ඉතාලියේ නව පුරවැසි ආදායම හෙවත් “REDDITO DI CITTADINANZA” යනු කුමක්ද?

0
100

(12.30 pm ) ඉතාලියේ නව පුරවැසි ආදායම හෙවත් REDDITO DI CITTADINANZA යනු කුමක්ද? විදේශිකයන්ටත් මෙය ලබා ගත හැකිද? තව නොබෝ දිනකින් ඉතාලියේ නව රජය විසින් හදුන්වා දුන් පුරවැසි ආදායම් සැලසුම් ක්‍රමය ක්‍රියාත්මක වීමට නියමිතයි.

කොළ-කහ පැහැති Di Maio, Salvini, Conte ගෙන් සමන්විත නව රජය නිවේදනය කර ඇති පරිදි 2019 අප්‍රේල් 1 වන දින සිට මෙම නව ආර්ථික වැඩ පිලිවල දියත් කරනු ඇත.

මෙම නව ආර්ථික වැඩ පිලිවලට අනුව මසකට යුරෝ 780ක විශේෂ දීමනාවක් ලබා දීමට නියමිතව තිබේ.

ශුන්ය ආදායමක් ඇති අයට, සම්පූර්ණ මුදල මසකට යුරෝ 780ක් හිමිවන අතර, මසකට යුරෝ 780කට වඩා අඩු ආදායමක් ඇති අය සඳහා යුරෝ 780 දක්වා ආදායම් අතිරික්තය සදහා හිමිකම් කියනු ඇත.

පුරවැසියන්ගේ ආදායම් කොටස පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව අනුව වෙනස් වේ. නිදසුනක් වශයෙන්, රැකියා විරහිත දෙමව්පියන් හා යැපෙන්නන් සහිත පවුලකට (පියා,මව හා දරුවන් දෙදෙනෙකු ) යුරෝ 1,630 ක් දක්වා මෙය වැඩිවේ.
දෙමව්පියන් දෙදෙනෙකු හා එක් දරුවෙකුගේ පවුල සඳහා යුරෝ 1,014 ක් වේ.

නිවසක් හිමි පවුලක් සදහා මෙම මුලු හිමිකමම නොලැබේ. මේ සඳහා යුරෝ 280 ක් වන “කුලී ගාස්තු” අඩු කරනු ඇත.

මේ සදහා පහත දැක්වෙන අවශ්‍යතා සපුරා තිබිය යුතුය.

1. වැඩිහිටියෙකු වීම (එනම් වයස අවුරුදු 18 ට වැඩි)

2. රැකියා විරහිත(නොමැති) වීම.

3. ISTAT විසින් පිහිටුවන ලද ඉතාලියේ දරිද්‍රතා රේඛාවට වඩා පහල මට්ටමේ ආදායමක් තිබීම.(ISEE)

4. දරිද්‍රතා රේඛාවෙන් පහල විශ්‍රම වැටුපකට ලැබීම.

5. අවම වශයෙන් වසර 10 ක් ඉතාලියේ පදිංචි වීම.
තවද රැකියා විරහිතයන් රැකියා මධ්‍යස්ථානයක් සඳහා ලියාපදිංචි කරනු ඇත.

සමාජයට ප්‍රයෝජනවත් වියාපෘති සඳහා සතියකට පැය 8 ක පමණ කාලයක් රැකියා විරහිතයන් යොමු කරනු ලැබේ.

සුදුසුකම් මත පුහුණු පාඨමාලා හැදෑරීමට යොමු කරනු ඇත.

ආදායම වෙනස් වීම වහාම දැනුම් දිය යුතුය.

රැකියා අවස්තා සදහා යොමු කිරීමේදී, ලබා දුන් අවස්තා තුනෙන් එකක් පිළිගැනීම අනිවාර්ය වේ.

රැකියාවක් සෙවීම සඳහා අඩුම තරමින් දවසකට පැය දෙකකවත් කාලයක් වැය කල බව ඔප්පු කල යුතුය.

අවසාන වශයෙන්,පසුගිය වසරේදී දෙවරක් තමන් කල රැකියාවෙන් තමන්ගේ වරදින් රැකියාවෙන් ඉවත් කර නොතිබිය යුතුය. (සොරකම් කිරීම,වැඩ අතපසු කිරීම)

පුරවැසි ආදායම් එක් පුද්ගලයෙකුට වසර 3 ක් දක්වා ගෙවනු ලැබේ.

මෙම දීමනාව ලබා ගත හැකි විශේෂිත කෙටුම්පතේ 2 වන වගන්තියට අනුව ISEE එක යුරෝ 9,360.00 ට වඩා වැඩි අදායම් ඇති පුද්ගලයන් මේ සදහා සුදුසුකම් නොලබයි. තවද,

1. යුරෝ 6,000 ට වැඩි චංචල දේපළක් තිබීම (උදා: වාහනයක්)

2. සිලින්ඩර් ධාරිතාව 1600cc ට වඩා වැඩි මොටර් රථ හා සිලින්ඩර් ධාරිතාව 250cc මෝටර් බයිසිකල් හිමිකරුවන්ද මේ සදහා සුදුසුකම් නොලබයි.

3. අත්අඩංගුවේ රඳවා සිටින අය හෝ අපරාධ වාර්තාවක් ඇති අයද මේ සදහා හිමිකම් නොලබයි.

මෙම මුදල සදහා ලැබෙනුයේ ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක් වන අතර එයින් මුදල් ලබා ගත නොහැක.

මෙම කාඩ්පත භාවිතා කර මිලදී ගත හැක්කේ පහත සදහන් භාන්ඩ හා සේවා වෙයි.තවද මෙම මිලදී ගැනීම් නිරීක්ෂණය කරයි.

මූලික අවශ්‍යතා ලෙස ඇඳුම් පැළඳුම් හෝ දේපල හා සනීපාරක්ෂක කටයුතු සදහා මෙම මුදල් වියදම් කල හැක.තවද ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වැනි අපරිමිත භාණ්ඩ මිලදී ගැනීම සදහා මෙම මුදල් වැය කල නොහැක.

තවද මෙම සියලු වියදම් කටයුතු ඉතාලි දේශ සීමාව තුල සිදු විය යුතු අතර වෙනත් රටකදී වියදම් කල නොහැක.

නියෝජ්‍ය අගමැති Di maio විසින් මෙම සියලු කටයුතු සම්පාදනය කර ඇත.

ඉතාලියේ නීත්‍යානුකූලව ජීවත් වන විදේශික ජනතාවටද, ඉතාලියේ වසර 10ක අඛණ්ඩ ස්ථිර පදිංචිය සහ ඉහත සුදුසුකම් ඇත්නම් පුරවැසි ආදායම හෙවත් REDDITO DI CITTADINANZA සදහා ඉල්ලුම් කල හැකියි.

සකස් කලේ:
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
(Praticante Avvocato Abilitato Foro di Verona)
+39 388 6279735

http://badusure.lk