ආහාර ඉඩම් සහ බිජවලට ඇති අයිතිය ගැන අද කොළඹදි විරෝධතාවක්

0
68

දහස් ගණනකගේ සහභාගිත්වයෙන් අද  කොළඹදි විරෝධතාවක් පවත්වමින් ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය ඇතුළු සංවිධාන  ඉල්ලා සිටියේ තමන්ගේ ජිවනෝපායන් සදහා ඇති අයිතිය තහවුරු කරන ලෙසයි.ඉඩම්,බීජ, සහ ජලයට ඇති අයිතිය තේමා කොට ගෙන පැවැති මෙම උද්ඝෝෂණය සදහා උතුරු නැගෙනහිර ජනතාවද සහභාගිවි සිටියහ.

තමන්ගේ ගම්බිම්වල අයිතිය තමන්ට යළිත් ලබා දෙන ඉල්ලිමින් ඔවුන් හඩ නගා කියා සිටියෝය.විශේෂයෙන්ම මුල්ලිකුලම් ජනතාව සිය ගම්බිම් නැවත ලබාදෙන ඉල්ලමින් මහත් උද්යෝගයෙන් මේ උද්ඝෝෂනයට සහභාගි වි සිටිනු දක්නට ලැබුණි.

අතිගරු ජනාධිපතිතුමන් වෙත,

රටක ආහාර සුරක්ෂිතභාවය ආරක්ෂා කිරිම සඳහා එම රටේ ආහාර නිෂ්පාදකයින්ගේ ජීවිකාවන් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යය සාධකයකි. විශේෂයෙන්ම ඉඩම්, ජලය හා බීජ වැනි අත්‍යවශ්‍යය සම්පත් සඳහා ඔවුනට ඇති අයිතිය මෙහි දී මූලික වේ.

2012 ලෝක ආහාර සතිය සමරන ඔක්තෝබර් 9 සිට 16 දක්වා ආහාර නිෂ්පාදකයින්ගේ අයිතීන් උදෙසා ක්‍රියාකාරි සතියක් දියත් කිරිමට ශ්‍රී ලංකාවේ ගොවි, ධීවර, වතු කම්කරු, කාන්තා හා අනෙකුත් සිවිල් සමාජ සංවිධාන එකතුවක් වූ ‘ඉඩම් අයිතිය සඳහා වූ ජනතා එකමුතුව‘ කටයුතු කරන ලදී.

ඉඩම්, ජලය හා අනෙකුත් ස්වාභාවික සම්පත් සඳහා ආහාර නිෂ්පාදනකයින්ට ඇති අයිතිය අහිමි කරවන වර්තමාන සංවර්ධන ක්‍රියාවලිය හේතුවෙන් අනාගතයේ දී මතුවිය හැකි බරපතල අවදානම් සම්බන්ධයෙන් ඔබතුමන්ගේත්, රජයේත් සමස්ත මහජනතාවගේත් අවධානය යොමු කිරිම මෙම ක්‍රියාකාරිත්වයේ අරමුණයි.

සමස්ත ලෝකයම ආහාර අර්බුදයකට මුහුණ දී සිටින මේ මොහොතේ ආහාර නිෂ්පාදකයින් සතු ඉඩම් හා අනෙකුත් සම්පත් කොල්ලය, deforestation and water scarcity රටේ ආහාර අනාරක්ෂිතභාවය හා පාරිසරික අසමතුලිතභාවය උග්‍ර කරවීම සඳහා හේතුවනු ඇති බවට අපි විශ්වාස කරමු.

එබැවින්,

–           ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආහාර හා ජීවනෝපාය සුරක්ෂිතභාවයේ පදනම වූ ඉඩම්, ජලය ඇතුළු ස්වාභාවික සම්පත් යටිතල පහසුකම්, සංචාරක, කර්මාන්ත,  මහා පරිමාණ කෘෂිකාර්මික හා අනෙකුත් සංවර්ධ ව්‍යාපෘතින් සඳහා  මහා පරිමාණයෙන්, බලහත්කාරයෙන් උදුරා ගැනීමට,

–           තිරසාර නොවූ හා නිසි පරිදි සැළසුම් නොකරන ලද සංවර්ධන ව්‍යාපෘතින් නිසා සිදුවන වනාන්තර හා ස්වාභාවික පරිසර පද්ධති විනාශයට,

–           ජනතාවට තමන්ගේ ගම්බිම් හි නැවත පදිංචි වීම, ජීවිත හා ජීවනෝපායන් ගොඩනගා ගැනීමට බාධා කරමින් තවදුරටත් පවත්වාගෙන යන අධි ආරක්ෂිත කලාපයන්ට,

–           සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයින්ගේ අයිතීන් උල්ලංඝණය කරවන හා පාරිසරික වශයෙන් විනාශකාරි වූ, මහා පරිමාණ සමාගම්වල ලාභ උවමනාවන් මත ගොඩ නැගෙන කාර්මික ආහාර නිෂ්පාදන ක්‍රමවේදයන් ට,

–           ජනතාව සතු ජලය හා බීජ අයිතිය සමාගම් වෙත පැවරීමට

–           කාන්තාවන්ට ඉඩම් අයිතිය සම්බන්ධයෙන් පවතින අසාධාරණ අණපනත් වෙනස් කිරිම උදෙසා ඇති දේශපාලන නොඋවමනාවට

අපි විරුද්ධ වන්නෙමු.

වඩා සාධාරණ හා තිරසාර ඉඩම් භාවිතයක් උදෙසා පහත සඳහන් යෝජනාවන් ඉදිරිපත් කිරීමට අපි කැමැත්තෙමු.

–           ඉඩම් කොල්ලය වහා නවත්වා, සැබෑ ජනතා හිතවාදි ඉඩම්, කෘෂිකර්ම හා ධීවර ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දීම.

–           ශක්තිමත් ග්‍රාමීය ආර්ථිකයන්ට දායක වන, පාරිසරික හා ආර්ථික වශයෙන් තිරසාර වූ, සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයින්ට හිතකර ආහාර නිෂ්පාදන ක්‍රමවේදයන් ගොඩ නැගීම සඳහා රජයේ සහයෝගය ලබා දීම

–           ඉඩම් හා අනෙකුත් සම්පත් සඳහා කාන්තාවන්ට ඇති අයිතිය හා තීන්දු ගැනිමේ ක්‍රියාවලිය තුළ ඔවුන්ගේ සමාන සහභාගිත්වය  තහවුරු කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදී ප්‍රතිපත්තින් ක්‍රියාවේ යෙදවීම.

–           සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා ගැනීම එම ඉඩම් භාවිතා කරන ජනතාවගේ සම්පූර්ණ නිදහස් කැමැත්ත හා අනුදැනුම ඇතිව සිදුවිය යුතු අතර, ඔවුන්ගේ ජීවිත හා ජීවිකාවන්ගේ යහපැවැත්මට හානිකර නොවන අයුරින් සිදුවිය යුතුය.

–           සියලු සංවර්ධන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීමේ දී විශ්වාසදායී හා ඵලදායී සමාජ හා පාරිසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලින් සිදු කිරිම අනිවාර්ය කළ යුතුය.

–           සංවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් හේතුන් මත සිදුවන ඉඩම් අත්පත්කර ගැනීම් හා ජනතාව නැවත පදිංචි කරවීම් සම්බන්ධයෙන් ජාතික අනිච්ඡානුගත නැවත පදිංචි කරවීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවේ යෙදවිය යුතුය

–           වතු කම්කරු ජනතාව ශ්‍රී ලංකාවේ ගෞරවණීය පුරවැසියන් වශයෙන් පිළිගැනීම සඳහා ඔවුනට ඉඩම් අයිතිය ලබා දිය යුතු අතර එම ඉඩම් තුළ පරිසර හිතකාමි තිරසාර කෘෂිකර්මාන්තයක් ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සහාය ලබා දිය යුතුය.