එන්න අපි ඇවිත් පිරෙමු-

0
67

පසුගිය බ්‍රහස්පතින්දා උදෑසනින්ම මගේ ජංගම දුරකථනයට ලැබුණු පණිවිඩයකින් මහත් දෝෂාරෝපණයක් එල්ල විය. ඒ දෝෂාරෝපණයට හේතුව කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළේ වැඩ සටහන පිළිබඳ විස්තරයක් එවර පුවත්පතේ පළ වී නොමැති බවය. මගේ පිළිතුර වූයේ උලෙළ පිළිබඳ ලබන සරසවිය බලන්න යනුවෙනි. මෙවර කොළඹ උලෙළට සම්බන්ධව එදින තිබුණේ එහි යාවජීව සම්මානය සම්බන්ධවය. එපමණක් නොව දහවල් කාලයේදී පෞද්ගලික දුරකථනයට පමණක් නොව කාර්යාල දුරකථනයට ද ලැබුණු බොහෝ ඇමතුම්වල තිබුණේ කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළ පිළිබඳ විමසීමයි. එදින සවස පැවති යුරෝපීය උලෙළේදී පෝලන්ත චිත්‍රපටයක් වන ‘බොඩි’ නරඹන්නට ගිය මගෙන් එහිදී හමු වූ බොහෝ දෙනෙක් විමසා සිටියේ කොළඹ අන්තර් ජාතික උලෙළේ චිත්‍රපට පිළිබඳ විස්තරය පුවත්පතේ පළ නොවූයේ මන්ද යන්නය. ඒ වන විටත් උලෙළ පිළිබඳ විස්තර සමාජ වෙබ් අඩවිවල පළ වී තිබිණ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ මුල්වරට පැවැත් වූ කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළ තරම් අපේ සම්ප්‍රදායික සිනමාවට හා එහි මතවාදීන්ට එල්ල කළ තවත් අතුල් පහරක් නොවුණ තරම්ය. එම අතුල් පහර එල්ල කරන ලද්දේ මෙරට සිනමා ප්‍රේක්ෂකයන් විසිනි. සිනමාහල් සඳහා ප්‍රේක්ෂකයන් නොඑන්නේ කබල් චිත්‍රපට නිසා විනා වෙනත් හේතුක් නිසා නොවන බව ප්‍රත්‍යක්ෂ කළ එම ප්‍රේක්ෂකයන්ගෙන් එවර සිනමා උලෙළ පැවැත් වූ කොළඹ රීගල්, මැජස්ටික්, එම්පයර්, තරංගනී ඇතුළු සිනමා ශාලා සියල්ල පිරී ඉතිරී ගියේය. එපමණක් නොව උලෙළ සඳහාම සහමුලින් නවීකරණය කර තිබුණ රීගල් සිනමාහලේ දොරවල්වලට පවා අලාභහානි වූයේ ප්‍රේක්ෂක තදබදය නිසාය. හොඳ චිත්‍රපට නරඹන්නට නම් ප්‍රේක්ෂකයා අනිවාර්යෙන් සිටින බවත්, ප්‍රශ්නය ඇත්තේ සිනමාවේ විනා ප්‍රේක්ෂකයා අත නොවන බව එම මුල්ම සිනමා උලෙළ මෙරට සිනමා බලධාරීන්ට කියා පෑවේය.

කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළ යනු එක් රැයකින් පෑ ප්‍රාතිහාර්යක් නොවීය. එය දශක ගණනාවක් මුළුල්ලේ මෙරට යහපත් සිනමාව පිළිබඳ සිහින දුටු මිනිසුන්ගේ වෑයමක් විය. එහෙත් මෙම උලෙළක අවශ්‍යතාව වටහා ගන්නට කිසි කලකත් ලාංකික සිනමාවට අරක්ගත් ප්‍රේතයන්ට හා කුම්භාණ්ඩයන්ට අවශ්‍යතාවක් නොවීය. ජාත්‍යන්තර සිනමා උලෙළක් යනු නිකම්ම චිත්‍රපට දැක්මක් නොව රටකට විදේශ විනිමය උපයන එමෙන්ම ජාත්‍යන්තර අවධානය දිනා ගන්නා අතිශය වැදගත් අවස්ථාවකි. එමෙන්ම රටක සිනමාව ලෝකය හමුවේ ගෙන හැර පාන්නට එය වැදගත් අවස්ථාවක් වන්නේය. ලෝකයේ බොහෝ රටවල සිනමාවට ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට යෑමට හැකි වූයේ ඒ ඒ රටවල සිනමා උත්සව නිසාය. එය වටහා ගත්තේ ප්‍රජාතාන්ත්‍රික පාලකයන් පමණක් නොවේ. හිට්ලර් බර්ලින් උලෙළ සඳහාත්, මුසොලනි වැනිස් සිනමා උලෙළ සඳහාත් පූර්ණ අනුග්‍රහය දක්වනුයේ එකල පවා ජාත්‍යන්තර සිනමා උත්සවයක වටිනාකම ඔවුන් දැන සිටි නිසාය. ඉන්දියාව සිය සිනමාව ජාත්‍යන්තර කරළිය වෙත ගෙන ගියේ 1953 වසරේ සිටය. අද ඉන්දියාවේ අන්තර් ජාතික සිනමා උලෙළ එහි ප්‍රධාන උත්සවය වන ගෝවේ ජාතික අගනුවර වන පාන්ජිම්වලට සීමා නොවී බොහෝ නගරයන්හි වාර්ෂික උත්සවයක් බවට පරිවර්තනය වී ඇත්තේය. වර්තමාන ලෝකය පුරා කොයි තැන වුවත් සෑම දිනකම ජාත්‍යන්තර සිනමා උත්සවයක් ඇත්තේය. නවීන තාක්ෂණයේ ව්‍යාප්තිය සිනමා උත්සව සඳහා වඩාත් සෘජු බලපෑමක් වූයේය.

අන්තර් ජාතික සිනමා උලෙළක් චිත්‍රපට දැක්මක් පමණක් නොවන්නේ එයට සහභාගී වීමට පැමිණෙන විදෙස් ආරාධිතයන් නිසාය. එය රටක් පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් සඳහා අත්‍යාවශ්‍ය කරුණකි. එමෙන්ම සිනමා පරම්පරාවක් සඳහා අති විශාල දැනුම් සම්භාරයක් හුවමාරු වීම ද මේ සමඟ සිදු වෙයි. ලෝකයේ බොහෝ රටවල ජාත්‍යන්තර සිනමා උත්සව සදහා තෝරා ගනු ලබනුයේ එරට ප්‍රධාන නගර නොවේ. වඩා සංචාරක ආකර්ෂණය සහිත නගරයන්ය. ප්‍රංශය සුන්දර මුහුදු වෙරළක් සහිත කාන් නගරය ද, ඉතාලිය වතුරෙන් වටවුණු ඓතිහාසික වැනිස් නගරය ද, ඉන්දියාව බටහිර වෙරළ ආසන්නයේ පාන්ජිම් නගරය ද සිය ප්‍රධාන සිනමා උත්සව සඳහා තේරා ගත්තේ එබැවිනි. මේ නගර එම සිනමා උත්සව සමඟම සැණකෙළි සිරි ගනී.

සිනමා උත්සවයක විලාසිතාව පසුගිය වසර වන විටත් මෙරටට අලුත් එකක් වුව ද ඒ සඳහා මෙරට මාධ්‍ය විසින් අගනා මෙහෙයක් ඉටු කරන ලදී. පසුගිය වසරේ සිනමා උලෙළෙන් පසු පශ්චාත් කතිකාවක් ඇති නොවූවා සේම මෙම අගනා මාධ්‍ය මෙහෙවර මෙම සිනමා උලෙළේ ඇතැම් බලධාරින්ට අමතක වීම බරපතළ වරදකි. එවර මාධ්‍ය මඟින් කරන මෙහෙය නොවන්නට කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළ සඳහා එතරම් සෙනඟක් පැමිණියේ පොලීසිය මඟින් කළ දැනුම් දීමකින් ද යන්න මෙම ලිපියෙන් කනගාටුවෙන් වුව සඳහන් කළ යුත්තේ ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ වර්තමාන සභාපති මා මිත්‍ර සිනමාකරු විමුක්ති ජයසුන්දරගේ උද්ධච්ච ප්‍රකාශන නිසාවෙනි. ඔහුගේ මතය අනුව ගියවර මාධ්‍ය මේ පිළිබඳ සඳහන් කොට නැත. එහෙත් කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළක අවශ්‍යතාව අප විසින් සනිටුහන් කරන ලද්දේ විමුක්ති ප්‍රංශයට ගොස් ඉගෙන ගන්නටත් පෙරාතුවය. ජාත්‍යන්තර සිනමා උලෙළක් ජාතික අවශ්‍යතාවක් යන මතය දරන අප ඒ පිළිබඳව දිගින් දිගට චෝදනා කරන්නට අවශ්‍යතාවක් නොවේ. එහෙත් මාධ්‍ය කොයි හැටි වෙතත් ජාත්‍යන්තර සිනමා උත්සවයක් යනු කවර ආකරයක එකක්දැයි මෙරට බොහෝ සිනමා ශිල්පීන් ද ඒ වනවිට දැන නොසිටියේය. සිනමා උලෙළ පිළිබඳ ශිල්පීන් දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධායකයන් විසින් සුහද හමුවක් සංවිධානය කළහ. එදා ඇතැම් ශිල්පීන් ජාත්‍යන්තර උත්සවයක් පිළිබඳ අපේ ශිල්පීන්ගේ දැනුම්වත් තරම මාධ්‍යයට පැහැදිලි විය. වාසනාවට එදා අනෝජා වීරසිංහ කලාකරුවන්ගේ ගෞරවය රැක දුන්නාය.

මෙවර කොළඹ උලෙළ අවසානයේ එහි සංවිධාන කටයුතු පිළිබඳ පශ්චාත් කතිකාවක් එහි ප්‍රධාන සංවිධායකවරුන් වූ ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟින් පැවැත්වීම අත්‍යවශ්‍යය. එයට හේතුව එහි තුන්වන සිනමා උලෙළ ලබන වසරේ පවත්වන විට වඩා සංවිධානාත්මක හා ආකර්ෂණීය උලෙළක් විය යුතු හෙයිනි. මෙම සිනමා උලෙළ වෙනුවෙන් බොහෝ සිනමා ශිල්පීන් අවංකවම සිය ධනය, ශ්‍රමය හා කාලය කැප කිරීම අපි අතිශය අගය කරන්නෙමු. වෘත්තිකයන් දෙවර්ගයක් සිටිති. එක් අයෙකු එහි යෙදෙන්නේ හදවතින්මය. දෙවැනි පිරිස එහි රැඳී සිටිනුයේ ජොබ් එකක් හැටියටය. එහෙත් මුල් වර්ගය එහි පැවැත්ම හා අභිවෘද්ධිය හදවතින්ම ප්‍රාර්ථනා කරති. එය පවත්වනුයේ ද ඔවුන්ගේ කැපවීම මතය.

කොළඹ රීගල් සිනමාහල එහි ගාම්භීරත්වය හා ප්‍රෞඪත්වය මත සමාරම්භක චිත්‍රපටය සහ සමාප්තිය වෙනුවෙන් කදිම ස්ථානයක් වුව ද සෙසු සිනමා සඳහා වඩා යෝග්‍ය වනුයේ මැජස්ටික් සිනමා සංකීර්ණය බැව් මගේ විශ්වාසයයි. සිනමා ශාලා අතර දුර ප්‍රමාණය වැඩි වන්නට වැඩි වන්නට චිත්‍රපට සොයමින් ශාලා අතර ගමන් කරන්නට ඇති කාලය නිරපරාදේ වැයවන්නකි. බම්බලපිටිය හා කොළඹ කොටුව අතර නිරන්තරයෙන් ඇතිවන මාර්ග තදබදය එය දෙගුණ තෙගුණ කරවයි. මෙබඳු සිනමා උලෙළක් මැජස්ටික් සිනමා සංකීර්ණය වැනි එක් ස්ථානයක ඇති ශාලා හතරම රැගෙන පවත්වන්නේ නම් ප්‍රේක්ෂකයාට ඉතා පහසු කටයුත්තක් වෙයි. එතැන් සිට සමීප දුරකින් ඇති තරංගනී හා එම්පයර් ශාලාවන්ට ද ප්‍රවිෂ්ට වීම පහසුවකි. සාමාන්‍යයෙන් ලොව සිනමා උලෙළයන් පැවැත්වීම සඳහා සිනමා සංකීර්ණ තෝරා ගැනෙනුයේ එම පහසුව නිසාය. අවම වශයෙන් ලබන වසරේදී එය ඉටු කර ගැනීමට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය හා එයට අනුග්‍රහය සපයන සිලෝන් තියටර්ස් සමාගමටත් හැකි වේවා යැයි මගේ ප්‍රාර්ථනාවයි.

කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළ පිලිබඳ යම් විවේචනයක් කරන්නේ ද්වේශ සහගත හැඟීමකින් නොවේ. එය තව තවත් විධිමත්ව පවත්වා ගෙන යාම සිනමා රසිකයකු හැටියට මගේ ප්‍රාර්ථනාව වන නිසාය. ලංකාවේ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළක් ජීවිත කාලය ඇතුළත දැක ගත හැකි වේවා යන ප්‍රාර්ථනයෙන් යුතුව මා මුල්වරට ලිපියක් ලිව්වේ 1995 වසරේදී මා මුලින්ම ජාත්‍යන්තර චිත්‍රපට උලෙළක් නැරැඹීමට ඉන්දියාවට ගොස් පැමිණි විටය. එතැන් පටන් මේ ප්‍රාර්ථනය මගේ වාර්ෂික ප්‍රාර්ථනාවක් විය. එය ඉටු කර දුන්නේ පසුගිය වසරේ ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ කැපවීම හා උනන්දුව මතය. එය ගිය වසරට වඩා මේ වසරේ තවත් ඉදිරියට යනු දැකීම මගේ ප්‍රාර්ථනය පමණක් නොව සමස්ත සිනමා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රාර්ථනයයි. එපමණක් නොව එය ඊළඟ වසරේ තවත් ඉදිරියට යනු දැක්ම අපේ විශ්වාසයයි. කොළඹ මෙන්ම යාපනයේ ද පසුගිය දිනවල ජාත්‍යන්තර සිනමා උලෙළක් පැවැත්විණ, මේ සිනමා උත්සව සියල්ල කියා පානුයේ වඩා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් පිළිබඳවය. අර්බුදය ඇත්තේ චිත්‍රපටවල විනා ප්‍රේක්ෂකයන් මත නොවන බවය. උත්සව හා සමගාමීව පැවැත්වෙන සිනමා වැඩමුළු උදෙසා ඇති තරුණ සහභාගිත්වය මවිත කරවන සුලු එකකි. එය සිනමවේ හෙට දවස පිළිබද එක්තරා සහතිකයකි.

කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළේ ගියවර සඳහන් වූයේ ‘එහි ඔබටත් අසුනක් ඇත’ යනුවෙනි. මෙවර ‘ඔබ එන්න පිරෙන්න’ යනුවෙන් ආරාධනා කර ඇත්තේය. ශාලාව පමණක් නොව හිතින් සහ දැනුමෙන් ද පිරෙන්නට අපි සැදී පැහැදී සිටිමු.
http://sarasaviya.lk/