ක්‍රීඩා පිටියේ උරුමය නිසා පාරේ කරුමය අත්දකින දවටගහ වත්ත වැසියෝ..

0
224

දවටගහ වත්ත ග්‍රාමය අයත් වන්නේ කටාන ප්‍රාදේශීය සභාවටය. මෙම ගම තුළ ගමන් කිරීමට ඇති පා⁣ර හැඳින්වෙන්නේ සාන්ත ආනා මාවත යන නමින්ය. මේ වනවිට මෙම පාරේ ගමන් කරන පිරිස් දැඩි අපහසුතාවයකින් ගමන් කල යුතුය.ඒ බරපතල ලෙස පාර කඩතොළුවී වලවල් හෑරීම නිසාය. හමන සුළඟ සමඟ එන දුහුවිල්ල නිසා අවට නිවාස වලින් නැගෙන මැසිවිළිද නිතර ඇසේ .
මෙකී පාර මෙසේ අබලන්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් සඳහා බොරළු පස් ඇදීමය. එසේම මෙහි නිතර බැකෝ සහ වෙනත් බර වාහන ගමන් කරන්නේ මෙම පිට්ටනියට අවශ්‍ය කටයුතු සඳහාය.

පසුගිය වර්ෂා සහිත කාල වකවානුවේදී දවටගහ වත්ත ගමේ ඇති මෙම පාරෙහි ගමන් කළ යුත්තේ මඩ නාගෙනය.
මෙම ක්‍රීඩා පිට්ටනිය සැකසෙන්නේ සෙන්ට් නිකලස් පුද්ගලික විද්‍යාලය සඳහා බව ප්‍රදේශවාසීන් පවසති. එහි භාරකරුවන් වන පියතුමන්ලා නිතර පැමිණ ගොඩනැගෙන ක්‍රීඩාපිටියේ කටයුතු සොයා බලන ආකාරය දැකිය හැක.


පාසලකට ක්‍රීඩා පිට්ටනි අවශ්‍යය. එහි වරදක් නැත . එසේම ගමට පාරක්ද අවැසිය. එය පොදු අවශ්‍යතාවයක්ය. නමුත් ඉහතකී පාර අබලන්වී මේවනවිට විශාල කාලයක් ගතවී අැත. විවිධ අවස්ථාවලදී ප්‍රදේශවාසීන් පියතුමන්ලාට මේ ගැන නිතර සිහිපත් කළ බව ප්‍රදේශවාසීන් පවසයි. නැවත වතාවක් මේ ගැන ඊයේ(25) දිනයේදීද පියතුමන්ලා හමුවී පාරේ තත්වය ගැන දැනුවත් කර ඇති අතර මෙම සති දෙක ඇතුලත පාර යථා තත්වයට බවට පොරෙන්දුවී ඇත.


මෙම පොරොන්දුව දිගු කාලීනව ඉටුකෙරෙන එකක් වුවහොත් ඊලඟ වර්ෂාව සහිත තත්වය නිසා නැවත මෙහි ගමන් කළ යුත්තේ මඩ නාගෙනය. එබැවින් මෙම පොදු අවශ්‍යතාවය ගැන සළකා මෙම පාර සකස් කරදෙන්නැයි අප අවධාරණය කර කියා සිටිමු.
සැම්සන් ඥානසිරි