ඇය වෙනුවෙන් පාර්ලිමේන්තුව තැඹිලි පැහැගැන්වෙයි

0
198

…ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය පිටුදැකීමේ ක්‍රියාකාරකම් කළ යුතු දින දහසය හා සබැදි ගෝලීය ව්‍යාපාරය සමග ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහයෝගීතාවයෙන් සිටී.

සෑම වසරකම නොවැම්බර් 25 දිනට යෙදෙන කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයේ සිට දෙසැම්බර් 10 වන දිනට යෙදෙන මානව හිමිකම් දිනය දක්වා දින 16 ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි දින 16යේ ක්‍රියාකාරීත්වය ලෙස ගෝලීය වශයෙන් සනිටුහන් කරන බැවින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ UNiTE නම් ව්‍යාපාරය මෙම වසරේ ගෝලීය තේමාව “ඇය වෙනුවෙන් ලෝකය තැඹිලි පැහැ ගන්වමු.



කාන්තාවන්ට එරෙහි හිංසනය දැන්ම අවසන් කරමු” මැයෙන් ප්‍රකාශයට පත්කර ඇත. ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළීබදව විශේෂ අවධානය යොමු කරමින් ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබදව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා වූ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය පිළිබද තේරීම් කාරක සභාව නමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පිහිටුවා ඇත. එම තේරීම් කාරක සභාව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායකය සහ විධායකය සමග අත්වැල් බැදගනිමින් ඔවුන්ගේ නියෝජිත සහ අධීක්ෂණ භූමිකාවන් භාවිතා කරමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබද අයුක්තිය සහ අසමානතාව තුරන් කිරීමට කටයුතු කරයි. තේරීම් කාරක සභාවේ මුලපිරීමක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (නොවැම්බර් 25) පාර්ලිමේන්තුව තැඹිලි පැහැගැන්වීමේ අරමුණින් තැඹිලි වර්ණයෙන් යුත් ඇදුම් ඇද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද ගෝලීය ව්‍යාපාරය සමග සහයෝගීව සිටිමින් ගෝලීය තේමාව සමග ඒකාබද්ධවේ. මෙහිදී අදහස් දැක්වූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය සදහන් කර සිටියේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය (GBV) , ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබද පාරිභාෂික වචනවල සාමාන්‍ය යෙදුමක් බවට පත්ව ඇති බවත්, ඒ පිළිබදව නැවත නැවතත් කතා කලද එහි හරය ඇත්තවශයෙන්ම නැතිවී ඇති බවයි. එහෙත් එය හුදු වචනයක් පමණක් නොවන නමුත් ලෝකයේත් ශ්‍රී ලංකාවේත් එය අතිශය කටුක යථාර්තයක් බවයි.

වැඩිදුරටත් ඒ පිළිබදව අවධාරණය කළ ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය සදහන් කර සිටියේ අද දින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ලෙස අප සිදුකරනුයේ සංකේතාත්මක පියවරක් පමණක් නොවන බවත් ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය සහ කාන්තාවන්ට එරෙහි හිංසනයට එරෙහිව නැගී සිටීමේ වගකීම සෑම පුද්ගලයෙකුටම පැවරී ඇති බවට සමාජයම දැනුවත් කිරීමක් සිදුකරන බවයි. මෙම කුඩා දිවයිනේ සහ ඉන් ඔබ්බෙහි වූ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය තුරන් කළ යුතු බව එතුමිය වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උපසභාපති රෝහිණී කුමාරි කවිරත්න මැතිණිය සදහන් කලේ කාන්තාවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වුවත්, ගෘහණියක් වුවත්, සමාජයේ සෑම දෙනාගේම ගෞරවයට පාත්‍ර විය යුතු බවයි. පාර්ලිමේන්තු කාන්තා සංසදය සහ තේරීම් කාරක සභාව ලෙස අප උත්සාහ කරන්නේ එය බවත් විශේෂයෙන් විවිධ ස්වරූපවලින් කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනයන් සහ කාන්තා අයිතිවාසිකම් කඩකරන පුද්ගලයන්ගේ නිර්ලජ්ජිත ක්‍රියා සහ කතාවලට එරෙහිව නැගී සිටීමට සහෝදර මන්ත්‍රීවරුන්ගේ සහ මුළු සමාජයේම සහයෝගය ඉල්ලා සිටින බව එතුමිය වැඩිදුරටත් කියා සිටියාය.

සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ ගේ ෆේස් බුක් පිටුවෙනි