ආනයන තහනම ප්‍රායෝගික නෑ

0
242

ප්‍රධාන ලේකම්, කොළඹ ව්‍යාපාරික සංගමය – චමින්ද විදානගමගේ

මෑතකදී රජය විසින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 305ක් මෙරටට ගෙන්වීම මාස තුනකට තාවකාලිකව අත්හිට­ුවීමේ තීරණයත්, එමඟින් ඇති විය හැකි ආර්ථික බලපෑම පිළිබඳ කර්මාන්ත අමාත්‍යංශයේ විදුත් හා ඉලෙක්ට්‍රිකල් උපදේශක කමිටුවේ සභාපති ධම්මික සමරවික්‍රම සහ කොළඹ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් චමින්ද විදානගමගේ සමඟ කළ සාකච්ඡාවකි මේ.

අලුත් ආනයන තහනම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

අදූරදර්ශී තීරණයක්. මහ බැංකු නිලධාරින් නැවත ප්‍රායෝගික නොවන තීරණයකටයි එළැඹී තිබෙන්නේ. විමර්ශනශීලිව රට පිළිබඳ හොඳ අවබෝධයකින් හෝ විමර්ශනශීලිත්වයෙන් තොරව තීන්දු තීරණ නොගැනීමේ අර්බුදයටමයි මේ නිසා තවදුරටත් මඟ පෑදෙන්නේ. ඉන් මෙරට ජනතාවට අවැඩක්ම වෙන වගත් ඉඳුරාම කිව යුතුයි. මහ බැංකු නිලධාරින්ට ප්‍රායෝගික තීරණ ගැනීමේ වගකීම තිබෙනවා.

එය තවදුරටත් විස්තර කළොත්?

මෙහෙමයි. රටට එන සහ රටින් පිට වන ඩොලර් ප්‍රමාණය පමණක් සලකා තමයි ආනයන තහනම් කිරීමට මහ බැංකු නිලධාරින් පෙලඹී සිටින්නේ. ඔවුන් ඒ වග පමණක් පෙන්වා දෙමින් තමයි පාලකයන්ගෙන් ඒ තීරණ නීති වශයෙන් සමාජගත කිරීමටත් අවසර ගන්නේ. කලෙක සිටම තත්ත්වය එසේමයි. එහෙත්, ඉන් කෙළින්ම අප්‍රසාදයට පත් වන්නේ දේශපාලන තන්ත්‍රයයි. ජනතාවගෙන් බොහෝ දෙනකු මේ තීරණවලට කෙළින්ම වැරදි පවරන්නේත් පාලකයන්ටමයි. ඒ මිසෙක තිරය පිටුපස සිටිමින් අදාළ තීරණ ගත් අයට නෙවෙයි. මේ ඇත්ත තවම බොහෝ පාලකයනුත් හරි හැටි තේරුම් නොගත් බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ නිසා මහා භාණ්ඩාගාරයට බරක් නොවී ස්ව ශක්තියෙන් නැඟී සිටි දස දහස් ගණනකට රැකී රක්ෂා කර ගත නොහැකි තත්ත්වයක් අද ඇති වෙලා.

ඒ අවදානම මතු වෙන්නේ කුමන ක්ෂේත්‍රවලින්ද?

එවැනි අංශ ගණනාවක්ම වෙනවා. වක්‍රව එහි බලපෑම රටටම දැනෙනවා. රූපලාවණ‍ය, ඇඟලුම්, සංචාරක ආදියට එහි නරක බලපෑම් ඇති වී තිබෙනවා. එකින් එක කෙටියෙන් විස්තර කළොත්, ඉකුත්දා ආනයන තහනමට ලක් කළ රූපලාවණ‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය යෙදවුම්, අමුද්‍රව්‍ය බහුතරයක් මෙරට නිෂ්පාදනය කරන ඒවා නෙවෙයි. එහෙත් එම ක්ෂේත්‍රයේ පැවැත්මට නම් ඒ ද්‍රව්‍ය නැතිවම බැහැ. ඒ නිසා එම ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ ගණනකට රක්ෂා කරගත නොහැකිව අසරණ වී සිටිනවා. ඒ වග මහ බැංකුවේ අදාළ තීරණ ගත් අයට තවම නිරීක්ෂණය වී නැති ගානයි.

විශේෂයෙන්, විවාහ මංගල උත්සව සමඟයි රූපලාවණ්‍යාගාරවලට වැඩ ලැබෙන්නේ. ඒත්, මේ අමුද්‍රව්‍ය හිඟය නිසා ආර්ථික, සමාජ, දේශපාලන ගැටලු රැසක් ඇති කර ඇතැයි අපි පෙන්වා දෙන්නේ ඒ නිසයි. නිමි ඇඳුම් කර්මාන්තයටත් එය එසේමයි. අමුද්‍රව්‍ය හිඟයට එම ක්ෂේත්‍රයත් මුහුණ දෙමින් සිටිනවා. ඒ හරහා මෙරට පැවැති අමුද්‍රව්‍ය තොගවල මිලත් අතිශයින් ඉහළ ගොස් තිබෙනවා. නවීන යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදන ක්‍රියාවලියේදී අත්‍යවශ්‍යයි. ඒ වගවත් අදාළ ආනයන තහනමේදී සලකා බලා නැති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.

ඒත්, සුඛෝපභෝගී හා වැඩිමනක් පිරිසක් භාවිත නොකරන භාණ්ඩ ආදියත් මෙයින් ඉලක්ක කර ගත් බවකුත් කියැවෙනවා නේද?

ඒත්, එහිදී කළ යුතුව තිබුණේ මෙය නෙවෙයි. මං උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ආනයනික බීර වර්ගවලටත් මේ ආනයන තහනමෙන් වැට බැඳ තිබෙනවා. එය රටින් පිටතට යන විදේශ විනිමය පමණක් සලකා ගත් තීරණයක්. අදාළ සුඛෝපභෝගී භාණ්ඩ සඳහා බදු වැඩි කිරීමටත් ඉන් වැඩි ආදායමක් රටට ගෙන්වා ගැනීමටත් හැකියාව තිබුණා. ලබන මාසයෙන් එළැඹෙන්නේ විදෙස් සංචාරකයන් වැඩිපුර මෙරටට එන කාල සීමාව වන බවත් එහිදී අදාළ මහ බැංකු නිලධාරින්ට අමතක වී ගිහින්. මෙරට අති බහුතරයක් විදෙස් බීර පාවිච්චි කරන අය නෙවෙයිනේ. විදේශිකයන් ඉලක්ක කරගෙනයි සංචාරක හෝටල්වලින් ඒවා ගෙන්වන්නේ. මෙතෙක් වාර්ෂිකව මෙහි පැමිණි විදෙස් සංචාරකයන්ටත් මෙරට කෙරෙහි අයහපත් ප්‍රතිරූපයක් මේ නිසා ඇති වෙනවා. ඔවුන් මෙරට හෝටල්වලින් ඇණවුම් කරන්නේ එතෙක් හුරු පුරුදු ලෝක ප්‍රකට වෙළෙඳ නාම දරන බීර ආදී පාන වර්ගයි. එහෙත් එවිට මෙරට ඒවා නොවුණු විටදී ඒ අය කලකිරීමට පත් වෙනවා. ඉන් මෙරටට ලෝකයේ පවතින ප්‍රතිරූපයට හානි වෙනවා. එපමණක් නෙවෙයි සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ අත්පිස්නාවේ එසේත් නැතිනම් ටිෂූ කොළයට පවා මේ තහනම බලපා තිබෙනවා.

ඔබ ඇතුළු වෙළෙඳ සංගමයේ යෝජනා මොනවාද?

අපි කලෙක සිටම රජයට හා මහ බැංකු නිලධාරින්ට යෝජනා, අදහස් ඉදිරිපත් කරමින් සිටිනවා. එහෙත්, ඒ කෙරෙහි නිසි අවධානයක් යොමු වූ බවක් දක්නට නැහැ. ඇතැම් විට රාජ්‍ය නිලධාරින් සමඟ සාකච්ඡා කෙරුණත් ඒ ඇසුරෙන් ප්‍රගතිශීලි තීරණවලට එළැඹි බවක් දක්නට නැහැ. ඉතින් මෙහෙම ගිහින් කොහෙන් නවතීද කියලායි අපිට මහ බැංකුවේ අදූරදර්ශී ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් අහන්න වෙන්නේ. මේ වන විට විදෙස් රැකියාවලට තරුණ ප්‍රජාව ප්‍රමුඛ බොහෝ දෙනකු පිටව යනවා. දැනටමත් ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණ ප්‍රේරණත් මෙරටට ලැබෙනවා. එහෙත් ඉන් නීත්‍යානුකූල ක්‍රම යටතේ ඩොලර් මිලියන 245ක් විතර ලැබෙන්නේ. අනීතිකව මෙරටට එවන විදේශ විනිමය නීතිගත කර ගන්නා ක්‍රමයක් මේ අදූරදර්ශී තීන්දු ගන්නා මහ බැංකුවේ ඇතැම් අයවළුන් සොයා ගෙන නැහැ. අනෙක, රට රක්ෂාවලට යන බොහෝ තැනැත්තන්ට එරට බැංකු පද්ධතියට වඩා සහායට සිටින්නේත් අනීතිකව මුදල් එවන තැන්. එකවුන්ට් නම්බර් එකයි, මුදලයි ඒ අයට දුන් පසුව අදාළ තැනින් රිසිට් පතක් ලැබෙනවා. ඒ පුරුදු වෙනස් කිරීමට රට රක්ෂාවලට පිටත්ව යන අය දැනුවත් කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් තවම නෑ. අනෙක, මූලික වශයෙන් මැදපෙරදිග, යුරෝපාකරය මෙන්ම ඔස්ට්‍රේලියාව, අමෙරිකාව ආදී වශයෙන් විදෙස්ගත වන තැනැත්තන් වෙන් කර දැක්විය හැකියි. ඒ කාටත් මෙරටට මුදල් එවීමේදී ආකර්ෂණීය වරප්‍රසාද දීමට ව්‍යාපාරික ප්‍රජාව වශයෙන් අපිත් සූදානම්. විශේෂ වට්ටම් ආදිය දිය හැකියි.


එකතු වෙලා ගමනක් ගියොත් මේ වළෙන් ගොඩ එන්න පුළුවන්
– ධම්මික සමරවික්‍රම සභාපති – විදුත් හා ඉලෙක්ට්‍රිකල් උපදේශක කමිටුව, කර්මාන්ත අමාත්‍යංශය

මේ වන විට රටේ පවතින ආර්ථික තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

අද වන විට රටේ ව්‍යාපාරික, ආර්ථික අංශ කඩා වැටිලා තියෙන්නේ. එයයි ඇත්ත. පුළුවන් කිහිප දෙනෙක් බොහෝ අමාරුවෙන් ව්‍යාපාර කරගෙන යනවා. බොහෝ පිරිසක් විශාල කඩා වැටීමකට ලක් වෙලා. කර කියාගන්න දෙයක් නැතිව නොකර බැරිකමට යාන්තම් ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටිනවා.

මේ තත්ත්වය සමනය කරන්න කළ යුතු දේ කුමක්ද?

කළ යුතු දේ තිබෙන්නේත් ප්‍රධාන වශයෙන් අපේ අතේමයි. අපට අමාරුයි, බිඳ වැටිලා කියමින් තවත් දුර්වල වුණොත් ඉන් ආපස්සට යන්නේත් අපිමයි. ඒ නිසා අමාරුවෙන් හරි ගොඩ ඒමට කටයුතු කළ යුත්තේ ව්‍යාපාරික, කර්මාන්ත හා වෙනත් සේවා සපයන අපේ රටේ ඉන්න අපේ පිරිස තමයි.

ව්‍යාපාර, කර්මාන්ත අමාරුවේ වැටුණු හේතු හා ඒවා යළි නොවන්නට පිළියම් අවශ්‍යයි නේද?

අනිවාර්යෙන්ම පිළිතුරු අවශ්‍යයි. නමුත් අප සමාජයේ සංවර්ධනයේ කොටස්කරුවන් ලෙස අප අතින් සිදු වූ අතපසුවීම්, අභියෝග භාර නොගැනීම්, කාර්යක්ෂමතාවය, ඵලදායිතාවය භාවිතයට නොගැනීම් මත සිදු වූ වැ‍රැදි, නිවැ‍රැදි කරගන්න ඕනෑ. අපේ පැත්තේ වැ‍රැදි, අඩුපාඩු නිවැ‍රැදි නොකරගෙන, අනිත් පාර්ශ්වල උදව්වෙන්ම මේ වැටී ඇති අගාධයෙන් ගොඩ ඒමට සිතීම මුළාවක්. ඒක කවදාකවත් කරන්න බැරි වැඩක්.

එය තවදුරටත් පැහැදිලි කළ හැකිද?

අපි කර්මාන්තකරුවෝ. අපේ දියුණුවට පෞද්ගලිකව කැපවීමෙන් උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. අපට රජයෙන් අපේ ව්‍යාපාර, කර්මාන්ත නිවැ‍රැදිව කරගෙන යෑමට උදව් අවශ්‍යයි. ඒ උදව් තමයි සැමට පිළිගත හැකි නොවෙතත් විශ්වාසනීය බදු ප්‍රතිපත්තියක් පැවැතීම, ජලය, විදුලිය, සන්නිවේදන, ප්‍රවාහන, ආරක්ෂක ඇතුළු යටිතල පහසුකම් දීම. අද දවසේ එවැනි දෙයක් සිදුවීම දුර්වල වී තිබෙනවා. ඒ අතරේ තවත් නොසිතන බාධා කිරීම් බලෙන් කඩාපාත් වෙනවා. ඒවාගේ වටාපිටාවක කාටවත් තමන්ගේ ආර්ථික ක්‍රියාකාරකම නිවැ‍රැදිව එක එල්ලේ කරගෙන යන්න අමාරුයි.

කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයින්ට බාධා ලෙස ඉබේ කඩා පාත්වන අනිසි දේවල් මොනවාද?

දැන් බලන්න හදිසියේම රජය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලේඛනයක් සකස් කොට භාණ්ඩ වර්ග 305ක් මාස තුනකට රටට ගෙන ඒම අත්හිටුවූවා. මේ නිසා අපේ රටේ කර්මාන්ත අංශයේ 50%කට බරපතළ අනිසි බිඳ වැටීම්වලට ලක්වීමට සිදු වෙනවා.

රට මුහුණ දෙන විදේශ විනිමය නොමැතිකම නිසායි එවැනි ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් ගත්තේ. එය තාවකාලිකයි. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

මේ තීරණය තාවකාලිකව ගත් එකක් බව ඇත්ත. නමුත් ඒ සමඟ දැනට යාන්තම් හෝ අමාරුවෙන් කරගෙන ආ කර්මාන්තවලින් 50%කට බිඳ වැටීමකට ලක්වීමට සිදු වෙනවා. මේ වාගේ තීරණයක් ගැනීමට පෙර දෙපාරක් සිතන්නට තිබුණා.

බලධාරීන් එවැනි ක්‍රියා මාර්ගයක් ගත යුත්තේ කොහොමද?

බලධාරීන් මෙවැනි තීරණයක් ගැනීමේදී ඉන් ආර්ථිකයට වන බලපෑම ගැන ගැඹුරින් කරුණු අධ්‍යයනය කිරීමට ඕනෑ. අත්හිටුවන භාණ්ඩ ලේඛනයක් සකස් කිරීමේදී කඩිමුඩියේ එය නොකළ යුතුයි. එහිදී මේ අංශයේ විශේෂඥයන්ගේ දැනුම, අදහස් හා යෝජනා සාකච්ඡා කොට අත්හිටුවන භාණ්ඩ ලේඛනයක් සකස් කළා නම් තමයි වඩාත් හොඳ. අද වන විට භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය අතරමැදි භාණ්ඩ ගණනාවක්, අමතර කොටස්, අමුද්‍රව්‍ය වැනි ගොඩක් දේවල් මෙරටට ගෙන ඒම තාවකාලිකව නතරකොට දමා තිබෙනවා. ඒ නිසා මෙතෙක් කලක් පිටරටින් අමුද්‍රව්‍ය ගෙනවිත් කළ ව්‍යාපාර කර්මාන්ත ගණනාවක් දැඩි අසීරුතාවකට පත් වී තිබෙනවා.

මේ පිළිබඳව ඔබ වගකිව යුතු අයට දැනුම් දී සහන ඉල්ලා සිටියාද?

අපි මේ ගැන කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා දැනුම්වත් කළා. එතුමා රජයේ ඉහළ බලධාරින්, මුදල් අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහ බැංකුව හා එහි නිලධාරින් සමඟ සාකච්ඡා පවත්වමින් ඉන්නේ. ඉතා ඉක්මනින් මේ තීරණයේ සංශෝධනයක් කරයි කියා අප බලාපොරොත්තු වෙනවා. අපේ ඉල්ලීම වුණෙත් ඒකයි.

ඒ පිළිබඳව කර්මාන්ත ඇමැතිවරයාගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද?

කර්මාන්ත ඇමැතිවරයා අප කළ ඉල්ලීමට සානුකම්පිතව සවන් දුන්නා. එතුමා පිළිගත්තා මේ ගනු ලැබූ තීරණයේ අනිසි බලපෑම් මත ආර්ථිකය තවදුරටත් බිඳ වැටීමකට ලක්වෙනවා කියා. එය වැළැක්වීමට මැ

දිහත් වන බව කීවා.

අතුරු අයවැයක් රජය ඉදිරිපත් කළා. ඉන් ඔබ බලාපොරොත්තු වූයේ මොනවාද?

අපේ රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට, කර්මාන්තකරුවන්ට බාධාවකින් තොරව තමන්ගේ කටයුතු කරගෙන යෑමට අවශ්‍ය වටාපිටාව සකස් කරන්න ඕන. ආයෝජක විශ්වාසය ගොඩනඟන්න ඕනෑ. අමුතු දේවල් අවශ්‍ය නැහැ. අපට නිදහසේ වැඩ කරන්න පරිසරය, සම්පත් දෙන්න ඕන. ඒ සඳහා වූ යෝජනා මෙවර අයවැයෙන් ගෙනත් තිබෙනවා කියන්න ඕනෑ.

dinamina.lk