ඇන්ඩෲ ජයමාන්න කලාකරුවා අප හැර යන්න මොහොතකට පෙර කී කථාව….

0
102

TV52නැවැත පළකිරිමකි.

මීගමුවේ විල්සන් ජයමාන්න සහ බියටස්  පෙරේරා යුවලට දාව උපන් දරුවන් දස දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වු මොහොට්ටිගේ දොන් ඇන්ඩෲ ෆිලික්ස් ජයමාන්න නොහොත් අප කවුරුත් හොදින් හදුනන, සිංහල සිනමා ක්ෂේත්‍රයේ  ප්‍රකට ඇන්ඩෲ ජයමාන්න , ඉතා දක්ෂ සහ ප්‍රවීන චිත්‍රපට කැමරා අධ්‍යක්ෂවරයෙකි.
හාරලක්ෂය, හංසවිලක්, තුන්වැනියාමය, සතිපුජා, සුද්දීලාගේ කථාව, සෙයිලම, සිරිමැදුර, විසිදැල සහ මංගල තෑග්ග ආදී සම්මානනීය සිනමා නිර්මාණ රැසක් ඔහුගේ කැමරා අධ්‍යක්ෂනයෙන් ඔපවත් විය.
එලෙසම ඔහු දක්ෂ තිර පිටපත්  රචකයෙකි, සංස්කරණ ශිල්පියෙකි. අලෝකකරණ අධ්‍යක්ෂනයේ ප්‍රවීනයෙකි.
සිනමා සහ රූපවාහීනිකරණයේ ප්‍රතිභාපුර්ණ අධ්‍යක්ෂකවරයෙකි. පුංචි තිරයේද ඔහුගේ නිර්මාණයන් බොහෝමයකි. කෝපි කඬේ (මුල් කොටස් 52) ධර්මාධිකරණය, සසල රුව, චල අචල, සනාතන කතන්දර සහ ගමේ විත්ති ආදී ටෙලි නිර්මාණ ඉන් කිහිපයකි. තවද ඔහු ජනමාධ්‍ය සහ කලා ක්ෂේත්‍රයේ වියත් ගුරුවරයෙකි.
ඔහු පසුගිය පෙබරවාරි 16 වැනි  දින සිනමාවට පිවිස 50 වසරක් සපිරීම මහත් වූ අභිමානයෙන් සමරනු ලැබීය. එහෙත් ඒ සතුටුදායක අවස්ථාව ඊළග නිමේෂයේදී වියැකී ගියේ ඔහු පිලිබදව වු තවත්  පුවතක් සැලවීමත් සමගිනි. ”
හෙට, ඇන්ඩෲ ජයමාන්න රට හැර යනවා” යන එම පුවත සැලවීමත් සමග අප ඔහු හමුවන්නට ගියෙමු .
අප ලද එම පුවත සත්‍යයක් බවට පත් කරමින් ඒ වන විටත්  ඔහු සියල්ල සුදානම් කර හමාර වී තිබිණි.  එවන් පසුබිමක සිටියදී පවා ඔහු ” මීපුර ” පුවත්පතට මෙතෙක් කිසිදු මාධ්‍යකට හෙලි නොකළ අදහස් සහ බොහෝ කරුණු කාරණා හෙලි කළේය. පහත පළවන්නේ ඇන්ඩෲ ජයමාන්න මහතා  ”මීපුර” පුවත්පත සමගින් කළ පිලිසදරේ සංක්ෂිප්තයකි.

ඔබ වැනි ජේෂ්ඨ නිර්මාණකරුවෙක් ඇයි එකපාරටම රට හැර යන්න තීරණය කළේ ?

මම යන්නේ යම් ආකාරයක කලකිරීමකින් කියලත් කියන්න පුඵවන්.  හැබැයි මම මේක හදිසියේ ගත්තු තීරණයක් නෙවෙයි. සෑහෙන කාලයක් තිස්සේ හොදට හිතලා මතලා ගත්තු තීරණයක්.  මේ රටේ මම හිටියොත් මේ කලකිරිම ආතතියක් බවට පත් වෙන්න පුඵවන්. ඊයේ දිනයේදී මම මේ සිනමාවට ඇවිත් 50 වසරක් සම්පුර්ණ කළා. ඒත් මට තවම මටමයි කියලා ඉන්න හිටින්න ගෙයක් නැහැ. ජීවත්වෙන්න හරිහමන් ආදායමක් නැහැ. ආදායමක් නැතත් කලාකරුවෙකු තම නිර්මාණ කාර්යයේ යෙදෙමින් ලබන තෘප්තියවත් ලබා ගන්න මේ රටේ මට නිදහසක් නැහැ.
තම කලාව තුළින් ජනතාව දැනුවත් කරලා සමාජයට යම් සේවාවක් කරන්න අයිතියක් ඉඩකඩක් නැහැ.
එහෙම රටක මම තවත් මොනවාටද ඉන්නේ. විස්වාශ කරනවාද පසුගිය වසරේ දී මම ගෙවල් 05 ක හිටියා කාලෙන් කාලෙට , කුලී ගෙවා ගන්න බැරිව.
මෙතනදී මම මාගේ කෘතගූණ පුර්වක ස්තූතිය පලකරනවා මීගමුවේ මගේ ගෝල බාලයින්ට, ඒවාගේම මාගේ හිතවතුන් ඥාතීන්ට .
පසුගිය කාලයේදී ඒ අය මාව හොදින් බලා කියා ගත්තා කන්න බොන්න දුන්නා. මාව අසරණ වෙන්න ඇරියේ නැහැ. ඒත් හැමදාම ඒ අයට මට බරක් වෙලා ඉන්න බැහැ. ඒක නිසයි මම යන්න තීරණය කළේ.

මේ රට තුළ වර්තමානයේ ඔබ වැනි කලාකරුවෙකුට නිදහසේ ස්වාධිනව නිර්මාණකරනයේ යෙදෙන්න, කලාව තුල ජනතාව දැනුවත් කරන්න ඉඩක් අයිතියක් නිදහසක් නැහැ කියලා කියන්නේ කොහොමද ?.
කලාකරුවෝ කියන්නේ පාලකයන්ගෙන් එහෙමත් නැතිනම් දේශපාලකයන්ගෙන් හෝ දේශපාලනයට සම්බන්ධ කොම්පැණිකාරයන්ගෙන් පිනට කන බොන පිරිසක් නොවිය යුතුයි. කලාකරුවන්ට නිදහසේ නිර්මාණකරණයේ යෙදෙන්න කලාව තුල ජනතාව දැනුවත් කරන්න අයිතියක් නිදහසක් රටේ පාලකයන් විසින් සකසා දිය යුතුයි. හැබැයි කණගාටුවෙන් වුනත් මේ ඇත්ත මම කිව යුතුයි. පසුගිය කාලයේ මේ රටේ මම ඇතුඵ මම වැනි කලාකරුවන්ට ඒ නිදහස අයිතිය ලැබුණේ නැහැ.

ඔබ පසුගිය කාලයේ කොළඹ සිට නැවත මීගමුවට පැමිණියේත්   මේ ප්‍රදේශයේ ජනතාවට විශේෂයෙන් පාසල් ළමුන්ට කලාව පැත්තෙන්  යම් සේවාවක් කරන බලාපොරොත්තුවෙන්  නේද ?
ඒක තමයි මම මේ කියන්නේ. එහෙම අදහසින් මම ඇවිත් ඇත්තටම මීගමුව තුළ යමක් කරන පිරිසක් සමග නමින් කිව්වොත් කිතුසර කණ්ඩායම සමග මම මීගමුවට සැබෑවටම කලාව තුළින් යමක් කරන්න වැඩසටහන් කිහිපයක් පටන් ගන්න මුල පිරුවා.
එහි එක වැඩසටහනක් ලෙස මීගමුව අධ්‍යාපන කොට්ඨාශයේ සෑම පාසලකින්ම ඒ ඒ විදුහල්පති විසින් තෝරා එවන සිසු දරුවන් 50 දෙනෙකු බැගින්  සහභාගී කරගෙන ඒ අයට සිනමාකරණය, නාට්‍යකරණය, ගුවන් විදුලි වැඩසටහන් නිර්මාණය සහ පුවත් පත් කලාව පිලිබදව පාඨමාලාවක් නොමිළේ පවත්වන්න කටයුතු කළා. ඒ සදහා යන වියදම් විශේෂයෙන්ම මේ සදහා පැමිණෙන සම්පත් දායක දේශකයන්ට ගෙවීමට සිදුවන මුදල් සහ අනෙකුත් වියදම් පියවා ගන්න සැලසුම් කළේ අපි නාට්‍ය පෙන්වලා .
නාට්‍ය බලන්න යන ප්‍රවේශ පත්‍රයක මිල ලෙස තීරණය වුනේ රු.100 යි. ඒවා පෙන්වන්නේ පාසලක. මොකද වෙනත් රංග ශාලාවක පෙන්වද්දී යන වියදම් ඉතුරු කර ගන්න තමයි අපි එහෙම සැලසුම් කළේ . මේ පාඨමාලාවන් ආරම්භයට පෙර මීගමුව කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් අවසර ගත යුතුව තිබුණා. ඒනිසා මම ගිහින් ඔහුව දැනුවත් කළා. ජගත් පුෂ්පකුමාර කියන මේ නිලධාරියා මට සවන් දෙනවා වෙනුවට මට නොසෑහෙන විදිහට බැන්නා.
පරුෂ වචන වලට සමාන වචන යොදා ගෙන මට බැන්නා. මම ඔහුට එහිදී තේරුම් කර දුන්නා මම බිස්නස් කාරයෙක්වත් දේශපාලකයෙක්වත් නෙමේ මම කලාකරුවෙක් පමණයි කියලා. ඒත් ඔහු මට දොස් කීම නැවැත්වුවේ නැහැ. පසුව අවසානයේදී මේ නිලධාරියා මට කිව්වා අවසරය ලබා ගන්න ලිපියක් තියෙනවා නම් තියලා දැන් මෙතනින් පිට වෙලා යන්න කියලා. හැබැයි දැන් සෑහෙන කාලයක් ගියා. ඒ වැඩසටහනට අවසරයක් තියා ඒ ලිපියට පිළිතුරක්වත් තවම මට ලැබුණේ නැහැ. ඒනිසා පාසල් දරුවන්ට පවත්වන්න අපි සැලසුම් කළ ඒ පාඨමාලාව හිටිතැනම ලොප් වුනා.
මීගමුවේ පාසල් ළමුන් සදහා කිතුසර කණ්ඩායම සමග සංවිධානය කළ සම්මන්ත්‍රණ මාලාවේ අත්දැකීම කෙබදුද?
ඔව්, ඒ අපි පැවැත්වුවේ සම්මන්ත්‍රන මාලාවක්. ඒක කර ගන්න පුඵවන් වුනේ ඒ සම්මන්ත්‍රන පවත්වන්න අවසර ගත යුතුව තිබුනේ පාසල් වල විදුහල්පතිවරුන්ගෙන් පමණයි. ඒ අනුව මාරිස්ටෙලා, සෙන් මේරිස්, සෙන් පීටර්ස්, ආවේ මරියා, හරිස්චන්ද්‍ර, අසිරිමත් දේවමාතා , දඵපත සහ දඵවකොටුව කියන පාසල් ද ඇතුඵ මීගමුව ප්‍රදේශයේ එක් පාසලක් ඇරෙන්න සෑම පාසලකම මේ කලාව සහ කලා රසවින්දනය ගැන  අපි සම්මන්ත්‍රන පැවැත්වුවා. ඒ සදහා දේශකයෙකු ලෙස කිසිදු අයකීරීමක් නොමැතිව සිනමාවේදී ධර්මසිරි බන්ඩාරනායක මහතා සහභාගී වුණා. මීගමුවේ නිවුස්ටඞ් විදුහලේ විදුහල්පතිනිය හමුවී අපි මේ සම්මන්ත්‍රණය එහි පවත්වන්න අවසර ඉල්ලූවාහම එතුමිය කිව්වා ඇන්ඩෲ ජයමාන්නවත් ධර්මසිරි බන්ඩාරනායක කියන්නේ කවුද කියලාවත් එතුමිය දන්නේවත් නැහැ කියලා. ඉතින් එකෙන් වැටහෙනවා නේද අද කලාවට සහ කලකරුවාට මේ සමාජය තුළ තිබෙන තත්වය කොයි වාගේද කියලා.

කලාව තුළින් පොදු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන්නත් ඔබ සැලසුම් කලා නේද ?
මම කලින් සදහන් කරපු වැඩසටහන් දෙක සාර්ථක වුණා නම් අපේ ඊළග පියවර , ඉලක්කය වී තිබුනේ මීගමුවේ කතෝලික දෙවස්ථාන හා වෙනත් ආගමීක සිද්ධස්ථාන හරහා පොදු ජනතාව සදහා වැඩසටහන් මාලාවක් පවත්වන්න. නමුත් මේ රටේ එවැනි දේකට ඉඩක් නැහැ. කොටින්ම කියනවා නම් දේශපාලකයෙකු හෝ දේශපාලනයට සම්බන්ධ බිස්නස්කාරයෙක් නැතිව කිසිම වැඩසටහනක් පැවැත්වීමට නොහැකියි. ඒ තත්වය තමයි මගේ කල කිරීමට හේතු වුණේ.

අද අපි ජීවත් වන්නේ වානිජවාදී සහ සංකීර්ණ වූ විශ්වීය සමාජයක. එහෙම සමාජයක ජීවත් වෙද්දී ලංකාව වැනි රටක වෙසෙන ජනතාවට කලාව කියන දේ එතරම්ම වැදගත් ද ?

අද ඉන්න පාසල් යන ළමයෙක් ගැන හිතන්න.  උදේ සිට රෑවන තුරුම පාසලෙයි ටියුෂන් වලයි ඉගෙන ගන්නවා. විභාග පාස්වෙනවා. ඒක රැකියාවකට සුදුසුකමක් වෙනවා. හොද රැකියාවක් කරනවා. හොද  වැටුපක් ලෙස මුදලක් අතට ලැබෙනවා. ඒ මුදල නැත්නම් ලාභය කියන දේ තමයි ඔබ ඔය කියන  වානිජවාදී සංකිර්ණ සමාජයක අවසාන ඉලක්කය වෙන්නේ. ඒකනේ කියන්නේ බල්ලන් මරා හෝ මුදල් හම්බ කළ යුතුයි කියලා. එවැනි සමාජයක මිනිසුන් හරියට යන්තර වාගේ නැතිනම් රෝබෝවරු වාගේ . මුදල් කියන ඉලක්කය පමණයි ඒ සමාජයේ තියෙන්නේ උඩින් මිනිස්සු යටින් රොබෝලා. එවැනි සමාජයක අපරාධ දූෂණ වැඩියි. මොකද ප්‍රධාන ඉලක්කය මුදල් නිසා.
යහපත් මිනිස් ගුණ ධර්ම ඒ සමාජයේ නැහැ. අනෙකාගේ අයිතීන් හා නිදහස ගැන තැකීමක් නැහැ. හැම දෙයක්ම තීරණය වන්නේ මුදලින්. එවැනි සමාජයක් කවදාවත්ම ඉදිරියට යන්නේ නැහැ. මේක සංවර්ධනයක් නැති සමාජයක්. කලාව සහ කලාව රසවින්දනය තුළින් සිදු වන්නේ මිනිසාව සංවේදී සත්වයෙකු බවට පත් කරවනවා. ඔහුට නිදහසේ හිතන්න පසුබිම සකසනවා. එවිට ඔහු ප්‍රඥාවන්තයෙකු බවට පත් වෙනවා. උතුම් මිනිස් ගුණධර්ම පිරි සමාජයක් ඉබේම බිහි වෙනවා. සතා සිව්පාවාට ගහ කොලට පරිසරයට සහ තමා සමග ජීවත්වන අනෙකා ගැනද යහපත් සිතුවිලි ඇති වෙනවා. නව අදහස් පුබුදිනවා. සමාජයට යහපත් නව නිර්මාණ බිහි වෙනවා. සමාජයට යහපත් නව අදහස් නව නිර්මාන බිහිවෙන විට එම සමාජය වඩාත් සංවර්ධිත සමජයක් බවට පත් වෙනවා. ආන්න ඒකයි සංවර්ධනය කියන එකේ නියම අර්ථය . එහෙම නැතිව අද ඉන්න පාලකයෝ වාගේ පාරවල් කාපටි කරලා, කොන්ක්‍රිට් ගොඩනැගිලි හදලා යටින් විශාල කොමිස් මුදලක් ගසා කලා පෙන්වන දේ නෙමෙයි නියම සංවර්ධනය කියන්නේ. හැබැයි පාලකයා අද වෙද්දි කරලා තියෙන්නේ  මේක තමයි නියම සංවර්ධනය කියලා ජනතාවට පෙන්නලා ජනතාවගේ ඥානය මොට කරලයි තියෙන්නේ. 1970 විතර අද වාගේ පාරවල් කාපටි කරලා පලල් කරලත් නැහැ. ඒ කාලේ අද වාගේ සැපට ඉක්මනින් යන්න ඒ.සී. කරපු බස් තිබුණෙත් නැහැ. හැබැයි අපි මීගමුවේ ස්ටෑන්ඞ් එකෙන් බසයට නැග්ගහම ඒ කාලේ විනාඩි 55 කින් කොළඹ ගියා. නමුත් අද කාපටි කරපු පලල් කරපු පාරවල් නවීන තාක්ෂනයේ බස් රථ තියෙනවා. නමුත් අද මීගමුවෙන් ඒ.සී තියා කොයි බස් එකක කොළම ගියත් අඩුම තරමේ පැයකුත් විනාඩි 15 ක් යනවාමයි. ඉතින් අපි ඉස්සරට වඩා සංවර්ධනය වෙලාද . සංවර්ධනය වෙලා නම් එදාට වඩා අද අපිට පුඵවන් වෙන්න  ඕනේ කාලය ජයගන්න. නමුත් එහෙම වෙලා නැහැ.

දැන් ඔබ කියන්නේ ජනතාවගේ ඥානය මොට කරලා තියෙන්නේ දේශපාලකයා කියලද
ඔව් ඒක තමයි ඇත්ත. පාලකයා සෑම විටම කැමතියි තමාගේ පුරවැසියා ඒ කියන්නේ පාලිතයා අඥානවන්තයෝ නම්. මොකද රටක ජනතාව ඥාණවන්තනම් පාලකයා ට තමන්ට රිසි ලෙස රට පාලනය කිරීම අමාරු කාර්්‍යයක් බවට පත් වෙනවා . පාලකයා රට කරවන ක‍්‍රමය ගැන සෑම විටම ඥාණවන්ත ජනතාව විමසිල්ලෙන් සිටිනවා. එවැනි තත්වයකට පාලකයා කැමැති නැහැ. ඉතින් පාලකයා සෑම විටම කරන්නේ ජනතාවගේ ඥානය මොට කරන කටයුතු පමණයි. දැන් බලන්න මේ දවස් වල තියනවානේ ඔය ජීනීවා වලට විරුද්ධව උද්ඝෝෂන මාලාවක්.  ඔවා වලට එන කීයෙන් කීදෙනාද අඩුම තරමින් දන්නේ ජීනිවා කොහේද තියෙන්නේ කියලාවත්. ඔහේ එන්නම් වාලේ එනවා.  ඕවා වලට එන හුග දෙනෙක් කිසිදු දැනුවත්වීමක් නැතිවයි  ඕවට එන්නේ. අඩුම තරමින් ඒ අයව රැුගෙන නායකයන් දන්නෙත් නැහැ මොකක්ද මේ කරන්නේ කිියලා. දැන් බලන්න මේ දවස්වල එක ඇමති කෙනෙක් කෑගහනවා ඇමරිකාවේ හදපු ” ගූගල් ” වල තියෙන ජී-මේල් භාවිතා කරන්න එපා කියලා. හැබැයි එයා දන්නේ එයාගේ කොම්පියුටරේ තියෙන සොෆ්ට් වෙයාර්ස් සේරම ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ එවා කියලා. ඇමරිකාව වර්ජනය කරන්න කියලා තාප්ප වල ගහන පෝස්ටරය අලවන පාප්ප හදන්නෙත් ඇමරිකාවෙන් හදලා මෙහාට එවන තිරිගු පිටි වලින් කියලා එයා දන්නේ නැහැ. මේවා ඉතිං බයිලා මිසක් වෙන මොනවාද

වර්තමාන රජය කලාව සහ කලාකරුවන් පිලිබදව දක්වන සැලකීම ගැන මොකක්ද ඔබේ අදහස.?
සුමිත්ත අමරසිංහ කියලා හිටියා දක්ෂ චිත්‍රපට කැමරා අධ්‍යක්ෂවරයෙක්. එයා මීට දශක 04 කට පමණ පෙර නඵ නිලියන් ඇතුළු  ක්ෂේත්‍රයේ පිරිසක් එකතු කර ගෙන සංවිධානයක් පිහිටුවා ගත්තා. පසු කාලයේදී එම සංවිධානය රාජපාක්ෂික සහ රාජපාක්ෂික නොවන කියලා කොටස් 02 කට බෙදුණා. පසුව 1970 සිරිමාවෝ බන්ධාරනායක මැතිණිය බලයට පත් වෙලා මේ කොටස් 02 කම එකතු කරලා රජයේ අනුග්‍රහය ද ලබා දීලා සිංහල සිනමාව නගා සිටුවීම සහ ආරක්ෂා කිරීම යන අරමුණු පෙරදැරිව චිත්‍රපටි සංස්ථාව ලෙස නම් කළා. දැන් මේ වසරේ ඒ චිත්‍රපට සංස්ථාව බිහි වී වසර 40 ක් පිරීම, මහා සද්දෙන් සැමරුවා. හැබැයි ඒ සද්දේ දාපු සැමරුමේදී මේ ආයතනය පිහිටුවන්න මුල පුරපු සුමිත්ත අමරසිංහගේ නමවත් අඩුම තරමින් මතක් කරන්නවත් මේ සැමරුම සංවිධානය කරපු කලාකරුවන් යැයි කියා ගන්නා පිරිසටවත් රටේ පාලකයේ සමග ඉන්න මහා කලාකරුවන් යැයි කියා ගන්නා පිරිසටවත් අමතක වුණා. ඒවාගේම ගුණමකු වුණා. ඒක තමයි පාලකයන් සහ ඒ වාටා ඉන්න කලකරුවන් යැයි කියා ගන්නා පිරිස අද කලාවට සහ කලකරුවන්ට දක්වන සැලකිල්ලේ තරම.

ඔබ සිනමාවට පිවිස 50 වසරක් සම්පුර්න කලා. මේ කාලය තුල ඔබව කී වතාවක් නම් ඇගයීමට ලක් වෙලා තියෙනවාද ?
මගේ සිනමා ජිවිතයේ මාව ඇගයීමක් කලේ ඊයේ විතරයි. ඒ කියන්නේ ඔය 50 වසර සැමරුම දවසේ පමණයි ඒක තිබුණේ කොළඹ සෝවියට් රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ. ඒකට දේශපාලකයෝ සහභාගී වුණේ නැහැ. අර්නස්ට් පෝරුතොට පියතුමා , පරාක්‍රම නිරිඇල්ල , සුදත් මහාදිවුල්වැව, සුමින්ද වීරසිංහ සහ ධර්මසිරි බන්ඩාරනායක වැනි කලාකරුවන් එහිදී කතා පැවැත්වුවා. ඒවාගේම මගේ හාරලක්ෂය චිත්‍රපටිය පෙන්නුවා. ඉතින් මම ඒ උත්සවය සංවිධානය කරපු හැමෝටම ස්තූතිය පලකරනවා. ඒත් එක්කම 1972  ඕ.සී.අයි.සී. සිනමා සම්මාන උළෙලේ මටයි ටයිටස් තොටවත්තයන්ටයි සහතික දෙකක් දුන්නා හාරලක්ෂය චිත්‍රපටියට. හැබැයි වේදිකාවෙන් බැහැලා ඇවිත් බලපුවාහම ඒක පීත්ත පටි වලින් ඔතාපු හිස් කාඞ් බෝඞ් දෙකකුයි අපිට දීලා තිබුනේ. පසුව ආරංචි වුණා එම සම්මාන උළලේ ජුරියට බලපෑම් එල්ල වෙලා අපිට සහතික දෙන්න එපා කියලා. අවසානයේ කර ගන්න දෙයක් නැති නිසයි පීත්ත පටි වලින් ඔතලා හිස් කාඞ් බෝඞ් කැලි දෙකක් දිලා තියෙන්නේ .

ඔබ කලක්  කතෝලික සිනමා පර්ෂදය සමගින් එක්වී සිනමාකරණ පාඨමාලාවක් මෙහෙයවුවා නේද ? ඇයි ඔබට අද බැරි එවැනි පාඨාමාලාවක් මෙහෙයවමින් ඔබේ දැනුම නව පරපුරට ලබා දෙන්න. ?
කතෝලික සිනමා පර්ෂදය කියන්නේ කතෝලික සභාවේ අනුදැනුම මත ස්ථාපිත වුවක්. එදා එහෙම කරන්න පුඵවන් වුනාට අද එහෙම කරන්න බැහැ. මොකද අද ලංකාවේ කතෝලික සභාව යැපෙන්නෙත් මේ පවතින රාජපක්ෂ ආණ්ඩුවෙන්. ඒක තමයි ඇත්තම තිත්ත ඇත්ත.

මේ මගේ අවසාන ප්‍රශ්ණය, මට මේ ප්‍රශ්නයට සෘජු පිලිතුරක් දෙන්න, ඔබ යන්නේ නැවතත් මේ රටට නොඑන්නමද ?
මම මේ රටට නැවත එනවා නම් ඒ මොකටද කොහාටද යන ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගත යුතුයි. කලාකරුවෙකුට නිදහසේ තම කලාව තුල සමාජයේ වෙසෙන ජනතාවට දේශපාලනයෙන් නොරව යම් සේවයක් කිරිමට අයිතියක් ඇති පරිසරයක් , පසුබිමක් ඉදිරිකාලයේදී හෝ ඇති වුනොත් මම නැවත ලංකාවට පැමිණේවී. මම ගියත් මගේ ඔලූව තියෙන්නේ ලංකාවේ ශරීරය පමනයි මා රැගෙන යන්නේ.

අප ඔහුට සමු දුන්නෙමු. ඒ නැවත ඔහුව ඉතා ඉක්මනින්ම මේ භූමි තලයේදීම හමු වේවා යැයි සුභ ප්‍රර්ථනා කරමිණි.  ඔබට සුභ ගමන්.

කතාබහ – තුෂාර රොහාන්