ඇමතිවරුන්ට තහංචි පැනවේ : බැකප් රථ බැහැ! – නිල සංචාරවලට බිරින්දෑවරුන් බැහැ!!

0
74
යෝජිත භාරකාර රජයට පත්වන ඇමැතිවරුන් ජනාධිපතිවරණයේදී තමන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු පමණක් ඉටු කිරීමට කැපවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඇමැතිවරුන් 15 දෙනකුගෙන් යුත් භාරකාර රජය මහ මැතිවරණය පවත්වන තුරු ක්‍රියාත්මක වීමට නියමිතය.

භාරකාර රජයේ ඇමැතිවරුන් මෙම කෙටි කාලය ඇතුළත රැකියා ලබාදීමෙන් වැළකිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. මහ මැතිවරණය ඉලක්ක කරමින්, මනාප ලබාගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන්ද ඇමැතිවරුන් වැළකී සිටිය යුතු වෙයි.

මාර්තු මාසයේ මහ මැතිවරණය පැවැත්වෙන අතර ඒ වන විට ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක කළ හැකි යෝජනා ක්‍රියාත්මක කිරීමද ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.

වාහන මේනියාවට තිත !

තමාගේ රජයේ කිසිඳු මැති ඇමතිවරයකුට පරිවාර වාහන හෝ අතිරේක ආරක්ෂකයින් සැපයීම වහාම නවත්වන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අදාල බලධාරීන්ට නියෝග කර ඇත.

එසේම, මින් ඉදිරියට කිසිඳු ඇමතිවරයකුට විදෙස් නිල සංචාරයන්හිදී සිය බිරිඳ හෝ පවුලේ සාමාජිකයින් සහභාගිකරවා ගැනීම තහනම් කිරීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඒ සඳහා පුර්වාදර්ශයක් සපයමින් සිය ප්‍රථම නිල සංචාරය වන ඉන්දීය සංචාරය සඳහා සිය බිරිඳ කැඳවා ගෙන නොයාමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ද වාර්තාවේ.


බැනර් කටවුට් ඉවත් කරන්නැයි නියෝගයක් !

මේ අතර පොලිසියට නියෝගයක් ලබාදී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වහාම ක්‍රියාත්මක වන පරිදි තමන්ට සුභ පැතුම් එක් කරමින් පළකර ඇති බැනර්, කටවුට් ආදිය ගලවා ඉවත් කරන ලෙස දැනුම් දී ඇත.

ප්ලාස්ටික් සහ පොලිතීන් වැනි පරිසරයට අහිතකර ද්‍රව්‍යයන් යොදා ගනිමින් පළකර ඇති සියලුම බැනර් සහ කටවුට් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා ගේ නියෝගයේ සඳහන්වේ.

මේ අනුව පොලිසිය විසින් අදාළ බැනර් සහ කටවුට් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටියි.

පරිණත නොවූ අවසානයක් දක්වා නොගිය යහපාලන ප්‍රතිපත්ති මේ වනවිට එක්තරා දුරකට ගෝඨාබය රාජපක්ෂ විසින් ඉටුකරමින් පවතී යන්න අපට දැන් නිරීක්ෂණය කල හැකියයි දේශපාලන විචාරක මහේෂ් හපුගොඩ සිය FB පිටුවේ සටහන් කර තිබේ.
theleader.lk