ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කරවන්නේ ඔවුන්ගේ ” ජයග්‍රාහී මානසිකත්වය” යි.

0
239

ක්‍රිකට් මගේ උන්මාදයක් නොවේ.
එහෙත් නිවාඩුවේ නිවසේ ගත කරන විට එසේම රූපවාහිනීයේ වෙනත් නාලිකාවක මා ප්‍රිය කරන වැඩසටහනක් විකාශනය නොවන්නේ නම් හුදු වින්දනය සදහා මම ජාත්‍යන්තර ක්‍රිකට් තරග නරඹන්නෙමි.
මම ප්‍රිය කරන කණ්ඩායම් කීපයක් ඇත. බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්ත, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය ඒ අතර ප්‍රධානය.
අකමැති කණ්ඩායම් කීපයක්ද ඇත, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය ඉන් ප්‍රධානයි.
මා ඉහත සදහන් කළ කණ්ඩායම් වලට කැමති හෝ අකමැති ඇයිදැයි ඇසුවොත් මට දෙන්නට නිෂ්චිත පිළිතුරක් නැත.

ශ්‍රී ලංකා කණ්ඩායම කා සමග තරග වැදුනත් මගේ එකම කැමත්ත ශ්‍ර්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමයි.
නෙදර්ලන්තය සහ එංගලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම තරග සටහනේ පස්වන ස්ථානයට පැමිණීම ගැන මම සතුටු වුනෙමි. ඊයේ ඇෆ්ගනිස්තානය සමග පැවති තරගය සහ ඉදිරියේදී පැවැත්වෙන සියලුම තරග ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනු ඇතැයි සිතා ගෙන සිටියෙමි. ඒ සියලුම කණ්ඩායම් වල දක්ෂතාවයන් පිළිබඳව අවබෝධයකින් නොවේ. අපේ කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුයැයි ඇති අහිංසක සිතුවිල්ලෙනි.
ඊයේ පැවැති, ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් අපේ කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුයි යන සිතුවිල්ල තිබුණත් තරගය ආරම්භ කළ මොහොතේ පටන්ම ඇෆ්ගනිස්තානය මේ තරගය ජය ගන්නා බව මගේ යටි හිත මට කිවාය.
ඒ වසර ගනනාවක් තිස්සේ විවිධ වැඩසටහන් මෙහෙයවා මා ලද අත්දැකීම් තුලින් මිනිසුන්ගේ ශාරිරික ඉරියව්(Body Action/Language) කියවීමට මට යම් හැකියාවක් තිබෙන නිසාය.

ඊයේ(ඔක්;30) තරගයේ ජයග්‍රහණය හෝ පරාජය තීරණය කරනු ලැබුවේ දෙපිලේම කණ්ඩායම් වල ක්‍රීඩකයින් තමන් තුළ පවත්වාගනු ලැබූ; “මානසිකත්වයයි”
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තරගයට අවතීර්ණය වන්නේ ” අපි මේ තරගය පරාජය නොවිය යුතුය” යන මානසිකත්වයෙන් යුතුව වූ අතර ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තරගයට පිටියට පිවිසෙන්නේ ” අපි මේ තරගය ජයග්‍රහණය කරන්නෙමු ” යන මානසිකත්වයෙනි.

එම මානසිකත්වය ස්ථීර කර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට කාසියේ වාසිය හිමිවීම තවදුරටත් තහවුරුවූ අතර ඔවුන්; ‘”පන්දුවට මුලින් පහර දිය යුතුයි” යන විධානය ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙයි. එතැන් පටන් මුළු තරගයම මෙහෙයවන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසිනි.
මුලින් පන්දුවට පහරදීමට පැමිනෙන ක්‍රීඩකයින් දෙදෙනාගේ අරමුණ වූයේ නිෂ්චිත පන්දුවාර කීපයක් යන තුරු කඩුල්ලේ රැදී සිටීම මිස, ලකුණු පූරුවට සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් එකතු කරමින් කඩුල්ලේ රැදී සිටීම නොවේ.
මෙය නියත වශයෙන්ම පරාධීන මානසිකත්වයකි. මක්නිසාදයත් පරාජය සහ ජයග්‍රහණය තීරණය වන්නේ ඉලක්කම් වලිනි.
ඒ නිසාම මුල් ඕවර 10 තුළ පන්දු රකින්නන්ට පිටියේ සීමා පනවා තිබෙන විට ඔවුන් දිගු පහරවල් ( 4 සහ 6) එල්ල කිරීමට අවම උත්සාහයක් හෝ ගන්නේ නැත.
ඇෆ්ගනිස්තානය පන්දු යවන්නෝAfgan Bowlers) තමන්ට අවශ්‍ය පරිදි පාලනය කර ගන්නේ නැතිව පන්දු යවන්නන්ට අවශ්‍ය පරිදි පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට(Sri Lankan opening batsmen) සිදුවිය. ශ්‍රී ලංකා
කණ්ඩායමේ අවසාන ක්‍රීඩකයාට පවා පන්දුවට පහරදීමේ හැකියාව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 240 කට සීමාවන්නේ ඒ නිසාය.

ඉන් අනතුරුව පිටියට පිවිසෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරගයට පිවිසෙන්නේ ජයග්‍රහණය ඉල්ලක්කය කර ගෙන මෙම ලකුණු 240 ඉක්මවා යෑමට පළමු(10), දෙවන(20), තුන්වන(30), හතවන(40) සහ පස්වන(50) ඕවර 10 තමන් ලබා ගත යුතු ලකුණු ප්‍රමාණය ගැන ඉතා නිවැරදි සැලැස්මක් සමගය.
ඇෆ්ගනිස්තානය එම සැලස්ම ඉතා හොදින් ක්‍රියාත්මක කර ඕවර 46 ක් පමණක් පාවිච්චි කර ජයග්‍රාහි ඉලක්කය වෙත ලගාවිය.
එම ජයග්‍රහණය සදහා ප්‍රධාන වශයෙන්ම ඔවුන්ව මෙහෙයවන ලද්දේ මුලු තරගය පුරාවටම ඔවුන් පවත්වාගෙන ගිය
” ජයග්‍රාහී මානසිකත්වය” යි.
තලේබාන් කණ්ඩායම පාලනය බාර ගත් පසුව මේ වනවිට ඇෆ්ගනිස්තානයේ පවතින සමාජ, ආර්ථික සහ දේශපාලන පරිසරය පිළිබඳව මට එතරම් අවබෝධයක් නැත. එහෙත් බලයට කෑදර මජ්ර වංචනික දේශපාලකයින් සහ ඔවුන්ගේ හෙන්චයියන් විසින් පාලනය කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ මරම්ස්ථාන ක්‍රිඩා ව්‍යූහයන් තුලින් ජයග්‍රහණ අපේක්ෂා කිරීම හුදු අහම්බයන් තුළ පමනක් සිදුවන බව කිව යුතුය.

අශානෝ
2024.10.31.