කබලෙන් ලිපට වැටුනු සුළු ධීවරයා

0
50

DSC_0305ලංකාවේ   ධීවර  කර්මාන්තය  කෙරෙන  ප්‍රදේශ  අතර මීගමුව ප්‍රමුඛ  ස්ථානයක්  දරණ  නගරයකි.  අප  රටේ  අර්බුද  සහ  ගැටළු  වලට  මුහුණදෙන   රැකියා   අතර  ධීවර  කර්මාන්තයද  එකක්  බවට  පත්වී  ඇත.   මේ    අතර  සම්ප්‍රදායික  ධීවරයා  අද වනවිට  මුහුණදී  ඇත්තේ  ඉතා  ශෝචනීය  තත්වයකටය.  මේ  අනුව  තෙප්පන්  රස්සාව  ඇතුළු  රුවල්  ඹරු  මගින්  කරන  ‘ඉස්සන්  රස්සාව ‘,  ‘කට්ටුදැල්  රස්සාව’  ‘මස්අතු  රස්සාව’  වැනි  අංශ  කිහිපයක   රැකියාවල් අර්බුදයට  ලක්වී  ඇති  අතර  මෙම  රැකියාවන්වල  නියැලී  සිටින  සුළු  ධීවර  ජනයා  අපහසුතාවයට සහ  කලකිරීමට  පත්වී  සිටිති.  මුහුදු  රැකියාව  ආරම්භක  අවධීයේදී  තෙප්පම    ධීවරයාගේ  ජීවනෝපාය   සකසා  ගත්  ප්‍රධාන  ආම්පන්නය  විය. නමුත්  අද  තෙප්පමෙන්   මාළු  අල්ලන ධීවරයා   පවසා  සිටින්නේ  ඔවුන්ගේ  ප්‍රශ්ණ  සඳහා  කිසිවෙකු  මැදිහත්  නොවන  බවයි.  අප  මේ පිළිබඳව  තොරතුරු  විමසා  බැලීම  සඳහා  වැල්ලවීදිය  තෙප්පම්  සමීති  රැස්වීම  පැවැත්වූ  අවස්ථාවේ  ඔවුන්  සමඟ  කෙටි අදහස්  හුවමාරුවක  යෙදුනෙමු.  තමන්  මුහුණ  දෙන  ප්‍රශ්ණ  සමිති  සාමාජිකයින්  ඉතා  උද්වේගකාරීව  ඉදිරිපත්  කළේ  මෙසේය.

”අපි  රස්සාව  කරන්නෙ  මාස 6යි.  ඒකෙනුත්  හරියට  මාළු  අහුවෙන්නෙ  මාස 3 යි.  වාරකන් කාලෙදි  අපිට  රස්සාව  කරන්න බෑ.  මේක  අපේ  සීයල  තාත්තල  කාලෙ ඉඳල  කරන  රස්සාව. හැතැප්ම  එකහමාරක  සීමාවෙ  විතරයි  අපි  රස්සාව  කරන්නෙ. එක  පාරට  බෝට්ටු  100ක්  200ක්  ඇවිල්ල  මේ  සීමාවෙ  මාළු  අල්ලන  කොට  අපිට   මාළු  අල්ලන්න  බෑ.  මොන  මාළුව  ආවත්  ඒසේරම  මාළු  ඒගොල්ලො  අල්ලගෙන  යනව.  ඒබෝට්ටුවල   දැල්පීස්  50ක්  විතර ගෙනියනව.   වව්වාලදැල්,  හාල්මැස්සන්දැල්,  තාන්ඩ දැල්,  පෝඩු දැල් ,  වැනි  දැල්  දානව. අපි  දාන්නෙ  දැල්පීස්  10ක්  12ක් .   අපි  ගෙනියන්නෙ  සූඩදැල් ,  කුම්බලාදැල්  විතරයි.   රෑට  මුහුදෙදි  කරන්නෙ  යුද්ධයක්.  ටෝච්  ගැහුවත්  ඒ ගොල්ලො  හප්පගෙන  යනව.”

මේ  ප්‍රශ්ණෙ  ගැන  බලධාරීන්ට  කිව්වෙ  නැද්ද?

අපි  මේ ගැන  ධීවර  ඇමතිට  කිව්ව.  ලියුම්  ලිව්ව. ධීවර  කාර්්‍යාෙල මහත්තුරුන්ට  කිව්ව.  ලියුම්වලින් දැනුම්  දුන්න. ඒ  තියා  අපිව  ලියාපදිංචි  කරලත්  නෑ.මාදැල්  ,කට්ටුදැල්  ලියාපදිංචි  කරල .  නිලධාරි  මහත්තුරු  අපිට  ආරක්ෂාවක්  දෙන්න  සූදානම්  නෑ. 

මේ  සමීතියේ  සභාපති  ප්‍රදීප්  මහතා  පවසන්නේ  මෙවන්  අදහසක්.

”දැන්  මුහුද හොඳටම  අපිරිසිදු  වෙලා.  කරවල  කරන  මුදලාලිල  දවසකට  මාළු  කටු  වැනි  අපද්‍රව්‍ය  කිලෝ  10000ක්  15000ක්  විතර ගොඩ මුහුදට  දානව. මේව  උරපිටින්  ගෙනත්  දැම්මහම  මාළු  බෝවීම  අඩුවෙනව. මුහුදු  පැලෑටි  විනාශ වෙනව. අපේ  දැල්  මේ  මාළු  කටුවල  පැටලෙනව. ඒ  වගේම  වේක්කයො  කියන  මාළු  ජාතිය  බෝවෙල  අනික්  මාළු  කන  නිසා  මාළු  බෝවීමට  ඒක  බලපානව.

සුළු ධීවරයින්  විදිහට  අපි  ගන්න  සුළු  මුදලෙන්  ජීවත්වෙන්න  අමාරු නිසා  බැංකුවලින්  ණය ගන්නව.  දරුවන්ගෙ  අධ්‍යාපන  වැඩ,  ගෙදරදොරේ වැඩ වලට  ගත්තු  ණය  ගෙවාගන්න  බැරුව  ඉන්නකොට  මේ  වගේ  දේවල්  සිද්ධ  වෙනව  නම්  අපි  කරන්නෙ  මොකද්ද?  මේ  ප්‍රශ්ණ  නිසා  අපි  හැමදාම  ණය  කාරයො  වෙල  ඉන්නෙ.

ඒනිසා  අපි  ඉල්ලා  හිටින්නෙ  වගකිවයුතු  අයගෙන්  මේ  බෝට්ටු  වලින්  රස්සාව  කරන  අයට  හැතැප්ම  එකහමාරෙන්  එහා  සීමාවෙ  රස්සාව  කරන  ලෙසට  නියම  කරන්න  කියලයි.  ඒ  අය  වාරකන්  කාලෙදි  කොහේ  රස්සාව  කළත්  අපිට  කමක්  නෑ.  ඒ  වගේම  බෝට්ටු  රස්සාවෙදි  හැමදාම  රස්සාව  තියෙනව.  ඉතින්  අපේ  අයිතිය  අපිට  ලබාදෙන්න  කියලයි  අපි  ඉල්ලන්නෙ.”

අද  මේ  තෙප්පන්  ධීවර  සාමාජිකයින්  තමන්ගේ  රැස්වීම  පවා  පවත්වන්නේ  දේවස්ථානය  පිටුපස  බිම  ඉඳගෙනයි.  රැස්වීම  පවත්වන  අතරතුර  වැස්සක්  ආ  බැවින්  දෙවස්ථානය  අසල  ඇති  වෙනත්  ගොඩනැගිල්ලක්  යට  තමන්ගේ  රැස්වීම  නැවත  ආරම්භකළා.  නමුත්  සීත  කාමරවල  ,  සැප  පුටුවල  ඉඳගෙන  සැප  ජීවිත  ගෙවන  නිලධාරි  මහත්තුරුන්ට  ,  දේශපාලකයින්ට  එක් දෙයක්  සිහි  කැඳවිය  යුතුයි. එනම්  මේ  අසරණ භාවයට  පත්වී  සිටින්නේ  මුහුදේ  මාළු  අල්ලාදී  තම  ජීවිතය  මුහුදට  දියකරමින්  සමාජයට  විශාල  සේවාවක්  කළ  පරම්පරාවක  දූපුතුන්  බවයි. ඒ  නිසා  අප  ඉල්ලා  සිටින්නේ   මොවුන්ට  කුඩම්මාගේ  සැළකිල්ලෙන්  කටයුතු  නොකර  ඔවුන්ගේ  ප්‍රශ්ණ  විසඳා  ගැනීමට  සහාය  වන ලෙසයි.


සැම්සන් ඥානසිරි