‘ ඉතාලි ජාතිකයා නීතියට බයයි පොලීසියට බය නෑ, ලාංකිකයෝ පොලීසියට බයයි නීතියට ගරු කරන්නේ නෑ‘

0
597

lesly-law


වර්ණකුලසූරිය ලෙස්ලි ලෝව් මහතා  වෙන්නප්පුව ග්‍රාමයේ ඉපිද  හැදී වැඩී  ප්‍රාථමික අධ්‍යාපනය  වෙන්නප්පුව තල්දෙක ශාන්ත රීටා විදුහලෙන් සහ උසස් අධ්‍යාපනය  ශා.ජෝශප් වාස් විදුහලෙන් ලබාගන්නා ලදි.  පාසැල් අධ්‍යාපනයෙන් පසුව ජලතරනය හා නාවික ශිල්පය පිලිබඳව උසස් අධ්‍යාපනය ලැබු ඒ  මහතා 1985 වර්ෂයේ පොලිස් නිලධාරීයෙක් ලෙස ලංකාවේ විවිධ ප්‍රෙද්ශ වල සේවය කරන ලදි. කලක පටන් ඉතාලියේ මිලානෝ නගරයේ ජීවත්වන ලෙස්ලි ලෝව් මහතා  ලංකාවේ සමාජයේ උන්නතිය සම්බන්ධයෙන් බොහෝ විට සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් බෙදාහදා ගනියි. එමෙන්ම ඔහු ඉතාලිය තුළද සමාජ ක්‍රියාකාරකම් වල නිරතවන්නෙකි. පසුගිය පෙරවාරි මාසයේදී කෙටි නිවාඩුවකට  ශ්‍රී ලංකාවට පැමිණි  ලෙස්ලි ලෝව් මහතා සමග මීපුර වෙබ් අඩවිය පැවැත්වූ කෙටි පිළිසදරක් පහත පළවේ.

ඔබේ ඉතාලි ජීවිතය කොහොමද  ආරම්භ වුණේ ?

1997 තමයි ඉතාලියට ගියේ. 1999  අග දක්වා රැදී සිටියේ නීත්‍යානුකූල නොවන තත්ත්වයකයි. ඊට පස්සේ ඉතාලි රජයම නීතියක් ගෙනල්ලා ඒ වගේ හිටපු අයව නීත්‍යානුකූල කළා. මම  2000 වසරේ ඉදලා  නීත්‍යානුකූලව ඉතාලියේ රැකියාව කරමින් ජීවත් වෙනවා. මුලින්ම අපි ඒ රට ගැන කිසි දෙයක් දන්නේ නැති නිසා එහේ භාෂාව , ආදිය දන්නේ නැති නිසා මම කලේ ඉතාලියේ ගෘහ සේවය කළා. ඊට පස්සේ විවිධ කර්මාන්ත ශාලාවල වැඩ කලා.  චීස් කර්මාන්ත ශාලාවක ,  යකඩ ඇණ කර්මාන්ත ශාලාවක.ඊට පස්සේ 2002 වගේ ‘මේලියා මිලානෝ ‘ කියන තරු පන්තියේ හෝටලයේ රැකියාව ලැබුණා. එතන මම අවුරුදු 05ක් හයක් වැඩකළා. එතන රැකියාව කරන අතරතුරේ මම බැංකු ණයක් ලබාගෙන පුංචි නිවසක් මිළදී ගත්තා මිලානෝ වල.
මම විදේශිකයෙකු වුණාට මට ඒ දෙපළ ඉතාලි ජාතිකයින්ගෙන් මිළදී ගන්න කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ. ඉතාලි ජාතිකයෙකුට ලැබෙන අයිතිය මට ලැබුනා මම විදේශිකයෙකු වුණත්.2005 දී මම මගේ බිරිදවයි දරුවෝ දෙන්නවයි ඉතාලියට ගෙන්න ගත්තා. ඒ වෙද්දි පුතා සාමාන්‍ය පෙළ කරලා ඉවරයි. පසුව එයා සංගීත විෂය දිගටම හැදෑරුවා. දුව ලංකාවේ උසස් අධ්‍යාපනය හමාර වෙනකම්ම ලංකාවේ ඉදගෙන ඉගෙන ගත්තා. ඔහොම ඉද්දි මට නැවතත් රැකියාවක් ලැබුණා කාර්යාල හා නිවාස සංකීර්ණයක පිළිගැනීමේ නිලධාරියෙක් හැටියට. 2008 සිට මේ දක්වාම ඒ රැකියාව තමා කරන්නේ.30652720_1659620627459369_2569138931253641216_o

ශ්‍රී ලාංකිකයෝ ලෙස ඉතාලියට ගොස් එහි ජීවත්වන ඔබ  ඉතාලියේ සංස්කෘතිය ගැන මොකක්ද හිතන්නේ ?

අපි ඒ සංස්කෘතියෙන් ගතයුතු දේවල් තමා විශේෂයෙන් අන් අයට ගරු කිරීම.අන්අයට හිරිහැරයක්,කරදරයක් නොකර සිටීමට තමා උත්සාහා කරන්නේ. ඒ වගේම වැදගත් දේ තමයි තමන්ගේ අතින් පුංචි හෝ වරදක් වුණ ගමන් ක්ෂනිකව සමාව ගැනීම. ආචාරශිලීත්වය වගේ දේවල් සියයට සියයක්ම අපි වැළදගතයුතුයි කියලා මම හිතනවා.
මම ලංකාවෙයි  එහෙයි ලොකු වෙනසක් දකිනවා. ලංකාවේ පාසල් විෂයටත් සාමාන්‍ය නීතිය ඇතුළත් කරන්ඩ පුලුවන් නම් හොදයි කියලා මම හිතනවා. උදාහරණයක් හැටියට අපි ඉතාලිය ගත්තොත් ඉතාලි ජාතිකයාට ඒ රටේ සාමාන්‍ය නීතිය ගැන හොද දැනුමක් තිබෙනවා. ඒ නිසා ඉතාලි ජාතිකයා ඉතාලි පොලිස් නිලධාරියාට බය නෑ.  හැබැයි නීතියට බයයි. ඒ නිසා  ඒ අය නීතිය කඩන්නේ නෑ , නීතියට අනුව හැසිරෙන්ඩ  හැමතිස්සෙම උත්සාහා කරනවා. ලංකාවේ ඒකේ අනිත් පැත්ත මම දකිනවා. අපේ අයට නීතිය ගැන ලොකු දැනුමක් නැහැ, අපේ අය අතින් නිතරම නීතිය කැඩෙනවා, අපේ අය නීතියට බයත් නෑ, හැබැයි අපේ අය පොලීසියට බයයි. අපි ඇත්තටම පොලිස් නිලධාරීන්ට බිය වියයුත නෑ. අපි බයවෙන්ඩ ඕනා නීතියටයි.

 

ලංකාවේ ආර්ථිකය හොද පැත්තකට ආ යුතුයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්න පිරිසක් ඉන්නවා නේද ?

ඔව් එහෙම හිතන් ඉන්න අයට ආවොත් කරන්ඩ වෙන්නේ ව්‍යාපාරනේ. ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර වල අවිනිශ්චිත තත්ත්වයක් තියෙනවා. ඔන්න ඔය අවිනිශ්චිත තත්ත්වය මගහැරෙන්ඩ යම් ක්‍රමවේදයක් හැදෙනවා  නම්  අපි හිතමු මම ඇවිල්ලා මිලියන 15-20ක් ආයෝජනය කළා. කරලා මොනවා හරි කළා කියලා ඒ කරන දෙය යම්කිසි විදිහකින් අලාභ වුනොත් නැවත මට ඒ රටට යන්ඩ වෙනවා.ඒ යද්දි සමහර විට මගේ අර කලින් රැකියා අවස්ථාවන් අහිමිවෙනවා. නැවත මට ආයේ මුල ඉදන් පටන් ගන්ඩ වෙනවා. අන්න ඒ බය තියෙන නිසා තමයි ගොඩාක් අය එන්නේ නැත්තේ. ඒකට මොකක් හරි ස්ථීර ක්‍රමවේදයක් ලංකාවේ හදනවා නම් රජය මැදිහත් වෙලා අර වගෙග් දෙයක් සාර්ථක වෙන්ඩ පුලුවන්. උදාහරණයකට අපි කරන අයෝජනයක් පළනොදැරුවොත් ,අසාර්ථකවුනොත් අපට රජයෙන් රක්ෂණයක් හෝ එවැනි සහනයක් දිමට සහතික වෙනවා නම් ගොඩාක් දෙනෙක් එයි ලංකාවට. ඇවිල්ලා ලංකාවට මුදල් ආයෝජනය කරයි කියලා තමයි මම හිතන්නේ.

ඔබ ඉතාලියේ දී සම්බන්ධ වන සුබසාධන කටයුතු ගැන යමක් සඳහන් කළොත් ?  

මමත් ගිහින් ඉන්නේ රැකියාවක් කරන්ඩනේ. නමුත් ඒ අරමුනේම ඉන්නේ නැතිව මමත් සමාජ සුබසාධන වැඩවලට දායක වෙනවා.ඒ අනුව අපි කන්ඩායමක් එකතු වෙලා 2013 වර්ෂයේදී  සංගීත ප්‍රසංගයක් සංවිධානය කරලා අනතුරකින් ආබාධිත වුණ තරුනයෙක්ට ( බෝලවත්තේ ) , ඒ ළමයා වෙනුවෙන් රුපියල් හත්ලක්ෂ පනස් හයදාහක මුදලක් උපයලා ඒ දරුවගේ අම්මට ලබාදුන්නා අවශ්‍ය බෙහෙත්,ප්‍රතිකාර වලට.
2018 වර්ෂයේදී ඒත් සංගීත සංදර්ශනයක් පවත්වලා,ලංකාවේ ඉන්න දුප්පත්ම පවුලක් තෝරගෙන ලංකාවේ විවිධ ප්‍රෙද්ශ වල ඉල්ලුම් පත්‍ර කැදවලා අවසානයේ අපි තෝරගත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදවුරේ පවුලක්.  ඒ පවුලට නිවසක් හදලා ඒ නිවස බාරදුන්නා.කිසිම අදායම් මාර්ගයක් නැති දුප්පත් පවුලක්, තරුණ යුවලක්, ඒ තරුණයාට උගුරේ ආබාධයකුත් තියෙනවා.දැන් මේ වතාවෙත් අපි ඒ හදලා දුන්න නිවසට අවශ්‍ය උපකරණ වගයක් ගෙනිහින් බාරදුන්නා.
පිටරටවල ඉන්න අයට තමන්ගෙ රැකියාවත් එක්ක කාලසීමාව බොහොම අඩුයි නමුත් තමන්ට ලැබෙන කාලසීමාවෙන් හරි යම්කිසි කෙනෙක් හිතනවා නම් තමන්ට දෙයක් කරන්ඩ පුලුවන් නම් හොඳයි කියලා ඒකෙන් අපේ රටේ දුප්පත් අසරණ අයට ලොකු පිටුවහලක් වෙනවා. අපි එහෙ ඉදන් කරන සුලු දේ මෙහේ අයට ලොකු දෙයක්.104591753_1815006768641107_978637331227422137_n105311134_2308652199444689_6499878614841683869_n

රටට විදේශ විණිමයක් උපයලා දෙන විදේශ සේවයේ නියුතු අයට රජයෙන් ලබාදෙන සහන ගැන තෘප්තිමත් ද?

මැදපෙරදිග මුදල් තමයි අපේ රටට වැඩිපුර විදේශ ආයෝජන හැටියෙට ගෙන එන්නේ.ඇයි යුරෝපයේ ඇමරිකාවේ එන්නේ නැත්තේ ? ඒකට ප්‍රධන හේතුව ලෙස මම දකින්නේ යුරෝපයේ මැදපෙරදිග ඉන්න අයට අපේ මව්රටෙන් ලැබෙන සැලකිල්ල අඩුය විශේෂෙයෙන් ඒ අයට තමන්ගෙ බඩු භාන්ඩ ප්‍රමාණයක් නැව් ගතකිරීමේදී එහෙම නැත්නම් ලංකාවට පැමිණෙන විට ගුවන් තොටුපලේ තීරුබදු රහිතව සාප්පු සංකීර්ණයෙන් යමක් මිළදී ගන්නා විට මීට වඩා ලොකු සැලකිල්ලක් දැක්විය යුතුයි කියලා මම යෝජනා කරනවා.
අපි බැලුවොත් අවුරුදු 10ක් -15ක්අතීතයට සෑම රජයක්ම කිව්වා බලයට පත්වෙද්දී අපි විදේශ රැකියා කරන අයට විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලා. සමහරු කිව්වා අපි රක්ෂණයක් පවා සකස් කරනවා කියලා. ඔය පහුගිය ආන්ඩු දෙකතුනක් ම ඒ පොරොන්දුව දුන්නා. නමුත් ප්‍රාෙයා්ගිකව ඒක කළේ නැහැ. මට මතකයිඔය රක්ෂණයක් ගැන කියද්දී ඒ රක්ෂනයේ තොරතුරු මම දැනගන්ඩ මම විදේශ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ගිහිල්ලා ඒ අංශ වල දුරකථන අංක අරගෙන කතා කළා. ඒ කතා කරලත් මට ඒවට කිසිම තොරතුරක් දැනගන්ඩ බැරි වුනා.ඉතින් ඒ වගේ මම හිතන්නේ අපේ රජයේ බලධාරීන්ට පුලුවන් නම් ශ්‍රී ලංකාවට අපි යම් බඩුබාන්ඩ නැව්ගතකිරීමේදී හා ගුවන්තොටුපළේ මිළදි ගැනීමේ සාප්පු සංකීර්ණයේදී අපිට මීට වඩා යම් සැලකිල්ලක් ,පහසුකමක් දක්වන්ඩ අපේ අය තව තවත් මීට වඩා මුදල් රටට එවයි මේ රටේ විදේශ සංචිත ඉහළ නැංවෙයි කියලා මම හිතනවා.
ඉතාලි ගිය බොහෝ දෙනෙකු ලංකාවේ සිටින තමන්ගේ දරුවන්ට ලබාදිය යුතු  ආදරේ ,මගපෙන්වෙවීම වෙනුවට  මිළ,මුදල් ආදේශ කරනවා. මේ   සම්බන්ධයෙන්   ඔබේ අදහස කුමක්ද?
සමහර අය දරුවෝ මෙහේ තියලා යන්නේ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබාදෙන්න. මුල් කාලයේදී දරුවන්ව එහෙට ගෙන්නගන්න බැහැ මොකද ඒ සදහා මූලික සුදුසුකම් තියෙන්න ඕනා. තමන්ට නිවසක් තියෙන්න ඕනා දරුවන්ට ජීවත්වීමට සුදුසු, ඒ වගේ. එතකම් දරුවන්ව ආච්චිලා සීයලා ගාව තියෙනවා. පස්සේ ඒ දෙමව්පියෝ බොහෝ දෙනෙක් දරුවන්ට ආදරය දක්වන්නේ දරුවන්ට මිළ අධික තෑගි බෝග දීලා. ඉතා මිළ අධික දුරකථනයක් දරුවාට එවලා ඒ අය හිත හදාගන්නවා. නමුත් දෙමව්පියෝ සොයන්නේ නෑ දරුවා ඒ දුරකථනය භාවිතා කරන්නේ කුමක් සදහාද කියලා. දෙමව්පියන්ට දැනගන්ඩ විදිහක් නෑ.
ඊට අමතරව සමහර දරුවෝ තමන්ට නොගැලපෙන විවිධ ආශ්‍රයන්ට ගිහින් අපරාධ වලට සම්බන්ධ වෙනවා. ඒකත් හරිම භයානක තත්ත්වයක්. සමහර දරුවෝ මේ වෙද්දි ඉන්නේ හිර ගෙවල් වල. ඉතාලියේ වගේ රටවල ඉන්න දෙමව්පියෝ ආදරේ සංකේතවත් කරන්ඩ හදන්නේ මුදලින් තමා. නමුත් මම නම් යෝජනා කරන්නේ දරුවන් තමන් පිලිගන්නා ආගම අනුව පන්සලට හෝ පල්ලියට යොමුකිරීම තුළින්  මේ තත්ත්වය පාලනය කරන්ඩ උත්සාහා කළ යුතුයි.

ඉතාලි ජාතිකයින්  සුනඛයින්ට ලොකු ආදරයක් ,කරුණාවක් දක්වනවා නේද? ලංකාවේ සත්වයින්ට සිදුකරන හිරිහැර ගැන බැලුවොත් එහේ අත්දැකීම කොහොමද ?

සතුන්ට සැලකීම අතින් ඉස්සරට වඩා අපේ රට හොද තත්ත්වයක් තියෙනවා.එහේ සමහර සල්ලිකාර පවුල් වල අය සත්තු බලාගන්ඩ වෙනම සේවකයෝ යොදනවා, ඔවුන්ට ඉතාම මිළ අධික ආහාර පාන තමයි ගෙනල්ලා දෙන්නේ. ඉට අමතරව හැමදේටම වඩා ඒ සතාට පුදුමාකාර කරුණාවක් , දයාවක් දක්වනවා. මම ජීවත්වන නගරයෙ අපි බල්ලෙක් පාරේ අරන් යද්දී නීතියක් තියෙනවා බල්ලා පාරේ කැත කලොත් ඒ බල්ලව අරගෙන යන හාම්පුතා අත්ආවරණ පැළදගෙන ඒවා අරන් කුණු කූඩෙට දානවා. එයා ඒක පිරිසුද නොකර ගයොත් ඒක දඩ ගෙවිය යුතු වරදක්. එතකොට ඒකෙන් වෙන්නෙත් සතාට තියෙන ආදරය ,වටිනාකම  වැඩිවීමක් තමයි වෙන්නෙත්.ඒ විතරක් නෙමේ සතාගෙන් පරිසරයට හානියක් වෙන්නෙත් නෑ. සත්තුන්ට ඒ තරම් කරුණාවක් දක්වනවා නම් මිනිස්සුන්ට කොච්චර කරුණාවක් දක්වනවද කියලා හිතාගන්ඩ පුලුවන්ද ? ඉතාලියේ පොදු ප්‍රවාහන සේවාවන් වල බල්ලන්ව අරන් යන්ඩ පුලුවන් හැබැයි අනිවාර්යයෙන්ම  මුඛවාඩමක් දාන්ඩ ඕනා. උද්‍යාන වලටත් බල්ලන්ව අරන් ඇවිදින්ඩ පුලුවන් ඔවුන්ට වෙනම වෙන්කරපු කොටසක් තියෙනවා.එහෙ තියෙන්නේ මහල් නිවාස සංකීර් න නිසා  බල්ලන්ට නෑ ගෙමිදුලක්. උදේට පැය භාගයක් හවසට පැය භාගයක් සතා ව අරන් එළියට යනවා.

අපේ දේශපාලනඥයෝ එහේ යැම් සහ ඔයාලා කරන හමුවීම් වල ප්‍රතිපළ තියෙනවද ?

තනි වචයෙන් උත්තර දෙනවා නම් කණගාටුදායකයි කියලා තමා කියන්ඩ වෙන්නේ. ඒ ගොල්ලෝ විශේෂයෙන්ම උත්සාහා කරන්නේ කන්ඩ බොන්ඩ,ප්‍රීතිවෙන්ඩ ,සාප්පු සවාරි යන්ඩ තමයි. හැමෝම නෙමේ බහුතරයක්. එහෙම කළාට කමක් නැ. විවේකයත් අවශ්‍යයි. නමුත් අපි ඉතාලියේ මිලානෝ වගේ නගරයක් ගත්තොත් හරිම ක්‍රමවත් ප්‍රවාහන පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය ගැන හොදට අධ්‍යනය කරන්ඩවත් ඒගොල්ලෝ උනන්දුවක් දක්වන්නේ නෑ.

ලංකාවේ බ්‍රොයිලර් කුකුල් මස් කිලෝවක මිළට වඩා අඩුවෙන් අපි එහෙදි මිලදී ගන්නවා.මූලික වියදම්,සේවක වැටුප් ලංකාවේ වගේ කී ගුණයකින් වැඩිද ? එහෙම තියෙද්දී කොහොමද මේ අය මෙච්චර අඩුවට කුකුල්මස් දෙන්නේ? ලංකාවේ දේශපාලකයෝ ආවහම ඒ ගොවිපළවල් වලට ගිහින් ඒ ක්‍රමවේදය අපි හොයා බලන්ඩ ඕනා. මේ ගොල්ලෝ කොහොමද මේක කරන්නේ කියලා. ඒ ගැනත් අපි මැති ඇමතිවරුන්ට දැනුවත් කරලා තියෙනවා. ඒ අයට ඒ ගැන සැබෑ උවමනාවක් නැ.පක්ෂ විපක්ෂ භේදයකින් තොරව.

ඉතාලියට යන ශ්‍රී ලාංකිකයා මේ තරම් ජාතිවාදී ඇයි ? 

ඒක අපි ලංකාවේ අයත් එක්ක සංසන්දනය කරනවා නම් ලංකාවේ ඉන්න මුස්ලිම් සහ දෙමළ අය කියන්නේ ලංකාවේ ඉපදිච්ච අය අද ඉන්නේ. එයාලගේ මුල් පැවැත්ම ගැන නෙමේ මම කතාකරන්නේ, ලංකාවේ ඉපදුන අය ගැන.ලංකාවේ ඉපදිලා පුරවැසි ලාංකිකයෝහැටියට ජීවත්වන ඒ අයව අපි සුුලු ජාතීන් කියලා කොන්කරන්ඩ හදනවා. හැබැයි අපි කවුද ඉතාලියට?අපි ඉතාලියට අනවසරෙයන් ගිය අය. අනවසරයෙන් ගිය සංක්‍රමනිකයන්.අපි ඉතාලියේ ඉපදුණ අය නෙමයි. අපි අනවසරයෙන් ගිහිල්ලා ඉතාලි රජයම අපිව නීත්‍යානුකූලභාවයට පත්කරලා ඊට පස්සේ අපිට සලකනවා ඉතාලි ජාතිකයින් විදිහට. අපි ඒකෙන්ලොකු දෙයක් ඉගෙනගන්ඩ ඕනා. ඇයි අපි ලංකාවේ ඉන්න සුළු ජාතීන් ට ඒ විදිහට අඩු සැලකිලි දක්වන්නේ කියන එක ගැන ලොකු ප්‍රෙහ්ලිකාවක්.

අපි ඒක අත්දකින නිසා අපිට ඒක දැනෙනවා වැඩියි. ලංකාවේ ඉන්න අයට වඩා. අපි ඉතාලියේ රාජකාරියක් කරගන්ඩ ඕන කාර්යාලයකට ගියොත් අපිව සුළු ජාතීන් කියලා වෙන්කරන්නේ නෑ. උදාහරණයකට මම ගියොත්  නගර සභාවට මම ගිහින් නොම්මරයක් අරන් මගේ වාරය එනතුරු ඉන්නවා,ඒ අතරේ ඒ රටේ ඇමති කෙනෙක් ආවොත්  එයා මට පස්සේ ආවොත් එයා මට පස්සේ තමා කවුන්ටරේට යන්නේ. අපේ රටටත් එ තත්ත්වය එනවානම් සිස්ටම් චේන්ජ් කියන එක එතන තමා තියෙන්නේ.

ඉතාලිය හා සසදන විට ශ්‍රී ලංකාව තුළ  ශ්‍රී ලාංකික අනන්‍යතාවය පිළිබදව ප්‍රශ්නයක්  මතුවෙනවා නේද?

අපි ඉතාලි රටට  අනවසරයෙන් ඇතුල් වෙච්ච සංක්‍රමණිකයෝ. ඉන්පසුව අපි ඒ රටේ නීත්‍යානුකූල තත්ත්වයට පත්වෙලා ජීවත්වුණාට අපි ඒ රටේ සුළු ජාතිකයෝ. නමුත් ඉතාලි ජාතිකයෝ කවදාවත් අපිට මේ අය විදේශ රටවලින් ආපු අය, මේ අය සුුළු ජාතිකයෝ කියලා එහෙම හිතන්නේ නෑ. ඒ ගොල්ලෝ බොහෝ දුරට  උත්සාහා කරන්නේ එයාලට තියෙන අයිතිවාසිකම අපිටත් ලබාදෙන්න තමයි.
ජාතිකත්වය ගැන කතා කිරිමේදී යුරෝපයේ සහ අපේ ශ්‍රී ලංකාවෙයි මම දකින ලොකු වෙනසක් තියෙනවා, අපිට   ශ්‍රී ලාංකික කියන ජාතියේ අනන්‍යතාවය තවම අපිට හරියට ගොඩනඟාගන්න බැරිවෙලා තිබෙනවා.  උදාහරණයක් හැටියට අපි ගත්තොත් ඉතාලිය , ප්‍රංශය,ජර්මනිය වේවා ඒ රටට පිටින් එන ,කුමන අරමුණකින් හෝ එන ක්‍රීඩාවට හෝ අප්‍රිකානු ජාතිකයෙක් විය හැකියි, දකුණු ඇමරිකානු ජාතිකයෙක් විය හැකියි. ඔවුන් ඒ රටවලට ඇවිල්ලා ඒහි පුරවැසිභාවය ගත්තට පස්සේ ඒ අය කවදාවත් කියන්නේ නෑ ‘උඹ අප්‍රිකානුවා, උඹ කලු මනුස්සයා’  කියලා. එයාට ඉතාලි පුරවැසියෙක් ලෙසට තමයි සලකන්නේ. හැබැයි අපේ රටේ අපි තවමත් අනිත් ජාතීන්ට ‘ මෙයා තම්බියා, මෙයා දෙමළා ,කිය කියා අපි තවමත් කොන් කරනවා. නමුත් ඒ ගොල්ලෝ ශ්‍රි ලාංකිකයෝ.  නමුත් ඒ අයට වෙනම අනන්‍යතාවයක් තියෙනවා , දෙමළ හා මුස්ලිම් හැටියට,නමුත් ඒ අය ශ්‍රී ලාංකිකයෝ. අපි එ අයව දෙමළ හා මුස්ලිම් කියලා වෙන්කරන්නේ නැතිව මේ අය ශ්‍රී ලාංකිකයි කියලා අපි හිතනවා නම් අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයට ලෝකයේ තියෙන තැන මීට වඩා ඉහළට ගන්ඩ පුලුවන් කියලා තමයි මම හිතන්නේ.