙන් මැතිවරණ පැවැත්වීම නිසා මුදල් නාස්තියක් වෙනව වගේම මිනිස්සුන්ට නියම ලෙස තමන්ගේ ජනමතය ප්‍රකාශ කරන්න අවස්ථාව අහිමි වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු රටේ සංවර්ධනය වෙනුවෙන් යොදන්න තිබෙන කාලය සැරින් සැරේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණ වෙනුවෙන් යොදවනවා. එම නිසා එක දිනයක මැතිවරණ පැවැත්වීම සුදුසුයි. නමුත් මේ කාරණය මතු කරමින් ආණ්ඩුව උත්සාහ කළේ පළාත් සභා මැතිවරණය 2019 දක්වා කල් තබන්න. ඒ වගේම පළාත් සභාවක් විසුරුවා හැරුණොත් ඒ විසුරුවා හරින පළාත් සභාවේ බලය පාර්ලිමේන්තුවට පවරා ගන්න වගේම ඒ හා සමගාමීව ආ පනත මඟින් ඔවුන් කිව්වේ මැතිවරණය තීන්දු කිරීමේ බලය මැතිවරණ කොමිසමෙන් පාර්ලිමේන්තුවට පවරා ගැනීම පිළිබඳව. මේවා ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී කියලයි අපි තර්ක කළේ. මේවා සම්මත කර ගන්නවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත පමණක් ප්‍රමාණවත් නැහැ ජනමත විචාරණයකටත් යා යුතුයි. මොකද ජනතාව පළාත් සභාවලට බලය දුන්නේ අවුරුදු පහකට. ඊට වඩා කාලයක් ඒවා පවත්වා ගන්නවා නම් ජනතාවගෙන් එය විමසිය යුතුයි කියන එකයි මෙහිදී අපේ අදහස වුණේ.

අපි අධිකරණයෙන් ඉල්ලපු තීරණය මේ වෙන කොට අපිට ලැබී තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්තත් ජනමත විචාරණයකිනුත් තොරව 20 වැනි සංශෝධනය සම්මත කර ගත නොහැකියි. මේ නිසා අපි හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාම ස්වාධීනව තමන්ගේ මතය ඉදිරිපත් කර තිබෙනවා කියල. අපි 20 වැනි සංශෝධනය හරහා අභියෝග කළේ මැතිවරණ කල් දානවා නම් ජනමත විචාරණයකට යායුතුයි කියල. නමුත් ඒ කාරණයම වෙනස් ආකාරයකට ඊයේ දිනයේ පාර්ලිමේන්තුවෙන් සම්මත කළා. ඒ සම්මත කළ ආකාරයට නම් ක්‍රියාත්මක වෙන්නේ, පළාත් සභා මැතිවරණය දින නියමයකින් තොරව කල් යනවා. මිශ්‍ර හා සමානුපාතික ක්‍රමයකට මැතිවරණය ගෙන එනවා කියන එක සාධනීය කාරණයක් වුනත් මේ මොහොතේ ආණ්ඩුව මෙය කඩිමුඩියේ ගෙන එන්නෙ එළැඹෙන 26 වැනිදා වන විට සබරගමු පළාත් සභාවේ නිල කාලය අවසන් වෙන නිසා. ඊට පෙරාතුව මේ සංශෝධනය ගෙන එන්නට නොහැකි වුනොත් මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා සබරගමු පළාත් සභාවේ මැතිවරණය පවත්වන්න.

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත හරහා ආණ්ඩුව වැඩ දෙකක් කරනවා. එකක්, 20 වැනි සංශෝධනයෙන් මැතිවරණ කල් යන ආකාරයේ දෙයක් සිදුවෙනවා නම් ජනමත විචාරණයකට යායුතුයි කියන තීන්දුව ලැබී තිබෙනවා වුනත් එය නොසලකා හරිමින් මැතිවරණ කල් යන ආකාරයේ පනතක් පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීම. එය ඉතා බරපතළ කාරණයක්. මොකද පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර සංවරණ හා තුලන ක්‍රමයක් තිබිය යුතුයි. දෙවැන්න, පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන පනත, කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට සංශෝධනයක ලෙස ගෙන ඒම. සාමාන්‍යයෙන් පනතකට සංශෝධනයක් එනවා නම් එය මුල් පනතේ හරයට සමාන සංශෝධනයක් විය යුතුයි. නමුත් මෙය මුල් පනතට අදාළ සංශෝධනයක් නෙවෙයි. මොකද මුල් පනතේ තිබෙන්නෙ කාන්තා නියෝජනය සියයට තිහ දක්වා වැඩි කිරීම වුනත් මේ පනතේ තිබෙන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ බරපතළ සංශෝධනයක්. එය හොඳ වුනත් නරක වුනත් සංශෝධනය තත්ත්වකදී එයට අභියෝග කිරීමේ හැකියාවක් මේ රටේ පුරවැසියන්ට නැහැ. ඒ නිසා එය රටේ අනාගතයට වැරදි පූර්වාදර්ශයක් සපයනවා.

මෙම පනත් කෙටුම්පතේ හරය හොඳ වුනත් ඉතාම ලැජ්ජා සහගත විදියකටයි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නෙ. පහුගිය ආණ්ඩුව දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම දිහා අපි විවේචනාත්මකව බැලුවා. එය වැරදි පූර්වාදර්ශයක් බව කිව්වා. දහඅට වෙනුවෙන් අත උස්සපු අය වැරදි වැඩක් කළේ කිව්වා. නමුත් අද ඒ කියපු අයත් ඉන්න පාර්ලිමේන්තුවේ, නැවත වතාවක් ඒහා සමාන දෙයක් සිදුවෙමින් තිබෙනවා. මෙය යහපත් නොවන බවයි මගේ අදහස.

රෝහණ හෙට්ටිආරච්චි
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක
(www.samabima.com)

Save

Save