එක්ස්ප්‍රස් පර්ල් විනාශය, කලපු ධීවරයා හා වන්දි

0
640

එක්ස්ප්‍රස් පර්ල් විනාශය හේතුවෙන් අදාළ නැව් සමාගමෙන් කොටස් වශයෙන් ලැබෙන වන්දියෙන් කොටසක් රැකියාව හානි වූ ධීවරයන් වෙනුවෙන් වෙන් කර ඇත. වට කීපයකින් මේ වන තෙක් අදාළ වන්දි ගෙවීම් කර ඇත. විනාශය සිදුවූ සාගර ප්‍රදේශය ආශ්‍රිත ව ධීවර රැකියාවන්හි නියුතු ධීවරයන් සඳහා වන්දි මුදල් ලබාදීම සිදුවේ.

මේ වනතෙක් ධීවරයන් සඳහා ප්‍රදානය කෙරෙන වන්දි මුදල කළපු ධීවරයන් සඳහා ද ගෙවා තිබිණි. කළපු ධීවරයාට අදාළ වන්දිය නොගෙවිය යුතු බවට තීරණයක් ගැනීමට කිසියම් හස්තයක් කටයුතු කර ඇති බව දැනගන්නට ලැබී ඇත.

මීගමු කළපුව සුරැකීමේ සංවිධානය හා බැඳුණු අයෙකු ලෙස මේ පිළිබඳව එකී විනාශය සිදුවූ කාලයේ සිට ම යම් යම් මැදිහත්වීම්වලට මමද සම්බන්ධ වුනිමි. තවද, ජනාවබෝධ කේන්ද්‍රය මැදිහත්ව සිදුවූ විනාශයට එරෙහිව ධීවරයන් සඳහා වන වන්දි නඩුවක් ද දමා ඇත. නෞකා අනතුරේ බලපෑම මුහුදට මෙන් ම කළපුවට ද දැඩිව බලපෑවේ ය. අදාළ විෂ ද්‍රව්‍ය කළපුවට ද ගලා ආයේ ය. මුහුදේ මෙන් ම කළපුවේ ද මත්ස්‍ය සම්පතට එහි බලපෑම පැවතිණි. දින ගණනාවක් කළපුව ද තහනම් කලාපයක් විය. විෂ රසායනික ද්‍රව්‍ය පිළිබඳ කාරණාව සමග මුහුදු මාළු මෙන් ම කළපු මාළු ද ආහාරයට ගැනීමට කාලයක් යනතුරු ම ජනතාව මැලි වීම නිසා අලෙවියද දැඩි ලෙස පහත බැස්සේ ය.

මගේ අත්දැකීම් හා බැඳුණු ප්‍රත්‍යක්ෂ කාරණය නම් මෙහි වඩාත් හානිකර පාර්ශ්වය වන්නේ කළපු ධීවරයන් බව ය. තෙප්පම්, ඔරු, වීසිදැල් හා වෙනත් වෙහෙසකර උපක්‍රම යොදාගෙන වර්ෂය පුරා වෙහෙසකර ධීවර ජීවිතයක් ගත කරන ඔවුන්ට එම සිදුවීම නිසා වූ හානිය මෙන් ම තවමත් වෙන හානිය බලවත් ය. මන්දයත් මුහුදට මෙන් ම ඒ හා අත්‍යන්තයෙන් බැඳී ඇති කළපුවට ද එහි බලපෑම පවතින්නේ මය.

තවමත් මුහුදු තීරුවේ මෙන් ම කළපුවේ ද ප්ලාස්ටික් ඇට හමුවේ. ප්ලාස්ටික් ඇටවලට අමතරව වෙනත් හානිකර රසායනික කොටස් මුහුදු දියට එකතුවන විට කළපු දියට ද ඒවා පැමිණේ. මුහුදට එකතුවන ප්ලාස්ටික් හා පොලිතීන් වැනි අපද්‍රව්‍ය රැසක් මුහුදෙන් කළපුවට විත් මේ වන විටත් කළපු සම්පතට සුවිශාල හානි පමුණුවා ඇති විටෙක එක්ස්ප්‍රස් පර්ල් හානියෙන් කළපුවට හා එහි ඉස්සන් කකුළුවන් ඇතුළු මත්ස්‍ය ප්‍රජාවට හානියක් නැතැයි යමෙක් කියන්නේ නම් එක්කෝ නොදන්නා කම ය; නැතහොත් කපටිකම ය.

protest in lagoon

මාදැල් මුදලාලි පාර්ශ්වයෙන් එවැන්නක් කියන විට එය හාස්‍යජනක වනවා පමණක් නොව කළපු ධීවර පාර්ශ්වයෙන් ගත්කල ඛේදජනක ය. මන්දයත් මාදැල් අදින්නේ එක්තරා කාලයකදී පමණි. තවද මාදැල් අදින්නේ එක් ධීවරයෙක් නොවේ. බොහෝදෙනා සාමාන්‍යයෙන් ඊට සහභාගි වේ. සහභාගිවන පුද්ගලයන් නිශ්චිත නොවන කල හා ලැබෙන වන්දි මුදල බෙදෙන ආකාරය නිශ්චිත නොවන කල, අදාළ වන්දි මුදල මුදලාලි අත සංකේන්ද්‍රණය වීම වැලැක්විය නොහැක. ( ට්‍රැක්ටරය මීට වෙනස් නමුත් වෙරළට හානිකර නොවන්නේ නොවේ)

එහෙත් කළපු ධීවරයා හැමදාම කළපු ගියේ නැතිනම් ඔහුගේ ජීවිකාව කඩාවැටෙන්නේ ය. දෛනික ආදායම ඔහුට මහත් නොවන නමුත් ඉතා වැදගත් ය. එබැවින් කළපු ධීවරයාට හානියක් වූයේ නැතැයි ද, අදාළ වන්දිය ඔවුනට ලැබිය නොයුතු යැයි ද මුදලාලි පාර්ශ්වයන්ගෙන් කියන්නේ නම් ඔවුන්ගේ හෘද සාක්ෂිය ගැටලු සහගත ය.

එබැවින් වගකිව යුතු බලධාරීන් හා පාර්ශ්වයන් වඩාත් සාධාරණව මෙය සලකා බලා අදාළ වන්දි මුදල් සම්බන්ධයෙන් සුළු ධීවර කොට්ඨාසයක් වන කළපු ධීවරයන්ට සාධාරණය ඉෂ්ට කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

අජිත් හැඩ්ලි පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here