ආලින්දයෙන් ඔබ්බට 21: ප්‍රේක්ෂක ප්‍රජාව රස්තියාදු නොකළ ‘සුසුම් රස්තියාදුව’ – (ජයසිරි අලවත්ත)

0
761

වන මලක් අතැර දාලා
කඩදාසි මලක වහලා
අඬු කඩාගත්ත බඹරෝ
දැන්වත් පල ඉගිළීලා//

සිරිසේන විමලවීර රචනා කළ මෙම ගීතය සංගීතවත් කළේ ටී. එෆ්. ලතීෆ් සංගීත වේදියා ය. ‘වන මල’ චිත්‍රපටය වෙනුවෙන් පසුබිම් ගායනය කළේ අල්හාජ් මොහිදින් බෙග් ගායන වේදියා ය. මේ ගීතයෙන් කියැවෙන්නේ තමන්ගේ විවාහක බිරිඳ සිටිය දී වෙනත් කාන්තාවකගේ පහස පැතීමට ගොස් අසීරුතාවට ලක්වුණ පුරුෂයකු පිළිබඳව ය; යළි සිය භාර්යාව වෙත ම එන්නට සිදු වූ ස්වාමි පුරුෂයකු පිළිබඳව ය.

 

‘‘අසම්මත’’ යැයි සම්මත සබඳතාව
susum 3
නමුත් ජීවිතයේ ප්‍රඥා දශකය (අවුරුදු 50) ද පසු කර හායන දශකයට (අවුරඅදු 60) පැමිණ සිටින භාතිය නමැති පුරුෂයා වර්ණ දශකයත් (අවුරුදු 30) බල දශකයත් (අවුරුදු 40) අතර පසුවන ගිම්හානි නමැති තරුණියට ආසක්ත වන්නේ හුදෙක් කාමාස්වාදය විඳිනු පිණිස පමණක් ම නොවේ. ඔහු ගිම්හානි වෙත ආසක්ත වන්නේ සිය ජීවිත කාලය පුරා විඳි අතෘප්තිකර භාවයෙන් මිදෙනු පිණිස ය; කායික සුවයට වඩා මානසික සුවය විඳිනු පිණිස ය; ජීවිත කාලය පුරා ම සෙවූ ‘නිදහස’ අත්පත් කරගනු පිණිස ය. නමුදු සමාජයේ පවත්නා විවිධ ආකල්ප සහ විවිධ මත හේතුවෙන් එබඳු රැඩිකල් තීරණයකට බට පුද්ගලයා ද සැකය නමැති ආයුධයෙන් සිය ගෙල සිඳගන්නේ ඔහුට ද එක්තරා නිමේෂයක ගතානුගතික ස්වභාවයෙන් මිදිය නොහැකි වන බැවිනි; ඔහුගේ සිතීමේ සීමාව ද එක්තරා නිමේෂයක දී සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගමන් නොකරන බැවිනි.
යට සඳහන් කළ භාතිය සහ ගිම්හානි යනු සැබෑ ජීවිතයේ දි මට හමු වුණ චරිත ද්වයක් (මට පුද්ගලිකව එබඳු චරිත මුණ ගැසී තිබේ. ඔබට ද මුණ ගැසී තිබෙන්නට පිළිවන) නොව අරුණ ප්‍රේමරත්න තිර රචනය කළ, ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘‘සුසුම් රස්තියාදුව’’ නමැති රුපවාහිනී නාට්‍ය තුළ දී හමු වූ චරිත ද්වයකි.

වැරැදිකාර නාලක


මේ වන විට විකාශනය වන අටෝරා සියක් රුපවාහිනී නාට්‍ය අතර ප්‍රේක්ෂක ප්‍රජාව නව්‍ය මාවතක් කරා යොමු කරවන්නට සමත් වූ රුපවාහිනී නාට්‍යයක් ලෙස ‘‘සුසුම් රස්තියාදුව’’ නාට්‍ය නිර්මාණය හැඳින්විය හැකි ය; එය අතිශයෝක්තියක් නොවන බව ද සඳහන් කළ යුතු ම ය.

මෙම නිර්මාණයේ එන අයිරාගේ චරිතය සහ නාලකගේ චරිතය හැර අනෙක් කිසිදු චරිතයක් අසාධාරණ, ආත්මාර්ථකාමී, වියුක්ත කළ හැකි චරිත ලෙස හැඳින්විය නොහැකි ය. ඒ සෑම චරිතයක් ම අදාළ තත්ත්වයට පත්ව සිටින්නේ තමන්ගේ වරදකින් නොව සමස්ත සමාජයේ ම පවත්නා විවිධාකාරයේ වැරැදි හේතුවෙනි. එසේ නම් නාලක නමැති චරිතය දෙසත් ඒ ආකාරයෙන් ම අවධානය යොමු කළ නොහැකි ඇයි ද යන්න කිසිවකු ප්‍රශ්න කළ හැකි ය. නමුත් නාලක දෙස එසේ සානුකම්පිත ලෙස අවධානය යොමු කළ නොහැකි ය. ඒ ඇයි ද යන්න මෙම නිර්මාණය ‘‘කියවූ’’ ප්‍රේක්ෂක ප්‍රජාවට වැටහෙනු ඇතැයි යන්න මගේ පුද්ගලික විශ්වාසය යි. ඒ සඳහා හොඳම සාක්ෂිය නම් එරන්දතී යනු ගිම්හානිගේ ම සොයුරිය බව දැන දැන ම නාලක ඇය රැවටීමට ලක් කරන බැවිනි. එය, නාලක දැන දැන ම කළ වරදකි; වුවමනාවෙන් ම කළ වරදකි.

බියකරු හෙළිදරව්ව


තවත් පසෙකින් ගත් විට මෙම නිර්මාණයේ බොහෝ චරිත පුද්ගලික නිදහස ඉහළින් ම බලාපොරොත්තුවන පිරිසකි; ඒ වෙනුවෙන් හැකි උපරිමයෙන් කටයුතු කරන පිරිසකි. හිරන්‍යා, ෂෙනාල්, ගිම්හානි, භාතිය, එරන්දතී මතු නොව ජීවන්ති ද සාම්ප්‍රදායික ජීවන රටාවෙන් අත් මිදී නිදහස සොයා යන්නට වෙර දරන්නෝ වෙති.
එහි දී: ගිම්හානි, එරන්දතී සහ එම ක්ෂේත්‍රයේ කටයුතු කරන බොහෝ කාන්තාවන්ට අත්වන ඛේද ජනක ඉරණම පිළිබඳ බියකරුම හෙළිදරව්ව කෙරෙන්නේ නාට්‍ය අසානයේ දී ය. එය කෙතරම් බියකරු ද යන්න වඩාත් තීව්‍ර කෙරෙන්නේ රූප රාමුවලින් තොර දැඩි කළුවරක් තුළින් ගලා එන වදන්වලින් පිළිබිඹු කිරීම ය. එමගින් අදාළ ක්ෂේත්‍රයේ නියැළී සිටින සමස්ත කාන්තාවන්ගේ ජීවිත කෙතරම් අඳුරු අගාධයක වැටි ඇති ද, අනාගතයේ වුව ද ඔවුන් එම අඳුරු අගාධයට ඇදි වැටිය හැකි ද යන්න සහ අදාළ කාන්තාවෝ එකී අඳුරු අගාධයට ඇද වැටෙන්නේ සිය කැමැත්තෙන් ම බව ප්‍රකට කෙරේ. එමෙන් ම එක් කාන්තාවක මරණයෙන් වන්දි ගෙවුව ද එය දැන දැන ම තවත් කාන්තාවක එම අගාධයට සිය කැමැත්තෙන් ම පනින තත්ත්වයක් පවතින බව හෙළිදරව් කරන්නට තිර රචකයා සමත් වී තිබේ.
තිර රචකයා එක් අවස්ථාවක දී එකී ඛේදවාචකය ද පිළිබිඹු කර සමස්ත නිර්මාණය ම එක මිටකට කැටිකරන්නට සමත් වේ. ඒ මතු දැක්වෙන දෙබස් ඛණ්ඩය තුළිණි.

‘‘මට වෙලාවකට හිතෙනව අපි මහා සැඩ පහරකට අහුවෙල ගහගෙන යනව නේද කියල. උඩු ගං බලා පීනන්න හිතුවට ඒක කරන්න බෑ. අපිට කැමති තැනින් නවතින්න… අපිට කැමති තැනින් ගොඩ වෙන්න… ඒ සැඩ පහර ඉඩ දෙන්නෙ නෑ. අපි මොකද කරන්නෙ…? අතට අහුවෙන පිදුරු ගහේ හරි එල්ලෙන එක. අපි දන්නව ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ කියල. ඒත් අපි එල්ලෙනව. හිතේ කොනක පුංචි බලාපොරොත්තුවක් තියාගෙන, හිතේ පුංචි සැනසීමක් එක්ක අපි ඒ පිදුරු ගහේ එල්ලෙනව. ඒ බලාපොරොත්තු, ඒ සැනසීම එක නිමේෂයකින් නැති වෙන්න පුළුවන්. අපි හිතනව කොතැනක දි හරි හයිය තියෙන අත්තක් හම්බ වෙයි කියල වාරු අරන් ගොඩට යන්න. බලාපොරොත්තුවක් තියාගන්නව එදාට ඒ සැනසීම, ඒ සතුට ලැබෙයි කියල. සැඩ පහරක් මැද්දෙ දි වුනත් බලාපොරොත්තු අත්හරින්න අපිට බැහැ. බලාපොරොත්තුවක් නැති වුණාට පස්සෙ ඇති වෙන හිස්කමට අපි බයයි; ඒ කළුවරට අපි බයයි. අපිට ඕන ඈතකින් හරි පේන පුංචි එළියක්. එතකොට අපිට පුළුවන් අපි ගහගෙන යන සැඩ පහර අමතක කරන්න. අද නැත්නම් හෙට අපට මේ සැඩ පහරින් එගොඩට යා ගන්න ලැබෙයි කියල හිත හදාගන්න. මොන දේ නැති වුනත් ඒ පුංචි සිතිවිල්ල අපි ජීවත් කරවනව.’’

මෙම දෙබස් කණ්ඩය තුළ සමස්ත නාට්‍යයේ ම චරිත පිළිබඳ පමණක් නොව මා, ඔබ ඇතුව අප සියලු දෙනාගේ ම ජීවිත පිළිබඳ ගැඹුරු අරුතක් පිළිබිඹු කරයි. එබැවින් මෙම නාට්‍ය අවසානයේ අපිට ගැඹුරු ලෝක ධර්මතාවක් ඉදිරිපත් කරයි; පැහැදිලි කරයි. නාට්‍යයේ චරිත පමණක් නොව අපි සියල්ලෝ ම ඒ පිදුරු ගහේ එල්ලෙති. එකී ඛේදවාචකය වැඩි වෙහෙසක් නොගෙන ම ප්‍රේක්ෂක සිත් සතන් තුළ රෝපණය කරන්නට තිර රචකයා මෙන් ම අධ්‍යක්ෂක දක්ෂ වී තිබේ. නාට්‍ය අවසන් වුව ද එවන් ඛේද ජනක සිද්ධි අවසන් කළ නොහැකි බව ද මේ දෙබස් ඛණ්ඩ තුළින් ප්‍රකට කෙරේ.

අයිරා සහ පිදුරු ගස


මගේ ආරාධනාවක් අනුව ම මෙම නාට්‍ය නැරඹූ, නිර්මාණයේ සංකල්පයට කැමැත්තක් නොදැක් වූ, සාම්ප්‍රදායිකත්වයෙන් මිදීමට අපහසු මගේ මිතුරියක් අවසාන කොටස නරඹා මා ඇමතුවා ය. ඇගේ අවසාන නිගමනය වූයේ භාතියට අවසන ඔහුගේ කුටුම්බයට ම ඒමට සිදු වු බවයි. එය අයිරාගේ ජයග්‍රහණයක් ලෙසත් ඇය සඳහන් කළා ය. නමුදු මගේ මිතුරියට වැරැදි ඇති බව ඇයට පසක් වූයේ ඇය නොදුටු පැත්තක් මා ඇයට පෙන්වා දුන් බැවිනි. එනම් අයිරා ඒ ආකාරයට භාතිය යළි තමා සමීපයට ගන්නේ ඇයට වෙනත් කිසිදු හව්හරණයක් නොමැති වූ බැවිනි. එනම් ජයනාත් නමැති පුද්ගලයා ඉතා සුක්ෂ්ම අන්දමින් අයිරා රවටා ඇගෙන් පළිගෙන ඇති බැවිනි. එහෙත් අයිරා හිරන්‍යාට සහ ශෙනාල් හට ඒ කිසිවක් නොපවසා ම ‘‘නෑ මං සෙමිනර් එකට යන්නෑ’’ යැයි පවසන්නේ තමාගේ අසරණ භාවය බිඳකුදු පිළිබිඹු නොකරමිනි. එනම් ඇයට ද අවසානයේ පිදුරු ගසේ එල්ලෙන්නට සිදු වූවා ය. ඇගේ පසුපස පැවති සිදුවීම් මාලාව පිළිබඳ කිසිවක් ම නොදත් ෂෙනාල් සහ හිරන්‍යා විමතියට පත්වන්නේ එබැවිනි. එබැවින් මගේ මිතුරියට ද පැවසීමට ඇත්තේ පරාජය වූයේ භාතිය නොව අයිරා බවයි. එහෙත් ඇය, එම සිදුවීම ඇගේ පරාජය ජයග්‍රහණයකට හරවා ගන්නට සමත් වන්නී ය. ඒ ඇගේ දක්ෂතාව යි.

ගිම්හානිගේ චරිතය දෙස අවධානය යොමු කළ විට හැඟී යන්නේ ඇය පවා භාතිය සමග එකට ජීවත් වීමට තීරණය කරන්නේ ඇයට ද කිසිදු හවුහරණක් නොමැති වූ බැවින් ය යන්න ය. ඇය භාතිය විවාහ කරගන්නට අකමැති වන්නේ කෙදිනක හෝ ඇගේ ඉලක්කය සඵල වේය යන බලාපොරොත්තුවෙනි.

නිර්මාණය හදිසි අනතුරකට ලක් වීම


ඉතා මනරම් ආකාරයට ගලා ආ නාට්‍ය කිසියම් අවප්‍රමාණයකට ලක් වන්නේ එරන්දතී අනතුරට ලක් වන දර්ශන පෙළ හේතුවෙනි. මන්ද එය දුටු සැණින් සිහියට නැගෙන්නේ කමල් අද්දරආරච්චි සහ රමණී බර්තලමියුස් සිද්ධිය යි. දක්ෂ තිර රචකයකු වන අරුණ ප්‍රේමරත්නට මෙම සිදුවීම මීට වඩා වෙනස් ආකාරයකට රචනා කිරීමේ හැකියාව පැවති බව මගේ විශ්වාසය යි. මන්ද අරුණ ප්‍රේමරත්න යනු තිර රචකයකු මතු නොව ප්‍රබන්ධ සාහිත්‍යකරුවකු ද වන බැවිනි.
එම අඩුපාඩුව තිබිය දී වුව මෙම ටෙලි නාට්‍ය මතුපිටින් කියවා ගැනීමට නොව ගැඹුරින් කියවා ගැනීමට සමත් අවම ප්‍රේක්ෂක ප්‍රජාවක් හෝ මෙරට වෙසෙතැයි මම විශ්වාස කරමි. එමෙන් ම එබදු ප්‍රෙක්ෂක බලාපොරොත්තු සපුරාලන ආකාරයේ නිර්මාණ ජනගත කරන්නැයි තිර රචක අරුණ ප්‍රේමරත්නගෙන් මෙන් ම අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් ද ඉල්ලා සිටින්නේ ‘‘සුසුම් රස්තියාදුව’’ ඉතා අගනා නිර්මාණයක් බව යළි යළිත් අවධාරණය කරමිනි.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
2024/02/18