වීසා වංචාවන්ට සම්බන්ධ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සේවකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සේවය පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.
————————————————-
පෙර පුවත : (2010 සැප්තැම්බර් 16 පෙ.ව. 9.08)
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවකයන් පිරිසක් රිමාන්ඩ්!
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවක පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.
ඒ ඉතා සංවිධානාත්මක ලෙස ව්‍යාජ ඉතාලි වීසා මුද්‍රණය කර ව්‍යාජ ආගමන විගමන මුද්‍රා විදේශ ගමන් බලපත්‍රවලට ඇතුළත් කොට ව්‍යාජ බෝඩිං බලපත්‍ර සකසා කලක් තිස්සේ විශාල පිරිසක් වංචනිකව ඉතාලි යවා කෝටි ගණනින් වංචනිකව මුදල් ඉපයූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
මේ වංචාව කළ එම කල්ලියේ මහ මොළකරු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුකරගෙන තිබේ.
මෙම සංවිධානාත්මක ජාවාරම පිළිබඳව අනාවරණය වී ඇත්තේ පසුගිය ජුලි 27 වැනිදා ව්‍යාජ වීසා සහ ව්‍යාජ ආගමන විගමන මුද්‍රා ඇතුළත් කළ විදේශ ගමන් බලපත්‍රයක් ආධාරයෙන් වංචනිකව ඉතාලිය බලා යෑමට ගුවන්තොටුපළට පැමිණි වරුණ ගුණතිලක නමැති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදුකළ පුළුල් විමර්ශනයකදීය.
එම පරීක්ෂණයේදී අනාවරණය වූයේ මෙම වංචනික විදේශ ගමන් බලපත්‍රයට ව්‍යාජ ඉතාලි වීසා මුද්‍රණය කොට ඇතුළු කිරීමට කටයුතු සිදුකර ඇත්තේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවකයන් වන නිව්මාල් රත්නසේකර, ජෝන් ෂෙමොන් රොජර්, දිලික් මදුසංඛ ප්‍රනාන්දු, නාරද තිලීප පීරිස් නමැත්තන් විසින් බවයි.
වැඩිදුර විමර්ශනයේදී එම ජාවාරමේ මහ මොළකරු වන අන්වර්ථ නාමයන් දෙකකින් පෙනී සිටින වෙන්නප්පුවේ පදිංචි ඩබ්ලිව්. අජිත් නොහොත් නිව්ටන් නොහොත් නීල් නමැත්තා ද අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කොට ඇත.
මෙම සැකකරුවන්ට එරෙහි එල්ලවූ චෝදනාව වූයේ එම වංචනික ක්‍රියාවන්ට ආධාර අනුබලදීම සහ නීති විරෝධී විදේශ ගමන් සංවිධානය කිරීමයි. අධිකරණයේදී සැකකරුවන්ට ඇප ඉල්ලා සිටි අතර එම නීති විරෝධී ගමන සංවිධානය කළ මහ මොළකරු වන ඩබ්ලිව්. අජිත් සහ නාරද තිලීප පීරිස් නමැති සැකකරුවන් දෙදෙනා හැර සෙසු සැකකරුවන්ට දැඩි කොන්දේසි මත ඇප නියම කර රිමාන්ඞ් භාරයෙන් මුදාහරිනු ලැබූහ.
මෙම නීති විරෝධී ගමන සංවිධානය කළ ඩබ්ලිව්. අජිත් සහ නාරද තිලීප පීරිස් නමැති දෙදෙනාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ඔවුන් මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිය වෙනුවෙන් නීතිඥ මඬුල්ලක් සමග නීතිඥ සවිකුල ගුණතිලක හා ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක යන මහත්වරු පෙනී සිටියහ.
වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 29 දා පැවැත්වේ.
(ශ්‍රිලංකා මිරර් )