ඇසල පුන් පෝදා කළු ජූලි අනුස්මරණ පහන් දැල්වේ

0
254

යාපනයේ තිරුනෙල්වේලියෙන් ආරම්භ කර රට පුරා තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් තිස් අට  අවුරුද්දකට ඉහතදී
රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජූලිය සිහිපත් කරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ හා  අගනගරයේ විරෝධතා සහ සැමරුම්  කිහිපයක්ම පවත්වා තිබේ.    

කළු  ජූලියේ පීඩිතයන්ට යුක්තිය ඉල්ලා යාපනයේ බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ඇසල පොහොය දිනයේ දියත් කළ උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ දෙමළ ජාතික ජනතා පෙරමුණ විසිනි.    කළු පැහැති කොඩි අතැතිව සටන් පාඨ කියමින් විරෝධතාකරුවෝ උද්ඝෝෂණය දියත් කළහ.  

 යාපනය  නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් හා නාගරික මන්ත්‍රීවරුන් යාපනයේ මහ නගර සභාව තුළ මල් පහන් දල්වා කළු ජූලියේදී ඝාතනයට ලක් වු දෙමළ වැසියන් සිහි කිරීමට කටයුතු කළ බව උතුරේ වාර්තාකරුවෝ පවසති.    දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ සහභාගිත්වයෙන් වව්නියාවේදී උද්ඝෝෂණයක් දියත් කරන ලද  අතර එම  පෙරමුණේ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් කළු ජූලියේ පීඩිතයන්ට යුක්තිය ඉල්ලා සිටියේ  අම්පාරේ දියත් කළ විරෝධතාවයකට එක්වෙමිනි.    

එම පක්ෂයේ සංවිධානත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේද සැමරුමක් සංවිධානය කර තිබුනි.    දෙමළ ජාතියේ ජීවත්වීමේ අයිතිය සදහා ව්‍යාපාරයේ මූලිකත්වයෙන් මන්නාරම නගර සභාව ඉදිරිපිටදී ද විරෝධතාවයක් දියත් කර තිබු අතර දෙමළ ජනතාව ඇතුළු රටේම ජනතාව පීඩා විදින මුලික ගැටළු පහලොවකට විසදුම් ලබාදෙන ලෙස ඔවුන් එහිදි  බල කර තිබේ.    බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීම සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලෙස රජයට  බල කිරීම එම සටන් පාඨ අතර ප්‍රමුඛත්වය ගෙන ඇත.    ඉන්ධන මිල සහ ජීවන වියදම පහත හෙලන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා තිබේ.   

  83 කළු ජුලියෙන් ජීවිත අහිමි වු සහෝදර දෙමළ ජනතාව අනුස්මරණය කරමින් කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී ජුලි 23 සිකුරාදා හවස් යාමයේ පහන් දැල්වීමක් සිදු කර තිබුනි.   “දෙමළ ජන සංහාරය අමතක නොකරමු, මරා දමනු ලැබූ අයට යුක්තිය ඉටු කරනු,’ යන ඉල්ලීම් රැගත් බැනර එහි ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.   පසලොස්වක පොහොය දිනයේ එම පහන් දැල්වීම සංවිධානය කර තිබුනේ 83 කළු ජුලිය අනුස්මරණය කිරීමේ කමිටුව විසිනි.        

  1983 ජුලි 23

   1983 වර්ෂයේ ජුලි 23 දිනෙන් පටන්ගෙන දින ගණනක් තිස්සේ ඇවිලුණු ශ්‍රී ලංකාවේ කළු ජූලිය නමින් කුප්‍රකට වර්ගවාදි සංහාරයෙන් දෙමළ වැසියන් දහස් ගණනක් ඝාතනය කෙරුණු අතර කෝටි ගණනක නිවාස ඇතුලු දේපල ගිනිබත් විය.    සංහාරය ඇරඹුණේ යාපනය සරසවිය පිහිටුවා ඇති තිරුනෙල්වෙලියෙනි, ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසිනි.    යාපනයේ පලාලි පාරේ පරමේශ්වරා හන්දිය හා තිරුනෙල්වේලි හන්දිය අතරදී පුපුරා ගිය බිම් බෝම්බයකට හසුවූ හමුදා වාහනයක සිටි සෙබළුන් 13 දෙනකු මියයාමෙන් අනතුරුව එදින රාත්‍රියේත් පසුදාත් ගම් වැදුණු භට පිරිස් පලාලි පාරේත්, සිවන් අම්මාන් ග්‍රාමයේත් 51 දෙනකු ඝාතනය කර නිවාස ගිනිබත් කරන ලදී.    

මරා දමන ලද්දවුන් අතර හය හැවිරිදි දරුවකුද, එකොලොස් හැවිරිදි දැරියකද වන බව උතුරු නැගෙනහිර මානව හිමිකම් සඳහා වන කාර්යාංශය (NESOHR) සහ උතරු නැගෙනහිර සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය විසින් ලේඛනගත කොට තිබේ.    බිම් බෝම්බයෙන් මළ සෙබළුන්ගේ සිරුරු ගම් පළාත් වලට නොයවා බොරැල්ල කනත්තට ගෙනවිත් රජය විසින් පවත්වන ලද සමූහ භුමදානයට සහභාගිවූ ආණ්ඩු පාක්ෂික මැරයන් විසින් කොළඹින් ආරම්භ කොට රටපුරා දියත් කරන ලද දෙමළ සමූහ ඝාතනය සම්බන්ධයෙන් වගකිවයුතු කිසිවකුත් ගෙවී ගිය තිස් අට වසර තුලදීම නීතිය හමුවට පමුණුවා නැත.    

theleader.lk