කසිප්පු විෂවී මිය ගණන 11 ක් දක්වා ඉහලට ! 15 ක් රෝහලේ !

0
227

ගම්පහ, පල්ලේවෙල පොලිස් වසමේ පොත්තෙවෙල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකුගෙන් සහ ඔහුගේ ගෝලයන් පිරිසකගෙන් නීතිවිරෝධී මත්පැන් මිලට ගෙන පානය කළ බව පැවසෙන පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව, තවත් පුද්ගලයන් 15 දෙනෙකු රෝගාතුරු වී රෝහල්ගත කර ඇතැයි පල්ලේවෙල පොලීසිය පවසයි.
පසුගිය 01 වැනිදා සිට ගතවූ දින කීපය තුළ බාඳුරාගොඩ, පොත්තේවෙල, ගස්පේ, උඩුල්ල, වත්තේමුල්ල, වඩිතියාවල, වලව්වත්ත සහ මීරිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් ලේ වමනය කිරීම ඇතුළු විවිධ රෝග සම්බන්ධයෙන් හදිස්සියේ රෝගාබාධිත වී මීරිගම, දිවුලපිටිය සහ වතුපිටිවල පිහිටි රෝහල් වෙත ඇතුළත් වී තිබිණි.

එසේම මෙසේ මැත්පැන් පානය කිරීමෙන් පසු රෝගාතුරව මියගිය ජයන්ත රූපසිංහ නමැතාගේ දේහය ඊයේ (04දා) සවස ඔහුගේ අවසන් කටයුතු සඳහා රැගෙන යන අතරතුර මීරිගම – මීගමුව මාර්ගයේ පොත්තෙවෙල ප්‍රදේශයේදී මාර්ගයේ මැද තබා මියගිය අයගේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීහු විරෝධතාවක නිරත වූහ.

මෙම පිරිස පැය භාගයක පමණ කාලයක් විරෝධතාවේ නිරත වූ අතර, නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාරිකයාට හා මෙම සිදුවීමේදී පොලීසියේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්ද ඔවුහු  දැඩි විරෝධය පළ කළහ. මෙම විරෝධය හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයද එම කාලය තුළදී බදා ඇති විය.

කෙසේ වෙතත් පල්ලෙවෙල හා කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් මේ අවස්ථාවේ එහි පැමිණ ජනතාව සන්සුන් කිරීමට පියවර ගත් අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් අසාධාරණයක් නොවන්නට සුදුසු පියවර ගන්නා බවද පොලිස් නිලධාරීහු සඳහන් කළහ.
මේ අතර මේ අකල් මරණ පිළිබදව අදහස් දක්වන ඇතැමුන් සදහන් කර සිටින්නේ කුලි රැකියාවල නිරත දුප්පත් අයවලුන් මෙසේ කසිප්පු පානයට ඇබ්බැහි වි සිටින්නේ අනෙකුත් මත්පැන් වල මිළ ගණන් දිගින් දිගටම පැවති රජයන් විසින් ඉහල දැමිම නිසාවෙන් බවය.
මේ පිළිබදව සිතා රජය දැන්වත් නිසි පියවරයන් ගැනිමට කටයුතු කළ යුතුව ඇතැයි ඔවුහු අවධාරණය කර සිටිති.

මුලාශ්‍රය -ada.lk