කාන්තාවන්ගේ ආරක්ෂාවට ක්‍රියානොකරපු අය අද කිඹුල් කඳුළු හෙලනවා!අගමැති

0
143
ranil-800px-26-10-19පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ ප්‍රාදේශීය දේශපාලන බලවතුන් කාන්තාවන් දූෂණය කරද්දී, කාන්තාවන්ට අඩම්තේට්ටම් කරද්දී කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක්නොගත් ආරක්‍ෂක ලේකම්වරයා අද කාන්තාවන් ආරක්‍ෂා කිරීම ගැන කිඹුල් කඳුළු හෙළමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වි ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (27) පැවැති කාන්තා සම්මේලනය අමතමිනි.එදා කාන්තාවන් සෙල්ලම් බඩු සේ සැලකූ පිරිසකගෙන් දැන් සුරක්‍ෂිත භාවයක් බලාපොරොත්තු විය හැක්කේ කෙලෙසදැයි අගමැතිවරයා එහිදී විමසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

“පසුගිය රාජපක්‍ෂ පාලන කාලය තුළ ප්‍රාදේශීය සභා සභාපතිවරු කාන්තාවන් දූෂණය කර සාද පැවැත්වීමට කටයුතු කළා. තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ කාන්තා දූෂණ සිද්ධිය රටේ සියලූ දෙනාටම දැනගන්න ලැබුණා. මෙවැනි කාන්තාවන් දූෂණය කිරීම් හා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක් වාර්තාවි  තිබුණත් ඒ කිසිවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැහැ.

එලෙස නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව පොලීසිය අයත් අමාත්‍යංශ ලේකම්වරයා පරීක්‍ෂණ පැවැත්වූයේ නැහැ. ඒ කාලය තුළ පොලිසිය අයත් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ක්‍රියා කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදෙනවා දැයි කියා මම මේ රටේ කාන්තාවන්ගෙන් විමසන්න කැමැතියි.

වසර 10 ක රාජපක්‍ෂ පාලන කාලය තුළ දේශපාලනඥයින් විසින් කාන්තාවන් දූෂණය කිරීම හා කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වන විට නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට අමාත්‍යවරයා හා ලේකම්වරයා එක්ව දූෂකයන්ව ආරක්‍ෂා කිරීමට ක්‍රියා කළා.

එම ක්‍රියාවලට සම්බන්ධ වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඔවුන් සිරගත කිරීමට ක්‍රියා කළේ නැහැ. දූෂකයන් තම තමන්ගේ දූෂණ සාද පවත්වමින් සැමරුවා. එවන් තත්ත්වයක් උදා කළ  හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා වශයෙන් පත් කරන ලෙස දැන් ඔවුන් ඉල්ලා සිටිනවා.

එලෙස හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපති බවට පත්වුවහොත් කාන්තාවට ආරක්‍ෂාවක් ලැබෙනවාද, කාන්තාවන්ට ඉදිරියට යෑමට හැකියාව ලැබෙනවාද? ජාතියෙන් සියයට 52 ක් නියෝජනය කරන කාන්තාවන්ට අරක්‍ෂාව සැපයීමට ක්‍රියා නොකළ පුද්ගලයෙකුගෙන් ජාතික ආරක්‍ෂාවක් ලබා ගත හැකිද?

කාන්තාවන් වෙනුවෙන් සාධනීය මෙහෙවරක් ඉටු කළේ අපියි. ඒ සාධනීය මෙහෙවර ඉදිරියට ගෙන යමින් කාන්තාවන්ට ආරක්‍ෂාව සහ නිසි ගෞරවය තවදුරටත් ලබා ගැනීම උදෙසා  සජිත් ප්‍රේමදාස මහතාට  සහයෝගය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.” යැයි ද වික්‍රමසිංහ පැවසීය.

ranil kantha 900px

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here