ඔව්! මම අලූත් දේශපාලන ගමනකට සූදානම් – බැසිල් රාජපක්ෂ

0
95

 

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ප‍්‍රබලතමයා ලෙස සැළකුණේ බැසිල්ය. ඉකුත් ජනාධිපතිවරණයේ දී මහින්ද පරාජය වූ පසු ක‍්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්ව සිටි බැසිල් දැන් කරන්නට හදන්නේ කුමක්ද? මේ, ‘සත්හඬ’ ඔහු සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවයි.

x දේදුනු විප්ලවයට වසරක් සැපිරී තිබෙනවා. ශ‍්‍රීලනිපයේ හිටපු ලේකම්වරයා ජනපති ධුරයට පත් වී සම්මුති ආණ්ඩුවක් ගොඩනගා තිබෙනවා. මේ ආණ්ඩුවේ රිපෝට් කාඩ් එක ගැන ඔබ මොකද කියන්නෙ?

දේදුනු විප්ලවයක්ද? දේදුනු කුමන්ත‍්‍රණයක්ද කියා මා දන්නේ නෑ. කොහොම වුණත් 2015 ජනවාරි 08 දා ජනතාව රටට නව නායකත්වයක් තෝරා ගත්තා. එක පැත්තකින් ඡන්දය දුන් අයගේ බලාපොරොත්තු, ඊළඟට නොදුන් අයගේ අපේක්ෂා, පොදුවේ මුළු රටේ අපේක්ෂා යන කොටස් තුනටම මෙය බලපානවා.

මේ රිපෝට් කාඩ් එක ගැන කතා කරද්දී අර ඡන්දය නොදුන් පිරිස වෙනුවෙන් කතා කරන කෙනකු ලෙස තවමත් සම්මුති ආණ්ඩුවට සම්බන්ධ නොවූ කෙනෙක්, මධ්‍යස්ථව ඉන්න අයකු සේ කියනවා නම්, මේ කාලය තුළ රටට යම් යම් ආකාරයේ ජයග‍්‍රහණ ලැබී තිබෙනවා.

මේ රටට, මේ ආණ්ඩුවට ජාත්‍යන්තරය තුළ යම්කිසි පිළිගැනීමක්, සහයෝගයක්, හොඳ හිතක් ලැබී තිබීම ඉන් එක ජයග‍්‍රහණයක්.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා බලයට පත් වීමට පෙර සිට මේ රටට නොයෙක් බලපෑම්, තර්ජන, කුමන්ත‍්‍රණවලට මුහුණ දීමට සිදු වුණා. හැබැයි මේ රජය ඒ අතින් වාසනාවන්තයි. එය එසේ වන්නේ ඇයි කියන දේ වෙනමම කතා කරමු. එහෙත් එය එක අතකින් ජයග‍්‍රහණයක්. එක්සත් ජාතික පක්ෂයේ සංවිධානය තුළ වගේම සමහර බලවත් රටවල් බොහොමයක් පමණක් නොවේ කුමන ආණ්ඩුවක් බලයේ හිටියත් මේ රටට හිතවත් රටවල් ද ඇතුළුව මේ හැම දෙනකුගේම සහාය ලැබීම ජයග‍්‍රහණයක්.

එසේම රටේ සියලූ නිල දේශපාලන පක්ෂවල අනියමෙන් හෝ නියම වශයෙන් සහාය මේ රජයට ලැබී තිබෙනවා. උදාහරණයක් ලෙස, සමහර විට ලෝක ඉතිහාසයේ පළමු වරට විය හැකියි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා මෙවර අයවැයේ දී අයවැයට පක්ෂව ඡන්දය දුන්නා. සාමාන්‍යයෙන් වෙනත් අණපනත්වලටත් විපක්ෂය ආණ්ඩු පක්ෂයට සහාය දුන් අවස්ථා තිබෙනවා. එහෙත් සම්ප‍්‍රදායක් ලෙස අයවැය විවාදයේ දී ඒ අයවැයට විරුද්ධව යෝජනා ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයා වුවත් මෙවර එය වෙනස් වී විපක්ෂ නායකවරයා අයවැයට පසුව ඡන්දය ලබා දී තිබෙනවා. මෙය කුමන ආණ්ඩුවකටවත් නොලැබෙන්නක්.

අනෙත් පැත්තෙන් බැලූ විට ජනවාරි 08 වනදා වෙනසට පක්ෂ නොවූ අයට වඩා පක්ෂ වූ අයගේ බලාපොරොත්තු කඩ වී තිබෙනවා.

පාසල් සිසුන් අවුරුදු 30කට ආසන්න කාලයක් පාසල් නිල ඇඳුමට දැරූ හිමිකම් අහෝසි කර තිබෙනවා.

ඊළඟට ගොවියා ගනිමු. එක දිගට කන්න 20ක් රුපියල් 350 ගණනේ පොහොර ලැබුණා. එහෙත් අද එය අහිමි වී තිබෙනවා.

දැන් වසර දෙකක සිට සෑම ගොවියකුටම රක්ෂණයක් දුන්නා. එය ගොවියාට නොතේරෙන්න කි‍්‍රයාත්මක වුවත් එහි වැඩිම සහනය ලැබුණේ පොළොන්නරුවේ ගොවියාටයි. එය පොහොර සහනාධාරය අහෝසි කිරීම සමඟම අහෝසි වෙනවා.

ඊළඟට රජයේ සේවකයාව ගන්න. මේ තාක් භූක්ති විඳින විශ‍්‍රාම වැටුප් හිමිකම ජනවාරි 01 වනදායින් පසු රාජ්‍ය සේවයට එක් වන අයට අහිමි වනවා. රජයේ සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට තීරු බදුවලින් 35%ක් ගෙවා වාහන බලපත‍්‍ර ලබා ගැනීමට වූ තීරු බදු සහනය පවා අහිමි වුණා.

අනෙක් අතින් කිරි ගොවියාගේ සහ කුඩා තේ වතු හිමියාගේ වෙළෙඳපොළ කඩා වැටුණා. කසළ තේ මෙරට තේ සමඟ කලවම් කිරීමට ලැබුණ අවකාශය තුළ අපේ තේ වෙළෙඳපොළ කඩාගෙන වැටුණා. රජය මේ ගැන කිසිම සැලකීමක් නැහැ. රබර් කර්මාන්තය ගත්තත් එය අද කඩා වැටීමකට ලක් වී තිබෙනවා.

ධීවරයා ගත්තොත්, පසුගිය ජනවාරි 01 වන දා සිට ධීවරයාට යුරෝපා හවුලේ කොන්දේසිවලට අනුගතව බලපත‍්‍රයක් ලබා ගැනීමට සිදු වී තිබෙනවා. සරලව ගත්තොත් මාළුවා අල්ලන වෙලාව, තැන, මාළු වර්ගය, ප‍්‍රමාණය ගැන සටහන් තබාගත යුතුයි. දැන් වෙනමම ලියන මහත්තයකු ද බෝට්ටුවේ ගෙන යාමට ධීවරයාට සිදු වී තිබෙනවා. 100 – 200 වැඩ කරන ට්‍රෝලර් නැව්වලට දාන කොන්දේසි අපේ බෝට්ටුවලට දාලා. ඒ විතරක් නෙමෙයි, මොනිටරින් සිස්ටම් එකක් අපේ වියදමින් හදලා ඒවා යුරෝපයේ සිට නිරීක්ෂණය කිරීමේ අයිතියත් ලබා දිය යුතුව තිබෙනවා. අප ජාත්‍යන්තර හොඳ හිත දිනා ගැනීම තුළ වන්නේ මෙන්න මේවා දෙන්නය කියලා අපව බැඳ දැමීමයි.

සංචාරක හෝටල් දැන් රාත‍්‍රී 12.00න් පසු විවෘතව තබන්නේ නැහැ. එසේ විවෘත කර තැබුවොත් රුපියල් 75,000ක් ගෙවන්නට ඕනෙ. මෙය මත්පැන් විකිණීම සම්බන්ධව බව සමහර විට කියන්නට පුළුවන්. එහෙත් කි‍්‍රයාත්මක කිරීමේ දී තිබෙන්නේ අර දුම්රිය පාරේ ගමන් කිරීම තහනම්ය වගේ තත්ත්වයක්. අපේ දුම්රිය මාර්ග ආශ‍්‍රිතව ගෙවල්වල ගේට්ටු විවෘත වන්නේ දුම්රිය මාර්ගයටයි. හැබැයි අවශ්‍ය නම් දුම්රිය මාර්ග යේ ඇවිදගෙන ගියාය කියා දඬුවම් කිරීමේ හැකියාව තිබෙනවා.

 

x ඔබ විශේෂ කාර්යභාරයක් ඉටු කළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තරයට කන් දුන්නේ නැහැයි කියා විශාල චෝදනාවක් නැගුණා. එතැන දී ඔබගේ මෙම විග‍්‍රහය කෙතරම් නම් සාධාරණයිද ?

මේ රජයට දෙන රිපෝට් කාඩ් එකේ ජාත්‍යන්තර සබඳතා යන්න පළමුවෙන්ම ලකුණු ලබා දිය යුතු එක යැයි මා කීවේ ඒ නිසයි. ආරම්භයේ දී මේ අයට ජාත්‍යන්තරයේ ලොකු සහායක් ලැබුණා. මගේ ප‍්‍රශ්නය ඒ ජාත්‍යන්තර සහයෝගය මේ රටේ ස්වාධීනත්වයට, ස්වෛරීත්වයට, සංවර්ධනයට සහ රටේ ජනතාවගේ යහපතට යොදා ගැනීමට උත්සාහ නොගැනීම ගැනයි.

අපේ එවකට පැවති රජය බොහෝ අවස්ථාවල දී රට වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහයෝගය දිනා ගත්තා. ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ දී අපට විරුද්ධ රටවල සහයෝගයත් අප ලබා ගත්තා. යුරෝපා හවුල එල්.ටී.ටී.ඊ.ය තහනම් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ දී. එල්ටීටීඊයේ කි‍්‍රයාකාරකම්වලට ජේ.ආර්. ජයවර්ධන යුගයේ දී සහාය දුන් ඉන්දියාවම එය මර්දනය කිරීමේ දී අපට විශාල සහයක් දුන්නා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙවැනි දේවල් රටේ ජනතාවගේ යහපතට යොදා ගත්තා. ඒ වගේම අපේ රටේ ස්වෛරී භාවයට යම් කිසි හානියක් වන්නට ආවොත් එතැන දී ඔවුන් කෙතරම් බලගතු වුවත්, අප ඊට විරුද්ධව කටයුතු කළා. ඒ වගේම අපේ සමහර රටවල්, ජාත්‍යන්තර සංවිධාන සමඟ ගනුදෙනු කිරීමේ දී යම් අඩුපාඩු සිදු වූ බවත් මා පිළිගන්නවා. අපේ රට තුළ සිදු වූ ඇතැම් සිදුවීම් නිසා යම් යම් රටවලට අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් අනිනවා වගේ දේවලූත් සිදු වුණා. ඒ අයට අපිව පාලන බලයෙන් පහ කිරීමට උවමනා වූ නිසා සහ අපට පහර ගහන්නට උවමනා වූ නිසා හෝ ඇත්තටම මිතුරු වන්නට ඕනෑ වූ නිසා හෝ මේ රටට යහපතක් උදාකර දීමට මේ ආණ්ඩුවට අවස්ථාව තිබෙනවා.

උදාහරණයක් ලෙස එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට පිළිතුරු දී එය නැති කළා. එල්ටීටීඊය තුළ සෑම දෙයක්ම නීති විරෝධීයි. එම සංවිධානයේ සාමාජිකයෝ, ඔවුන්ට අනුබල දුන් අය, එයට පරිබාහිරව ඉඳිමින් උදව් කළ, ඔත්තු දුන් අය නීතිමය වශයෙන් වැරැදි කළ අය යි. ඒ ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ. ඒ වගේම අනෙක් පැත්තෙන් හමුදාවේ අය කළේ නීත්‍යනුකූල සටනක්. වැඬේ තිබෙන්නේ නීති විරෝධීව කටයුතු කළ අයගේ වැරැද්දේ බරපතළකම ගැන දැන හෝ නොදැන ඔවුන්ට සමාව දීමට කටයුතු කර තිබෙනවා. මෙය ජාත්‍යන්තර වශයෙන් ද සිදු වුණා. ජපානය සම්බන්ධවත් දකුණු අප‍්‍රිකාව සම්බන්ධවත් සිදු වුණේ මෙයයි. එහෙම නම් මේ රටෙත් සිදු විය යුත්තේ ඒකමයි. ඒ වුණාට දැන් බලන්න අර දිගු දුර මෙහෙයුම් බළකායේ සාමාජිකයන්ට අධිකරණයෙන් යම්කිසි ආකාරයේ දඬුවම් දී තිබෙනවා. ඔහු නඩුව විභාගයට ගන්න කාලේ විවාහ වී දැන් දරුවකු සිටිනවා. මේ ආකාරයටම මෛත‍්‍රීපාල ජනාධිපතිතුමාව එවකට ඝාතනය කිරීමට පැමිණි එල්ටීටීඊ සාමාජිකයකුට ජනපති සමාව ලැබෙනවා. ඒ අනුකම්පාව, දයාව අර හමුදා සාමාජිකයන්ට නොදෙන්නේ ඇයි? මේ ඉටු කරන්නේ කාගෙ හරි බටහිර අවශ්‍යතාවක්, ඩයස්පෝරාවේ හෝ එන්ජී ඕ එකක අවශ්‍යතාවයි කියන සැකය මතු වෙනවා.

Basil Rajapaksha 1

x එවකට පැවති රජය ‘පෝට් සිටි’ ව්‍යාපෘතියෙන් ගසාගෙන කෑවාය කියා චෝදනාවක් තිබෙනවා? මත්තල සුදු අලියෙක් යැයි කියනවා. එවකට ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇමැතිවරයා ලෙස අනුගමනය කළ ප‍්‍රතිපත්ති සහ අද වන රටේ ආර්ථික ප‍්‍රතිපත්ති ගැන මොකද කියන්නෙ?

මෙහි දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා භාර ගත් රටත් එතුමා භාර දුන් රටත් අතර සංසන්දනයක් කළ යුතුයි. මා මේ අදහස දක්වන්නේ හිටපු ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇමැති ලෙසයි. 2005 දී මේ රටේ යුද්ධය නිසා රටේ භූමියෙන් තුනෙන් දෙකක් අහිමි වී තිබුණා. ඒවගේ නිෂ්පාදන කි‍්‍රයාවලි, ආයෝජන, ඉදිකිරීම් ආදිය සිදු වුණේ නැහැ. රටේ මුහුදු තීරයෙනුත් තුනෙන් දෙකක් ආර්ථිකයට අහිමි වී තිබුණා. බෝට්ටු එන්ජින්වල අශ්ව බල ප‍්‍රමාණය, ඉන්ධන ප‍්‍රමාණය සීමා කර තිබුණු බවත් මුහුදු යාමට පෙර බලපත‍්‍රයක් ලබාගත යුතු බවත් ඔබට මතක ඇති. හමුදාව ගාව පැය දෙකක විතර පෝලිමේ ඉඳලා මාළු අල්ලන්න උචිත වෙලාවට මුහුදු යාමට නොහැකි වූවා. ඒ මුහුදු යාමෙන් ඵලක් නෑ.

එදා තෙල් බැරල් එකක් ඇමෙරිකානු ඩොලර් 140ට නැගලා තිබුණා. මේ ප‍්‍රවෘත්ති සම්මුඛ සාකච්ඡාව ලබා දෙන අද දවසේ දී එය ඇමෙරිකානු ඩොලර් 29ට බැහැලා තිබෙනවා. ඒ වගේම එදා යුරෝපයේ බැංකු කඩා වැටිලා ගෝලීය ආර්ථික අවපාතයක් ඇති වී තිබුණා. එහෙත් මේ ආණ්ඩුවට එවැනි බාධා නැහැ.

අපි මේ රටේ ත‍්‍රස්තවාදය නැති කර, යටිතල පහසුකම් දියුණු කර රටේ ආර්ථිකය දියුණු කිරීමට අඩිතාලම දැම්මා. උද්ධමනය, විරැකියාව අහස උසට නැගලා තිබෙද්දී අපි විශාල ආයෝජන රටට ගෙනාවා. නොරොච්චෝලෙ, ඉහළ කොත්මලේ වැනි දේශපාලන ප‍්‍රශ්න නිසා අඩපණ වී තිබූ සාමාන්‍ය යෝජනා ක‍්‍රම ඒ ප‍්‍රශ්න විසඳා ඒවා ආරම්භ කළා. ඒ අඛන්ඩ විදුලි සැපයුමක් ස්ථාපිත කළා. අද මේ ආණ්ඩුවේ අය උත්සවාකාරයෙන් කරන්නෙ විදුලි කණුවල සිට රැහැන් ඇද නිවෙස්වලට විදුලි සැපයුම ලබා දීමේ කටයුත්තයි.

මේ රටේ දෙවන ගුවන් තොටුපොළ කවදා ඉඳන්ද ඉල්ලන්නේ? මට මතකයි අපි පුංචි කාලේ ඩඩ්ලි සේනානායක මහතා හිඟුරක්ගොඩට දෙවන ගුවන්තොටුපොළ දෙන්න හැදුවා. රනිල් වික‍්‍රමසිංහ මහතා එය මත්තලට පොඞ්ඩක් එහායින් මොනරාගල දිස්ත‍්‍රික්කයේ කුඩා ඔයට ගිහින් දෙවන ගුවන්තොටුපොළට මුල්ගල තිබ්බා. දූපත් රාජ්‍යයක් වන අපට අතිරේක වශයෙන් දෙවන ගුවන් තොටුපොළක් අවශ්‍යයි යන්න අනිවාර්යයෙන් පිළිගත් දෙයක්. ඒ තුළ විශාල ආර්ථික, ආරක්ෂක වාසි තිබෙනවා. විශාල නැව්වලට පැටවීමට තරම් ප‍්‍රමාණවත් වූ ස්ථානයක් තිබුණේ නැහැ. පොඩි නැවකින් අපේ රටට අවශ්‍ය නිෂ්පාදන ගෙන එද්දී වියදම වැඩියි. අපනයන සම්බන්ධවත් එසේමයි. කොළඹ දකුණු වරාය ඉදිකළේ මේ දුෂ්කරතාව වළකා ගැනීමටයි. හම්බන්තොට වරාය ඉදිකළ කාරණාව වෙනස්. අන්තර් හුවමාරු වරාය ලෝකයේ දැන් තිබෙන සංකල්පයක්. ඒ හා සමඟ එකලස් කිරීමේ කර්මාන්ත පදනම් කර ගැනෙනවා. අනුව හම්බන්තොට වරාය ඉදිකළේ වාණිජ කේන්ද්‍රස්ථානය ලෙස කි‍්‍රයාත්මක කිරීමටයි. අඩුපාඩු තිබෙන්නට පුළුවන්. තේ කඩයක් දැම්මත් එක පාර ලාභ ලැබෙන්නෙ නෑ. නව ගුවන් තොටුපොළක්, වරායක් හැදුවත් එසේමයි.

පැහැදිලිවම පෝට් සිටි කියන්නේ ආයෝජනයක්. එතැන දී ආයෝජකයා මෙහි සල්ලි යොදවා ආදායම උපද්දනවා. ඒ සඳහා අමාරුම දේ ආයෝජකයා ගෙන්වා ගැනීමයි. ආයෝජකයන්ට යන්නට ලෝකයේ ඕනෑ තරම් රටවල් තිබෙනවා. අප කරන්නේ ඔවුන් ගෙන්වා ගැනීමට යම් යම් සහන ලබා දීමයි. ‘පෝට් සිටි’ය ආයෝජනයක්. ඉන් ගසා කන්න බැහැ. ඒ වගේම එයින් ගසා කෑවා නම් මෙය නැවත පටන් ගන්නෙ ඇයි? වහාම මේ ගැන පරීක්ෂණ කරන්න. අල්ලස් ගැනීම වගේම දීමත් වරදක්. ‘ෆෝට් සිටි’ය නතර කළ එක මේ කාලය තුළ රටට වුණේ පාඩුවක්. අපි මේ ආයෝජන ගෙන්වාගෙන මූලිකව වැඩ පටන් ගන්නවා. පස්සෙ එය නවතා දමා යළි පටන් ගැනීමයි වංචාව. ගසා කන්නට පුළුවන් නම් එසේ ගසා කන්නට පුළුවන් අවස්ථාව දැනුයි තිබෙන්නේ.

 

x මහින්දගේ ආණ්ඩුව වැට්ටුවේ බැසිල් ය කියා චෝදනාවක් තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ගෙදර ගිහින් වසරක් ගත වන තැනේ දී මේ ගැන කියන්නේ කුමක්ද?

‘ජයග‍්‍රහණයට පියවරුන් දහසකි. පරාජය අවජාතකයි’ කියා කියමනක් තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඡන්ද 21ක් දිනුවා. ඒ ජයග‍්‍රහණවලට හිමිකම් කියන ගොඩාක් අය ඉන්නවා. ඒ එකකටවත් මම උරුමකම් කිව්වේ නැහැ. එහෙත් පරාජය වූ එකම එක අවස්ථාවේ දී දේශපාලන සදාචාරය මත මම වගකීම භාරගන්නවා. පරාජයට හේතු වූ කාරණාවලට මම වගකියනවා නෙවෙයි. මම පරාජයේ වගකීම භාරගන්නවා. රියැදුරාගේ හෝ සංඥාවල වරදින් ලොකු දුම්රිය අනතුරු සිදු වෙනවා. දුම්රිය නැතිනම් ප‍්‍රවාහන භාර ඇමැතිවරයා වගකීම භාරගෙන ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙනවා. ඇමැතිවරයා දුම්රිය එළෙව්වෙත් නැහැ. සංඥා පාලනය කළෙත් නැහැ. අපිත් ඒ වගේ මේ පරාජයට හේතුව මා නොවුණත් මම ඒ වගකීම භාරගත්තා. මොකද මෙයට පෙර ඡන්දවල දී මහින්ද රාජපක්ෂව දිනෙව්වා නම් මෙවර මට එය කරගැනීමට මට නොහැකි වූයේ ඇයිදැයි මම සිතුවා. අවංකවම කියනවා නම්, මේ කාලය තුළ කිසිම ආකාරයකින් මහජන මුදලක් අනිසි විදියට භාවිත කළේ නෑ. අරගෙනත් නැහැ. අපි හොරකම් කළෙත් නැහැ.

 

x එස්.බී. දිසානායක ඇමැතිතුමා ඔබතුමාට චරිත සහතික දෙන්නේ ඇයි?

දිවිනැගුම ව්‍යාපාරය හරහා දිවිනැගුම දෙපාර්තමේන්තුව ලෙස අංශ දෙකක් තිබෙනවා. දිවිනැගුම ව්‍යාපාරය කියන්නේ නිශ්චිත වැඩපිළිවෙළක් සහ ආයතනයක්. එය ගොඩනැගීමට මුල් වූ ආයතන පහෙන් ප‍්‍රධානම ආයතනය සමෘද්ධි අධිකාරිය යි. එම අධිකාරිය හැදුවේ එස්. බී. දිසානායක ඇමැතිතුමායි. අද ජාතික ඉතිරිකිරීමේ බැංකුවට එකතු කිරීමට තරම් වූ අරමුදලක් ගොඩනැගුවේ ඔහුයි. එස්.බී.ට එම ගෞරවය දෙන්නට ඕනා. එස්.බී. නැවත එය භාර ගන්නා විට මා කෙතරම් පරිත්‍යාගයක් කර තිබෙනවාද, අවංකව කළාද කියා එතුමා දන්නවා. මම ඉන් සතයක්වත් අරගෙන නැහැ.

 

x මහින්ද රාජපක්ෂ පාලනය තුළ අන්මත යටපත් කළ බවට චෝදනාවක් තිබෙනවා? ලසන්ත ඝාතනය, එක්නැළිගොඩ අතුරුදන් කිරීම, රවිරාජ් ඝාතනය ආදිය ඉන් ප‍්‍රධානයි. අද ඔබ මේවා දෙස හැරී බලන්නේ කොහොමද?

රටක විවිධ පාලන සමයන්හි දී නොයෙකුත් ඝාතන සිදු වෙනවා. එකී ඝාතනවලට පාලකයා වගකිවයුතු යැයි පොදුවේ කියන්නට පුළුවන්. පාලකයා වගකියනවා යන්න හා පාලකයා එකී ඝාතනවලට සම්බන්ධයි කියන එක අතර ලොකු වෙනසක් තිබෙනවා. මෙකී ඝාතන කිසිවක් මා අනුමත කරන්නේ නැහැ.

65 කුමන්ත‍්‍රණය වෙලාවේ රත්නපුර දිස්ත‍්‍රික්කයේම දොඩම්පේ මුදලාලි සීඅයිඞීයේ හතර වන තට්ටුවෙන් පැනලා මැරුණාය කිව්වා. පරීක්ෂණයක් කළා. අවසානයේ දී ඔප්පු වුණා සිද්ධ වුණේ එවැනි දෙයක් නොවේය කියලා. ඒ වගේම පසුගිය දා රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඇඹිලිපිටියේ දී මඟුල් සාදයක හබයක් සම්බන්ධ සිද්ධියකට පොලිසිය පැමිණියා. එහි සිටි තරුණයකු ගොඩනැගිල්ලෙන් පැනලා මැරුණාය කියනවා. මේවා විශ්වාස කරන අය ඉන්න පුළුවන්. හැබැයි රටේ ජනතාව මේවා විශ්වාස කරන්නේ නැහැ. අන්මතය යටපත් කිරීමට ඝාතන කෙරුණා යැයි ඔබ කීවා. මේතාක් පැවති ආණ්ඩු අතරින් පුවත්පත් පාලනයක් නොකළ නිසි බලධරයකු පත් නොකළ එකම ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවයි. අපේ කාලයේත් ඔය ඝාතන සිද්ධි ගැන අවංකවම පරීක්ෂණ කෙරුණා. අදත් මේ පරීක්ෂණ කරනවා. එදා පරීක්ෂණ කළෙත් අද පරීක්ෂණ කරන්නෙත් ඔය පොලිසියමයි. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන පරීක්ෂණ කටයුතු මෙතරම් හෙමින් කෙරෙන්නේ එනිසා විය යුතුයි.

මේ රටට සුදු වෑන්, ගෝනිබිල්ලන් යන කතා ආවේ 88 – 89 අවධියේ දී. මේ රටේ ග‍්‍රාම සේවා වසම් 14,200ක් තිබෙනවා. රාජපක්ෂ පාලනය තුළ මේ ග‍්‍රාමසේවා වසම් කීයක අතුරුදන් වීම් වී තිබෙනවාද? ග‍්‍රාම සේවක වසම් 30කවත් මෙවැනි සිද්ධීන් ඇතැයි කියා මා සිතන්නේ නැහැ. 88 – 89 ඇතුළු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ දී හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ආණ්ඩු කාලවල දී අතුරුදන් වීම් නොකෙරුණු එක ග‍්‍රාම සේවා වසමක්වත් සොයා ගන්න පුළුවන්ද? දැන් මොකක්ද සිදු වෙමින් තිබෙන්නෙ? ප‍්‍රසිද්ධියේ වීඩියෝගත කරමින් මිනිස්සු පැහැරගෙන යනවා පමණක් නොවෙයි, ඒවා ගැන ප්‍රෙස් ඉන්ටවීව් පවා තබනවා. මහින්ද රාජපක්ෂ පාලනයේ අවසන් කාල සීමාවේ දී අවසන් කෙරුණු සුදු වෑන් සංස්කෘතිය දැන් කළු ඩිෆෙන්ඩර්වලින් යළි පටන්ගෙන තිබෙනවා.

 

x අද යම් ආකාරයට අලූත් දේශපාලන ධාරාවක් ඇති වී තිබෙනවා. ඔබ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායකවරයා විදියට අද මේ යන ගමන ගැන කියන්නේ කුමක්ද?

රටට නිදහස ලබා ගැනීමට සියලූ ජාතීන් එකතු වුණා. ඒ වගේම එවැනි සියලූ දේශපාලන පක්ෂ එකතු වුණා. නිදහසෙන් පසු පළමු ආණ්ඩුවට උතුරේ ජී. ජී. පොන්නම්බලම් පවා ආවා. හැබැයි ටික දවසක් යනකොට එකී බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැහැ. එතැන දී රටේ පොදු ජනතාවගේ අවශ්‍යතා සඳහා නව දේශපාලන ධාරාවන්ට පරිසරයක් ඇති වුණා. එතැන දී පංච මහා බලවේගයේ අවශ්‍යතාව ඉටු කිරීමට බණ්ඩාරනායක මැතිතුමා එජාපයෙන් ඉවත් වී ශ‍්‍රීලනිපය පිහිටුවා ගත්තා. තනිව නෙවෙයි, මහජන එක්සත් පෙරමුණේ සහය ඇතිව බලයට ඇවිත්, කෙටි කාලයක් තුළ ලොකු වෙනසක් කළා. අන්න එයයි වෙනස. අන්න එවැනිම තත්ත්වයක් අද මේ රටේ බිහි වී තිබෙනවා.

යම් මතවාදයක් උඩ හංසයාට සියලූ දෙනා එකතු වුණා. මේ ආණ්ඩුව ආවට පස්සේ ඉතුරු ටිකත් එකතු වුණා. මේ සම්මුති ආණ්ඩුව තුළ එ.ජා.ප.ය, ශ‍්‍රීලනිපය, දෙමළ ජාතික සංවිධානය ආදී සියල්ල එකට එකතු වී තිබෙනවා. එහෙත් රටේ ජනතාවගේ විකල්ප මතය, මෙයට විරුද්ධ මතය ගෙනයාමට. බලවේගයන් අවශ්‍යයි. පාර්ලිමේන්තුව තුළ එය සිදු කිරීමට එ්කාබද්ධ විපක්ෂය ලෙස මන්ත‍්‍රී කණ්ඩායමක් ගොඩනැගී තිබෙනවා. එම කාර්යය ඉටු කිරීම ගැන අප ඔවුන්ට ගෞරවය දිය යුතුයි. දැන් පාර්ලිමේන්තුවෙන් පිටත දී මේ විකල්ප මතය ඒකරාශී කර ජනතාව ඉදිරියට ගෙන එන්නට අනිවාර්යයෙන්ම විකල්ප ධාරාවන් උවමනායි. දැන් ක‍්‍රමයෙන් ඇති වේගෙන යන්නේ එම තත්ත්වයයි.

 

x මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා යළි බලයට ගෙන ඒම ගැන හඬක් නැගෙනවා. ඔහු යළි බලයට ගෙන ඒමට හැකි වෙතැයි ඔබ විශ්වාස කරනවාද?

රටේ තිබෙන තත්ත්වය හා නීතිමය රාමුව තුළ ඒ ගැන බැලූ බැල්මට යමක් මා කියන්නේ නෑ. මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට වඩා ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා මහින්ද රාජපක්ෂව යොදා ගැනීමේ අවකාශයක් තිබෙනවා. එතුමාගේ ජනප‍්‍රියභාවය, කැපවීම, ජනතාවට තිබෙන ආදරය වගේම ඔහුට ජනතාවගෙන් තිබෙන ආදරය ඉතා වැදගත්. නායකත්වය දැරීම හා ඒ වෙනුවෙන් වෙහෙසීම පමණක් නෙමෙයි ශ‍්‍රීලනිප පක්ෂ මූලස්ථානය වසා දමා තිබිය දී පේ‍්‍රමදාස පාලනයට එරෙහිව ඔහු කතරගම පාද යාත‍්‍රා ගිය පුද්ගලයෙක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා පොදු සාධකය වන්නේ එක්සත් ජාතික පක්ෂයට එරෙහි විකල්පයක් වීමයි.

මෙතැන කාරණා දෙකක් තිබෙනවා. පළමු වැන්න අප එක් පොදු කටයුත්ත ඉෂ්ට නොකිරීම, දෙවැන්න ශ‍්‍රීලනිපය තුළ සැමදාම සිදු වුණේ යම් කිසි නායකත්වයක් වටා ජනතාව ඒකරාශී වීමයි. එය ගොඩනැගෙන්නේ අදාළ පුද්ගලයා පක්ෂ මතවාදය තුළ සිටීම තුළයි.

 

x ඔබට එරෙහිව ශ‍්‍රීලනිපය තුළ දැඩි විරෝධයක් තිබෙන බව ප‍්‍රකටයි. එසේම පොදු විපක්ෂයේ විමල් වීරවංශ ප‍්‍රමුඛ තවත් අය ද එකී විරෝධය තුළ සිටින බව වාර්තා වෙනවා. මේ ගැන මොකද කියන්නෙ?

ඔය නම්වලට මම උත්තර දෙන්නට යන්නේ නැහැ. ඒත් එම රජය පැවති කාලයේ සිට යම් යම් මතවාද තිබෙනවා. විමල් වීරවංශ එය ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කළා. මම එතුමට පෞද්ගලිකව එකී චෝදනා ගැන කරුණු පැහැදිලි කළා. මම හිතන්නේ එම කාලය තුළ පැවති දේවල් සම්බන්ධව එතුමා හා මා යම් පිළිගත හැකි තැනකට ආවා. මැතිවරණය සම්බන්ධව විමල් ප‍්‍රකාශ කළේ මා විදේශගතව සිටිය දී යි. එතැන දී මට කියන්න තිබෙන්නේ මා මුලින්ම කී කාරණාවයි. මා වගකීම භාර ගත්තාට පරාජයට හේතුව මා නොවෙයි. මේ මොනවා තිබුණත් මගේ තීන්දුව, මට තනතුරු අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම මේ වෙලාවේ ග‍්‍රාමීය ජනතාවගේ එකම බලාපොරොත්තුව පළාත් පාලන ආයතන සඳහා ඔවුන්ගේ නියෝජිතයන් පත්කර ගැනීමයි. එක ගමකට එක වැඩක්, ගම නැගුම, මඟ නැගුම, දිවි නැගුම ආදිය තුළ මා සමඟ ඉතා කිට්ටුවෙන් වැඩ කළ පිරිස වන ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන්, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් නගරාධිපතිවරුන්, නාගරික මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් මේ අවස්ථාවේ දී ඕනෑම කැප කිරීමක් කරමින් වැඩ කිරීමට මා සූදානම්.

 

x එතකොට අලූත් පක්ෂයක් ගොඩනගන්න පිඹුරුපත් සකස් කරන්නේ මේ දේශපාලන ගමන සඳහාද?

පක්ෂයක් හදන්න තීන්දු වෙලා නැහැ. එහෙත් ග‍්‍රාමීය මට්ටමින් තිබෙන පරිසරය තුළ ක‍්‍රමයෙන් එම තීන්දුවට එනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අලූතින් පක්ෂයක් හදන්නට දෙයක් නැහැ. දැන් ගමේ එය හැදිලා ඉවරයි. ඇත්තම කියනවා නම් ග‍්‍රාමීය මට්ටමින් විකල්ප කණ්ඩායමක් හැදිලා ඉවරයි. එහි ශ‍්‍රීලනිපයේ විශාල පිරිසක් ඉන්නවා. යූඑන්පීයේ අය ඉන්නවා. ජවිපෙ, ජාතික හෙළ උරුමයේ හිටපු අය වගේම කි‍්‍රයාකාරී දේශපාලනය නොකළ පිරිසකුත් මෙයට එකතු වෙලා ඉන්නවා. එය දැන් කාටවත් වළක්වන්නට බැහැ. අවශ්‍ය වී ඇත්තේ එයට යම් ආකාරයකට හැඩ වැඩ දාලා මාකට් කළ හැකි ආකාරයට සකස් කිරීමයි. මෙය රට තුළ එකට එකතු වී නොමැති වුණාට ගම් තුළ එකට එකතු වී හමාරයි. දැන් දේශපාලන ධාරාව හැදිලා ඉවරයි. එයට නිල සංකේතය, පාට, නම හා නායකයා කවුද කියන දේ පමණයි අඩු වී තිබෙන්නෙ. ඒ අය නායකත්වය තිබෙන තැනට යමින් සිටිනවා. එහි දී ඔවුන් සොයමින් ඉන්නේ රටට අවශ්‍ය නායකත්වයයි. ජාතික වශයෙන් පිළිගත් එක නායකයකු ඉන්නට ඕනෑ, සංවිධාන ව්‍යුහයක් ඕනෑ. ඔවුන්ට අඩු මේ දේවල් විතරයි.

 

x දැනටමත් ඔබලාගේ නමින් ලියාපදිංචි කළ දේශපාලන පක්ෂයක් තිබෙනවාද?

ඔව්. අපි සාමාන්‍යයෙන් ප‍්‍රධාන දේශපාලන ව්‍යුහයේ ජාතික මට්ටමෙන් සිටින අය විදියට අපි අතිරේක දේශපාලන පක්ෂයක් හෝ දෙකක් සමඟ සම්බන්ධකම් තබාගෙන පක්ෂයේ නම, ලකුණ, ලියාපදිංචි කරගෙනයි ඉන්නේ. මෙවර බලවේගය අපේ අවශ්‍යතාවක් නොවේ. ජනතාවගේ අවශ්‍යතාවක්. අපි අපට පැවරෙන වගකීම ඉෂ්ට කරන්නට සූදානම්ව සිටින පිරිසක්. ඒ නිසා අනිත් කට්ටිය කලබල විය යුතු නෑ. මා පළාත් පාලන මැතිවරණයේ දී මේ කාර්ය භාරය ඉෂ්ට කරන්නේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් සහ ගමේ මිනිහා ගමේ නියෝජිතයා වෙනුවෙන්.

 

x ඔබ ඔය කියන්නේ නිහඬව සිටි කාලය අවසන්ය කියලද?

මට පැවරුණොත් මම වගකීම ඉෂ්ට කරනවා.

 

x පැවරුණොත්ද? නැතිනම් පැවරිලාද?

මම වැඬේට සූදානම්.

 

x ඒ කියන්නේ බැසිල්ගේ නව දේශපාලන සම්ප‍්‍රාප්තියද?

ඔව්. ඒක එහෙම වෙන්න පුළුවන්.

 

x එය සිදු වන්නේ නෙළුම් පොහොට්ටුව සලකුණ වූ පක්ෂයකින් යැයි අප කිව්වොත් එය නිවැරැදියිද?

නෙළුම් පොහොට්ටුවත් ඉතා හොඳ ලකුණක්. පක්ෂය ලියාපදිංචි වීමේ දී අවශ්‍ය වුවහොත් නෙළුම් පොහොට්ටුව ලකුණ දැනට හිමි දේශපාලන පක්ෂය එය ලබා දීමට කැමැති වේවි කියන විශ්වාසයක් තිබෙනවා. දැනට එම ලකුණ හිමි වී තිබෙන්නේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ විමල් ගීගනගේටයි. ඔහු අප හා ඉතාම හිතවත් අයෙක්. එම පක්ෂයේ පිරිසක් අප හා කුළුපගව කටයුතු කරනවා. මෙවැනි ප‍්‍රවාහයකට ඔවුන්ගේ දායකත්වය ලබා ගන්නට පුළුවන්.

සාකච්ඡාව – ප‍්‍රභාත් වීරරත්න
ඡායාරූප – අජිත් සෙනෙවිරත්න
www.sathhada.lk