කලපු සංවර්ධන ව්‍යාපෘති කා සඳහාද?

0
549

 

මීගමුවේ   ධීවරයා   සැබෑ  ධීවරයෙකු  බවට  පත්කරමින්  ඔහු  ජීවත්කළ මීගමු   කලපුව  අද  විවිධ   හැලහැප්පීම්  වලට  ලක්වන  ස්ථානයක්  බවට  පත්වී  ඇත.  මිනිස්  ක්‍රියාකාරකම්  මත  විනාශවෙමින්  පවතින  කලපුව   ගැන  විවිධ  මත  ඉදිරිපත්වේ.  රජය  විසින් ද  කලපුව  සංවර්ධනය  කිරීමේ  අවශ්‍යතාව  මතුකරමින්   ව්‍යාපෘතියක්  ඉදිරිපත්  කර  එය  ක්‍රියාත්මක  කරමින්  සිටී.    බැකෝ  යන්ත්‍ර  යොදාගනිමින්   විශාල ලෙස  කලපුව  හෑරීමේ   වැඩපිළිවෙලක්  දියත් වන්නේ  මේ  අනුවය.    බහුතර  ධීවර  ජනතාව   මේ  ගැන  කිසිත්  නොදනී.   ‍ඒනිසා  මේ  පිළිබඳව  දන්නා  කලපුවට  ආදරයක්  ඇති  පිරිස  මේ  ගැන  විවිධ  අදහස්  දක්වන  නමුත්  එකී  අදහස්   සමාජයට  විවෘර්ත  නොවී  හුදෙකලාව  පවතින  බව  කිවහැක.  මේ  ගැන   ධීවර   ජන  සමාජයේ  අත්දැකීම්  බහුල  නායකයින්ගෙන්   මතුවන   ප්‍රබල  විරෝධතාවය   වැදගත්වන  නමුත්   රජය  විසින්  එය  නොසළකා   කටයුතු  කරන  බව  පෙනේ.  අප  එවැනි  නායකයින්  දෙදෙනෙකු   හමුවූයේ  මේ  පිළිබඳව  ඔවුන්  දරන  අදහස   මේ  සමාජය  තුළ  පැළකිරීමේ  අරමුණ  පෙරදැරි  කරගෙනය.namal mankuliya 2

මීගමුව  නගරය  තුළ  ධීවර  ජන සමාජයේ  අත්දැකීම්  බහුල  අයෙකු  ලෙස  අප  හඳුනාගත්   නාමල්  ප්‍රනාන්දු   සමඟ  කෙටි  කථාබහක  යෙදුනේ   ඉහතකී  අරමුණට  අනුවය.  කලපුවේ   අතිවිශාල  පස්  ප්‍රමාණයක්  ගොඩ  දැමීමෙන්   සිදුවන්නේ  කුමක්දැයි  අප  ඔහුගෙන්   විමසුවෙමු. එහිදී   නාමල්  පළකළේ  මෙවැනි  අදහසකි.

එදා  පැදගිය  යාත්‍රාව  වෙනුවට  අද  තියෙන්නෙ  යාන්ත්‍රික  කරණය  වූ  යාත්‍රා .  මේවා  බිම  නොවදින  සේ  හැසිරවීමට  නම්  යම්  ගැඹුරක්  අවශ්‍යයි.   ධීවර  කටයුතු  තුළ  යාත්‍රාව  පාවීමේ  පහසුව  සඳහා  මෙම  හෑරීම්  සිදුකළ  යුතුය  යන්න  මතුපිටින්  පෙනෙන   අවශ්‍යතාවයයි.  නමුත්  විද්‍යාත්මකවත්,  සොබාදහමට  අනුවත් කලපුව  තුළ  මෙම  ගැඹුරේ  සීමාවක්  තිබිය යුතුයි. මෙහිදී  ඇලමං  සහ  නැලලි  අතර  වෙනසක්  තියෙනවා.නැලලි  කියන්නෙ  මිනිහෙකුට  බැහැගෙන  ඉන්න  පුළුවන්  තරමේ   අඩු  ජල  ප්‍රමාණයක්  සහිත  තැනක්. (  බාදිය  අවස්ථාවල  ජලය  හි‍ෙඳෙන  තැන)    කලපුවේ    වැලි  සහ  මඩ  යන  ස්ථර  දෙක   ජලජ  ජීවීන්  සම්බන්ධයෙන්  ඉතා  වැදගත්.   මේ  ස්ථාන  දෙකේම  මත්ස්‍යයින්  සඳහා  අවශ්‍ය  මුහුදු  ජීවීන් ,  මුහුදු  පැලෑටි,  මුහුදු  පනුවන්,  ඌරි  වර්ග  ,  ගොළුබෙල්ලන්  වර්ග,  දියබරි   ආදී  ජීවීන්ටත්,  කොරලි  වැනි  මාළුන්ට  බිත්තර  දැමීම  සඳහාත්   මොලොක්  පසක්  අවශ්‍යයි.  මෙකී  දේවල්  සම්මිශ්‍රණය  වීමෙන්  තමයි  කළපුව  පවතින්නෙ.   අපි  කියන්නෙ   ඇල මං  සුද්ධ කිරීමයි .   මෙවැනි  විශාල  වශයෙන්  කෙරෙන  හෑරීමයි  අතර  වෙනසක්  තියෙනවා.   ඒනිසා  කලපුව  හාරන්නෙ   ධීවරයාගේ   අවශ්‍යතාව  අනුව  නෙවෙයි.

එදා  කලපුවේ  ජලචක්‍රය  නිසිලෙස  ක්‍රියාත්මක  වීමත්  ඒ   අනුව  නිර්මාණය වූ  ජල රැඳවුම්  ප්‍රදේශ,  ජලපෝෂක  ප්‍රදේශ  ආදිය  නිසා  ආරක්ෂිත  පරිසරයක්  නිර්මාණය  වුනා. අද  තත්වය  වෙනස්වෙල  තියෙන්නෙ.  කලපුවට  මුදා හැරෙන  විශාල  අපද්‍රව්‍ය  ප්‍රමාණය  ඒකට   බලපාන   ප්‍රධාන  හේතුවක්. මහා පරිමාන  කරවල  වාඩියකින්  දිනකට  ලුණු  ගෝනි  20ක  වගේ  ප්‍රමාණයකුත්,  කුඩා  ප්‍රමාණයේ  කරවල  වාඩියකින්   ල්‍රණුගෝනි  5ක  ප්‍රමාණයකුත්  කලපුවට  මුදාහරිනවා.  එක  ලුණු  ගෝනියක  ලුණු  කිලෝ  50ක්  තියෙනවා.  කොතරම්  ප්‍රමාණයක  විනාශයක්  කරවලවාඩිවල  දිනක  ක්‍රියාකාරීත්වය  මත  සිදුවෙනවාද  යන්න   හිතාගන්න පුළුවන්  නේද?

මේ  ගැන  අදහස්  දක්වන  පිටිපන  එක්සත්  ධීවර  සංවිධානයේ  සභාපති  අරුණ රොෂාන්ත  මහතා .

මීගමු  කලපුවේ  සංවර්ධනය  සඳහා  ක්‍රියාත්මකවූ  රජයේ  ව්‍යාපෘතියේ  පළමු  අදියරේදීම   කලපුව  විනාශකර  අවසන්.  ඒකෙ  ප්‍රතිඵල  විදිහට  අද  ධීවරයෙකුට  විසිදැලක්  විසිකරන්නබෑ,  එදා  මිනිස්සු  පන්දම්පෑව,  මස්අතු ගනනාවක්  තිබුන .  දැන්  ඒ  කිසිදෙයක්  කරන්න  බැරිවිදිහට  විනශවෙල  තියෙන්නෙ.  මේක  නැවත  හදන්න බෑ.  මේ  ව්‍යාපෘති  හරහා  හාරන්නෙ    සාරවත්  පෝෂක  ප්‍රදේශත්  සම්බන්ධ කරගෙන.  ට්‍රිපර්  3000ක  විතර  පස්  ගෙනගිය බව  තමයි  ආරංචිය. ඒව  සියල්ල  සල්ලි හම්බකිරීමේ වුවමනාව   මත  සිද්ධවෙන්නෙ  දේවල්.  මේ  ව්‍යාපෘතියෙ  දෙවන  අදියරත්  ධීවර  ඇමති  ඇවිල්ල  පටන්ගත්ත.  ඒගොල්ල  තමන්ගෙ  මතේට  මේ  සියල්ල  කරල  ඒගොල්ලොම  ඒගැන  කථාකරනවා. පසුගිය  අදියර  ගැන  පසුවිපරමක්  නෑ.  එදා  උත්සවේදි  ධීවරයින්ට  කථාකරන්න  දුන්නෙ නෑ.     කථා පැවැත්තවෙ  ව්‍යාපාරිකයො,  ධීවර ඇමති  සහ අනෙක් අයයි.  මේ  උත්සවේ  සංවිධානය  කරල  තිබුනෙ ග්‍රාමීය  ධීවර  සංවිධනෙ  ගම්පහ  දිස්ත්‍රික්කයේ  සභාපති. එයා  ව්‍යාපාරිකයෙක්.   එයා ධීවර  ව්‍යාපාරය  ගැන  මොනවද  දන්නෙ?  කොහොමද  ධීවරයින්ව  නියෝජනය  කරන්නෙ.  එයාදන්නෙ  ව්‍යාපාර  ගැන  පමණයි. සභාපති  වෙන්න  ඕනෙ  ධීවරයෙක්නෙ.

අපට  ආරංචියි  නැලැල්ල  ප්‍රදේශයත් අඩි  5ක්   ගැඹුරට  හාරන්න  යනවයි  කියල.  නැලැල්ල  තමයි  ජෛව  විවිධත්වයේ  ආරම්භය.  මාළු බෝවීමේදී   මෙම  නැලැල්ලේ  තිබෙන  පාසි  මත  මාළු  බිත්තර  දානවා. මෙම  ස්ථානවල  විවිධ කුරුළු  වර්ග  ගැවසෙනවා.මේක  මාළු  නිෂ්පාදනාගාරයක්.    මෙවැනි තැන්  හාරන්න  කිව්වෙ  කව්ද?  කියනඑකයි  ප්‍රශ්ණෙ.  අපි  කියන්නෙ  මේව  සිද්ධවෙන්න  ඕනෙ  ධීවරයින්ට  ඕන  විදිහටයි.  මේක  අපි  හම්බකරගෙන  කන  තැන,  අපේදරුවන්  ජීවත්  කළේ මේ   කලපුවෙන්,  ඒ විතරක්  නෙවෙයි  ඔය  රජයේ  නිලධාරීන්  ජීවත්වෙන්නෙත්,  ඒ  අය  පඩි ගන්නෙත්  අපි  නිසා. කලපුවේ  හාරන්න ඕනෙ  තැන්  තියෙද්දි   එහෙම  ඕනෙ  නැති  තැන්  හාරනවා. ධීවරයින් තමන්ගේ  බෝට්ටු  රැගෙනයන    ඇලමාර්ග   ජරාව දාල  විනාශකරල  තියෙන්නෙ.  ඒනිසා  මේ  ඇලමං  සුද්ධ  කළයුතුයි.

 වෙරළ  සංරක්ෂණය,  මීපා  ආයතනය,  ධීවර කාර්්‍යාලය, ප්‍රාදේශීය  ලේකම්  කාර්්‍යාලය  ආදි  ආයතනවල  වගකීම  ගැන  අදහස  කොහොමද?

ඒ  සියළුම  ආයතනත්  සම්බන්ධ කරගත්තු  කමිටුවක්  තිබුනා.  නමුත්   වැඩක්  නෑ. ආණ්ඩුවේ  වැඩපිළිවෙල  ක්‍රියාත්මක  වෙන්නෙ  ධීවරයින්ට  හොරෙන්  ඒ  අයගේ  වුවමණාවට  නිසා  කිසිදෙයක්  හරි  විදිහට  වෙන්නෙ  නෑ.   මීගමුව  සංචාරක  කලාපයක්  කරන්න  යනව  කියල  තමයි  කියන්නෙ.  එහෙම  කරනව  නම්  කළයුතු  දේවල්  කොච්චර  තියෙනවද? අපි  කියන්නෙ  මීගමු  කලපුව  සංවර්ධනය  කරනවනම්  ඒක  පරිසරයත්  රැකගෙන  ධීවරයින්ගේ  මැදිහත්වීම  මත  කරන්න  කියලයි.