ලබාදුන්නොත්, හිටපු කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුව කැඳවනු ඇතැයි වාර්තා වේ.
මෙම තත්වය පිළිබඳව හිටපු කතානායකවරයාගේ හිතවතුන් කළ විමසීම්වලදී පිළිතුරු දෙමින් ඔහු ඒ බව ප්‍රකාශ කර ඇතැයි ‘අනිද්දා’ පුවත්පතේ වෙබ් අඩවිය (anidda.lk) වාර්තා කර ඇත.
එම පුවත් සටහනේ තවදුරටත් මෙසේද සඳහන් වේ.
”හිටපු කතානායකවරයා ප්‍රකාශ කර ඇත්තේ උක්ත නීති තර්කය පාවිච්චි කරමින්, තමන් මේ මොහොතේ පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු නොවන බවය. එසේ වුවහොත් ව්‍යවස්ථාදායකය හා විධායකය අතර අනවශ්‍ය ගැටුමක් ඇතිවනු ඇති බව ඔහු කියා තිබේ.
කෙසේ වෙතත්, එම නීති තර්කය මත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීමක් සිදුකළොත් ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාව ඇති බව ඔහු කියා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනක් ගෙවී යෑමට පෙර දිනයක් නැවත පාර්ලිමේන්තුව කැඳවන දිනය ලෙස ජනාධිපතිවරයා නියම කළ යුතුය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවාහැර ඇති අතර, වසංගත තත්වය නිසා මාස තුනක් ගෙවී යෑමට පෙර නව පාර්ලිමේන්තුව රැස් කළ නොහැකිය. එම නිසා මීට පෙර පැවති පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවට නීති තර්කයක් ඉදිරිපත් වී තිබේ.
මීට පෙර 2018 නොවැම්බර් මාසයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථා විරෝධීව ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ මොහොතේද එම තීන්දුව ව්‍යවස්ථා විරෝධී බවත්, කතානායකවරයාට පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවත් නීති තර්ක ඉදිරිපත් විය. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරන තෙක් පාර්ලිමේන්තුව රැස් නොකරන බව ඒ මොහොතේ ද කරු ජයසූරිය කියා තිබුණි.
(උපුටා ගැනීම අවසන්)
”ඡන්දය පවත්වන්න බැරි නම් පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි” -ජවිපෙ කියයි
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසන්නේ, ඡන්දය පැවැත්විය නොහැකි හදිසි තත්ත්වයක් ඇත්නම් ඒ තුළ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවිය හැකි බවයි.
ජනාධිපතිවරයාට අවශ්‍ය නම් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කළ හැකි බවත් ඔහු පැවසීය.
පසුව ඡන්දයක් පැවැත්විය හැකි තත්ත්වයක් පැමිණි පසු නැවත මැතිවරණයකට යා හැකි බවත් කියා සිටි ජවිපෙ ලේකම්වරයා, ඒ නිසාවෙන් ජනාධිපතිවරයා නැති අර්බුද මවන්නේ නැතිව ව්‍යවස්ථාවට අනුව වැඩ කළ යුතු බවත් කියා සිටියේය.
ව්‍යවස්ථාව පිළිබඳ දැනුම අඩු නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ පිළිබඳව විමසිය යුතු බවත් පැවසු ටිල්වින් සිල්වා, මේ මොහොතේ ව්‍යවස්ථා අර්බුද “බිල්ලෝ“ මවන්නේ නැතිව කළ යුතුව ඇත්තේ ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම පැවසීය.
‘අපි ආණ්ඩුවට සහාය දෙනවා පාර්ලිමේන්තුව රැස්කරන්න’ – එජාප මහලේකම්
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසන්නේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ගතවීමට පෙර නැවත කැඳවීමට නොහැකි නිසා, ව්‍යවස්ථානුකූලව පෙර පැවති පාර්ලිමේන්තුවට රැස්වීමේ හැකියාවක් තිබෙන බවත්, විපක්ෂයේ පක්ෂ වුණත් මේ මොහොතේ තම කණ්ඩායම පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ කොවිඞ්-19 මර්දනය ව්‍යාපාරයට සහයෝගය දක්වන බවත් ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ මොහොතේ ජනාධිපතිවරයා රැස් කළේ නැතත් පාර්ලිමේන්තුවට රැස්වීමේ හැකියාව පවතින බවද ඔහු පෙන්වාදුන්නේය. පවතින තත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යෑමේ හැකියාවක් පවතින බවද ඔහු කීය.
කෙසේ වෙතත් මේ මොහොතේ ගැටුම් සහ ව්‍යවස්ථා අර්බුද ඇති කරගැනීම සුදුසු නොවන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවීම යහපත් බවත් ඔහු කීය. සියලූ පාර්ශ්ව පරිණත ලෙස කටයුතු කිරීමේ වැදගත්කම ඔහු පෙන්වාදුන්නේය.
මෙම කරුණු ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව අමාරුවේ දැමීමේ හෝ බිත්තියට හේත්තු කිරීමේ වුවමනාවෙන් නොවන බවත්, ආණ්ඩුව දැනට කරගෙන යන කොවිඞ්-19 වසංගතය මර්දනය කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව, ප්‍රජාතන්ත්‍රවාදීව සහ ව්‍යවස්ථානුකූලව කරගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ රැස්කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය.
විපක්ෂය ලෙස කොවිඞ්-19 මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ගෙන එන යෝජනාවලට සහයෝගය දැක්විය හැකි බව ඔහු කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත්, හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීම, මෙම තත්වයට ගැළපෙන ලෙස විශේෂ අණපනත් සම්මත කිරීම ඇතුළු කටයුතු සියල්ල පාර්ලිමේන්තුව සිදුකළ යුතු බව ඔහු පෙන්වාදුන්නේය.
විශේෂයෙන්ම ආණ්ඩුවට අප්‍රේල් මාසයෙන් පසු මුදල් වියදම් කිරීම සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීම අත්‍යවශ්‍ය බව ඔහු කීය.
”ආණ්ඩුවට අප්‍රේල් මාසයෙන් පසු මුදල් වියදම් කිරීම සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගැනීම අත්‍යවශ්‍යයි”
අනෙක් අතට පාර්ලිමේන්තුව රැස්කිරීම යනු දිනපතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනෙකු එකතු වී කොවිඞ්-19 වසංගය බෝ කිරීමක් නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ වෙනුවට අත්‍යවශ්‍ය පනත් හා යෝජනා සම්මත කරගැනීමට අත්‍යවශ්‍ය දිනවල පමණක් පාර්ලිමේන්තුව රැස්කිරීමත්, අවශ්‍ය මන්ත්‍රීවරුන් පමණක් රැස්වීමත්, අන්තර්ජාලය ඇතුළු තාක්ෂණික ක්‍රමවලින් එක්රැස්වන පිරිස අඩු කිරීමත් සිදුකළ හැකි බව ඔහු කීය.
”ජනනතාවට සහන දෙන්න – අපි කොන්දේසි විරහිතව සහය දෙන්නම්” – සජිත් ආණ්ඩුවට කියයි
පාර්ලිමේන්තු රැස්වීම් සඳහා මන්ත්‍රීවරුන්ට වැටුප්, වරප්‍රසාද ,වාහන, කෑම බීම අවශ්‍ය නැති බවත් මාතෘභූමිය වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම සහ වගකීම ස්වෙච්ඡාවෙන් ම ඉෂ්ඨ කිරීමට තම පක්ෂය සුදානම් බවත් හිටපු විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද පවසයි.
එම නිසා වර්ථමාන රජය වහාම පාර්ලිමේන්තුව කැඳවන්නට කටයුතු කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටී.
කොරෝනා ව්‍යසනය හමුවේ රටේ ජනතාව ඉතාමත්ම පීඩාකාරී ජන ජීවිතයක් ගත කරන බවත් රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කරදීම බවත් සජිත් ප්‍රේමදාස පවසයි.
මේ නිසා වැඩි වැඩියෙන් රටේ ජනතාවට සහන ලබා දීම අවශ්‍ය බැවින් ඒ සඳහා විපක්ෂය ඕනෑම අවස්ථාවක සුදානමින් සිටින බව සමගි ජන බලවේගයේ නායකයා කියා සිටියි.
පාර්ලිමේන්තුවේ අනුමැතියක් තුළ රටේ ජනතාවට ලබා දෙන්නට තිබෙන ඉතිරි සහන සියල්ලන් සඳහා කොන්දේසි විරහිතව මුදල් අනුමැතිය සඳහා සහයෝගය දක්වන්න විපක්ෂය සුදානම් බව ඔහු පවසයි.
සමගි ජන බලවේගයට පෞද්ගලික න්‍යාය පත්‍ර අවශ්‍ය නැති බවත් අවශ්‍ය වන්නේ ජනතාවට සහන දී ආර්ථිකය ගොඩ නගමින් කෙසේ හෝ රටට සෞභාග්‍ය උදා කිරීම බව ද ඔහු කියා සිටියි.
මේ සඳහා සමගි ජන බලවේගයත් සමග සිටින 80 කට වැඩි මහජන නියෝජිතයින් වැටුප්, වරදාන වරප්‍රසාද කිසිවක් බලා පොරොත්තු නොවී ඒ සියල්ල අතහැර රටේ ජනතාවට ස්වෙච්ඡාවෙන් සහන ලබා දීම සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දීමට සුදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසයි.
(උපුටා ගැනීම් : anidda.lk)