ඒ කාලයේ නම් ආයෝජකයෝ එනකොට අහන්නේ ” බැසිල් ” ඉන්නවද නැද්ද කියලා – අමාත්‍ය විජිත හේරත්

0
169

ආයෝජකයෝ එනකොට ඒ කාලයේ නම් අහන්නේ ” බැසිල් ” ඉන්නවද නැද්ද කියලා. බැසිල් ඉන්නවා  කිව්වොත් වයට්නාමෙට, බංගලාදේශයට හැරෙනවා. .දැන් ඒ ප්‍රශ්නේ නෑ.  ඇමති විජිත හේරත්.

විජිත හෙරත් අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේ මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරික පිරිසක් සමඟ පැවති  විශේෂිත පිළිසඳරකදීය. ඊයේ  (06/11/2024) සවස මීගමුව “අවුරික් ග්‍රෑන්ඩ් ” හෝටලයේ පැවති
මෙම සුහද හමුව,  ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය සහ මූල්‍ය ප්‍රතිපත්ති වල අනාගත දිශානතිය  පිළිබඳව විමසා බැ⁣ලෙන බුද්ධිමය සංවාදයක් ලෙස   පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කර තිබිණි.  විජිත හේරත් අමාත්‍යවරයා සහ බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා වන හනීෆ් යුසූප්  මහතාද   මෙම සුහද හමුවට  ප්‍රධාන ආරාධිතයින් ලෙස  සහභාගි වූ අතර මෙම සුහද හමුව සංවිධානය කර තිබුණේ මීගමුව වෘත්තිකයින්‌ගේ කණ්ඩායම  විසිනි. මේ සඳහා මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයන් සහ මහා පරිමාණ ව්‍යාපාරයන්හි විධායක මට්ටමේ පරිපාලන කළමනාකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙහිදී වැඩි වශයෙන්ම සාකච්ඡාවට ලක් කෙරුණේ මෙරටට විදේශ ආයෝජනයන් ලබා ගැනීමට රජය විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායන්  පිළිබඳවයි. එවැනි ආයෝජන සඳහා රජයේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති සකස් වීමේදී අවධානයට ලක් කළ යුතු මූලික කරුණු කාරණා පිළිබඳවද මෙහිදී වැඩි වශයෙන්ම අවධානයට ලක් කෙරිණ.

එලෙසම විජිත හේරත් අමාත්‍යවරයා මෙම සුහද හමුව ඇමතීමට පෙරාතුව ප්‍රධාන ආරාධිතයකු ලෙස සහභාගි වූ බස්නාහිර පළාත් නව ආනුඩුකාරවරයා වන හනීෆ් යුසූෆ් මහතාද රැස්ව සිටි ව්‍යාපාරිකයන් අමතා ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ පැන නැගී ඇති පොදු කරුණු කාරණා පිළිබඳව පැහැදිලි කළේය. එලෙසම ආණ්ඩුකාරවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ නව ආර්ථික වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාර ක්ෂේත්‍රයට ද එම වැඩ පිළිවෙලට අනුගතව විශාල සාර්ථකත්වයක් කරා ගමන් කළ හැකි බවයි.ඒ වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු නව රජය  ව්‍යාපාරික ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා විශේෂ සැලසුම් සහ ඊට අවැසි ක්‍රමෝපායන්  සකස් කර ඇති බවද පැවසීය. එමෙන්ම ආණ්ඩුකාරවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ රටක් සංවර්ධනය වීමට නම් ව්‍යාපාරික ක්ෂේත්‍රයටද විශාල කාර්යභාරයක් පැවරෙන බවයි.
ඉන් පසුව මෙම සුහද හමුවට එක් වූ විජිත හේරත් අමාත්‍යවරයා  පැවසුවේ  රටක් සංවර්ධනය කිරීමට නම් විදේශ ආයෝජන අත්‍යවශ්‍යම බවයි. විදේශ ආයෝජනකයන් රටකට පැමිණීමේදී ඔවුන්ගේ අවධානයට ලක්වන ප්‍රධාන සාධක 03 ක් බලපාන බවත් ඉන් පළමු සාධකය වන්නේ අදාළ රටෙහි  දේශපාලන ස්ථාවරත්වයයි. දෙවන සාධකය ලෙස අමාත්‍යවරයා පවසන්නේ රටක යටිතල පහසුකම් තිබිය යුතු බවයි. එලෙසම තුන්වැනි සාධකය වන්නේ රටක වංචාව දූෂණය හොරකම නාස්තිය නොමැති   දේශපාලන සංස්කෘතියක් තුළ  නීතියේ ආධිපත්‍ය වැනි අත්‍යවශ්‍ය ප්‍රධාන කරනා  තිබිය යුතු බව  පවසන  අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ පැවසීය.
” අපේ රටේ නැත්තේත් ඕකම තමයි. ආයෝජකයෝ එනකොටම ඒ කාලයේ නම්  අහන්නේ බැසිල් ඉන්නවාද  නැද්ද කියලා. එහෙමනේ තිබුණේ. බැසිල් ඉන්නවා කිව්වොත් වියට්නාමයට හැරෙනවා. ,ඒ කාලේ බංගලාදේශයට හැරෙනවා. දැන් ඒ ප්‍රශ්නේ නැහැ.ප්‍රධාන එකක් තමයි ඒයලා එන්න කලින් බලනවා,  තමන් ගේන ප්‍රාග්ධනය කොතරම් උපයෝගී කරගන්න පුළුවන්ද උපයෝගීතාවය එනවද නැද්ද කියල.ඉතින් ඔන්න ඔය ප්‍රධාන සාධක 03 , ඊට අමතර වත් සාධක තියෙනවා. ඒ ටික අපිට හරියට සාක්ෂාත් කර ගත්තොත් ආයෝජකයෝ ගෙන්න ගන්නත් පුළුවන් විශ්වාසනීයත්වයත් ඇතිවෙනවා. ඒ විශ්වාසය ඇතිවුණොත් ආයෝජකයාට ලංකාවේ තියෙන ආණ්ඩුවේ පාට වැඩක් නෑ රතු පාට ආණ්ඩුවක්ද ,නිල් පාට ආණ්ඩුවක්ද, කොළ පාට ආණ්ඩුවක්ද, කවුද නායකයා කියන  ඒක අදාල නෑ.”

මෙම සුහද හමුවේදී ජාත්‍යන්තර මූලය අරමුදල හෙවත් අයි.එම්.එෆ් (IMF) ගිවිසුම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පල කළේය.
“” අපිට ඇත්තට ප්‍රශ්නයක් තියෙනවා,  අයි.එම්.එෆ්.(IMF) එකත් එක්ක අත්සන් කරලා තියෙන ගිවිසුමේ.  ඉතින් දැන් අපිට අයි.එම්.එෆ්.එකෙන් මුළුමනින්ම ඉවත් වෙන්නත් බෑ. ඒක තමයි අපි අයි.එම්.එෆ්. එකත් එක්ක ටික ටික කතාබහ කරගෙන යන්නේ සමහර දේවල් වෙනස් කරගන්න. ඔතනත් හිර වෙලා තියෙන්නේ ඒ  අයි.එම්.එෆ්. එකක් ඒගොල්ලෝත් එක්ක කරපු  ගිවිසුමේ. සමහර දේවල් ඒගොල්ලොත් එකඟ නැහැ. එතකොට ටිකක් පරිස්සමෙන් කාලයක් අරගෙන අපි ඒක වෙනස් කරගන්න උත්සාහයක් තියෙනවා. අපි බලමු ඉස්සරහට ඒකේ අර අයි.එම්.එෆ්. ගිවිසුමේ  පදනමේ තියෙන ඒවා වෙනස් කර ගද්දී ඒකත් අපේ ඉලක්කයක් විදිහට තියෙනවා.”

එලෙසම මෙම සුහද හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව මෙන්ම ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ද  විශේෂ අවධානයකට ලක්විය. එහිදී රැස්ව සිටි ව්‍යාපාරිකයන් ඇමතු වෛද්‍ය හෙන්රි රොසාරියෝ මහතා පැවසුවේ රෝහල්වල ඇති තදබදය අවම කිරීමට ගම්බදව ඇති මාතෘ හා ළමා සයන ගොඩනැගිලිවල පොලි ක්ලිනික්ස්  (poly clinics ) සංකල්පය හඳුන්වා දියයුතු බවයි. එම ක්‍රමය තුළ විශේෂයෙන්ම වැඩිහිටියන්ට තම ගම් ගම්වල සිටම සිය සායන කටයුතු සහ සුළු රෝගී තත්ත්වයන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මෙම පොලි ක්ලිනික්ස් ක්‍රමය හරහා අවස්ථාව උදාකර දිය යුතු බව සඳහන් කළේය.එමෙන්ම වෛද්‍ය හෙන්රි රොසාරියෝ මහතා මෙහිදී පැවසුවේ එම පොලි ක්ලිනික්ස් ක්‍රමය ලොව දියුණු රටවල ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන ක්‍රමයක් බවයි.
මෙම සුහද හමුව ඉදිරිපත් කරමින් මෙහෙය වූයේ  “එපික් ටෙක්නොලජීස් පුද්ගලික ආයතනයේ සභාපති සහ  තොරතුරු තාක්ෂණය පිළිබඳව  ප්‍රකට දේශකයෙකුද වන  ආචාර්ය  නයන දෙහිගම මහතා විසිනි..