ආදරය වෙනුවෙන් අපූරු තෑග්ගක් ..

0
152

අද තරගකාරී ලෝකය තුළ අප හැමෝම අවීවේකී වී ඇත. නමුත් එය කෙසේවුවත් එදිනෙදා ඒකාකාරී ජීවන රටාව මදක් වෙනස් කරගන්නට අපි විවිධ වූ ආකාරවලට තම නිවාඩුව හෝ විවේකය ගත කිරීමට විවිධ වූ ආකාර තෝරා ගන්නෙමු.
නමුත් මේ අතර ස්වභාවික පරිසරයේ අසිරිය විදින්නට වෙලාවක් බොහෝවිට අප තෝරාගන්නේ බොහොම අඩුවෙන්. මේ සම්බන්ධයෙන් තවත් යමක් පැවසුවොත් අප අවටම ඇති සුන්දර ස්ථාන නරඹන්නට ගොස් ඇත්තේ කීයෙන් කීදෙනා ද?
දෙමව්පියන් හා දරුවන් අතර ආදරය ඛෙදාගැනීම භාණ්ඩ හුවමාරුවක් ව ඇති සමයක ආදරය වෙනුවෙන් පරිසරය විදගන්න ඉඩක් දෙන එක කොයිතරම් තරම් සුන්දර තෑග්ගක් ද ?
ආදරය වෙනුවෙන් ජංගම දුරකථනයක් වෙනුවට හොර්ටන් තැන්නට සවාරියක්…. එහෙමත් නැත්නම් මීගමුව කලපුවේ දූපත්වල සංචාරයක්.
එහෙම තෑග්ගක් ලබන්නට තරම් වාසනාවන්ත වෙච්ච නැගණියකගේ පිනෙන් තවත් කීපදෙනෙක්ටම එහි අසිරිය විදගන්න වරම් ලැබුණා.
අපේ බොහෝ වැඩවලට එන මීගමුව නගරයේම ඉතාමත් සුන්දරවූත් පාරිසරික වශයෙන් සංවේදීවූත් ස්ථානයක් නරඹන්නට තමයි මේ සවාරිය යෙදිල තිබුණේ
ඒ මීගමු කලපුවේ පිහිටි දූපතක් වන විල්සන් දූවටයිි.
උදෑසනින් බොහොම උනන්දුවෙන් මංකුලිය ලෙල්ලම වෙත මා ඇතුළු පවුලේ ඥාතීන් කීපදෙනෙක් ආවේ නාමල් අයියගේ බෝට්ටුව ලෙල්ලම ළගට පැමිණෙන තුරුය.
ටික වේලාවකින් නාමල් අයියා ලෙල්ලම ගාවට නියමිත වේලාවට පැමිණි අතර පසුව දිවා ආහාරය සකස් කර ගැනීමට සූදානම් කරගත් බඩුබාහිරාදිය සහ අනිකුත් දේත්
රැගෙන බෝට්ටුවට අපි සැවොම ගොඩවූයේ විල්සන් දූවට යෑමේ මහත් ආශාවෙනි.
පසුව නාමල් අයියා බෝට්ටුවේ එන්ජිම ක්‍රියාත්මක කළේ අපේ සවාරිය අරඹමිනි.
නාමල් අයියා කලපුව ගැනත් බෝට්ටු පැදවීම ගැනත් හසල දැනුමක් ඇත්තෙකි.
එසේම ඔහු තම බෝට්ටුවෙන් විවිධ අය මීගමු කලපුවේ වගේම මුහුදු සීමාවේ ද අසිරිය විදගන්නට කදිම මගපෙන්වන්නෙකි.
ඔහු අත්දැකීම් බහුලත්වය නිසා බෝට්ටු සවාරියක් යෑම පිළිබදව කිසිකෙනෙක් දෙවරක් සිතිය යුතු නොවේ. ඇත්තටම එය අප ද අත්දැකීමෙන් දන්නෙමු. අපේ ගමන් මාර්ගය අතරමගදී නාමල් අයියා විසින් විවිධ විශේෂිත පරිසර පද්ධති, මාළුවන්, කඩොලාන සහ පක්ෂීන්් පිළිබද හදුන්වාදීමක් වගේම මෙම අවට පරිසරයේ ඇති වැදගත්කම ද කදිමට කියාදුන්නේ ය.
ඒ ඇසීමෙන් අප නොදන්නා බොහෝ දේවල් ගැන හොද අවබෝධයක් ලබාගන්නට අපට හැකිවුණි. විනාඩි කීපයක බෝට්ටු ගමනකින් පසු සුන්දර කඩොල් වනයකින් වටවුණු විල්සන් දූපතට ළගාවුණු අප බඩු බාහිරාදිය ද ගෙන දූපතට ඇතුළු වූයෙමු.
කුරුල්ලන්ගේ මිහිරි නාදයත් හැරුනුවිට කිසිම ශබ්දයක් එහි නොවී ය. පරිසරය හරිම නිස්කලංක ය. සුවදායක ය. ලොව වටා කොතරම් සවාරි ගියත් මෙවැනි පරිසරයකින් ලැඛෙන සුවය, සනීපය ඇත්තටම මෙතකැයි කිව නොහැකි යි. පොඩි දරුවන්ට හොදහැටියට සෙල්ලම් කරන්න, ගස් උඩ නගින්න, ඇවිදින්න කදිම ස්ථානයක් ලෙසට මේ දූපත හදුන්වාදිය හැකියි. ඉදගන්නට බංකුවක්, පුටුවක් නැතත් ඊට අප කණගාටුනොවූණේ එහි තිබුණු ගස්වැල් කදිමට ඒ වෙනුවට සකස් වී තිබුණු නිසා ය. කැමති නම් වටේටම කලපු ජලයෙන් හොදහැටි නා කියා ගන්නටත් අවස්ථාව ඇත. නමුත් හවස් වන විට වඩදිය බාදිය ඇතිවන නිසා මේ පිළිබද දැනුමක් ඇති අයෙක්ගෙන් උපදෙස් ලබාගැනීම නුවණට හුරු ය.
අප දිවා ආහාර එහිදීම උයාගන්නට තීරණය කළෙමු. සුළු උපකරණ කීපයක් හැර අන් සියලූ දේ දූපතෙන්ම සොයා ගත්තෙමු.
මේ අතර ඔබට කැමති නම් මාළුවෙක්, කකුළුවෙක් අල්ලන්න කිසිම බාධාවක් නැතිව එය කිරීමේ නිදහස දූපතේ ඇත. දැල්කෑල්ලක්වත් නොගෙනිච්ච අපට අලූත් මාළුවල රස බලන්නට හැකිවුයේ සුනිල් අයියා සිය විසිදැලත් රැගෙන පිටිපන සිට ඔරුවෙන්ම පැමිණ අපට දැක්වූ ආදරය නිසාවෙනි.
පසුව දූපතේම උයාගත් දිවා ආහාරයේ මාළුපිනි වෙනදාට වඩා රස වුණේ ඒවා අලූත්ම මාළු වූ නිසා බව හැමදෙනා කීය.
ටික වේලාවක් විවේකයෙන් ඉද, සවස ඉර බැසයනවාත් සමග අප විල්සන් දූවෙන්් පිටත් වීමු.
මේ මනස්කාන්ත තැනට නගරයේ සිට එන්නට යන්නේ පැය භාගයකටත් වඩා අඩු කාලයකි.
ඒ බෝට්ටු ගමනටත් එක්ක ය. ඒත් මේ ගැන දන්නේ කීයෙන් කීදෙනෙක් ද ….?
නමුත් මේ කොහොම වුණත් අප විසින් එක් දෙයක් අනිවාර්යයෙන් මතක තබාගත යුතුයි.
පරිසරයේ රස වින්දා වගේම එයට අපේ යුතුකම ඉටුකරන්න ද අමතක නොකළ යුතුම ය. පොලිතින්, ප්ලාස්ටික් ආදී පරිසරයට අහිතකර දේ දූපත තුළ නොදමන්නටත් එම පරිසරයට හානි නොකරන්නටත් අප වගබලාගත යුත්තෙමු.
මෙහි සුන්දරත්වය ලියා අන් අයටත් ඇරයුම් කරන්නේ පරිසරයට ආදරය කරන්නන්ට පමණක් මෙය විවෘත බව ඛෙදාගන්නට ය.
එවන් වගකීමක් ගතහැකි අය මෙහි සුන්දරත්වය විද මේ තැන අන් සැමට ආරක්ෂා කර තබන්නට මුල්වේවි යැයි මගේ පැතුමයි.

ඩිලාන් දමිත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here