කුඩම්මාගේ සැළකිලි ලබන මීගමු රෝහලේ රුධිර කාන්දු කරන ඒකකය….

0
131

රුධිර කාන්දු කරන ඒකකය තුළින් සිදු කෙරෙන කාර්ය වන්නේ වරින් වර රුධිරය මාරු කිරීම තුළින් අදාල රෝගීන්ගේ ජීවිතය කෙටි කලක් හෝ පවත්වා ගැනීමය. තණ අග පිනි බිඳුවක් සේ කොයි මොහොතේ තම ජීවිතය අවසන් වේදැයි මෙම රෝගීන්ට කිව නොහැක. නමුත් ඔවුන්ට මේ සඳහා පුද්ගලික රෝහලකට ගොස් එම කාර්ය ඉටුකර ගැනීමට නම් විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. එබැවින් මීගමුව රෝහලේ එ් සඳහා රුධිර කාන්දු කරන ඒකකයක් ආරම්භ කිරීම වැදගත් කරුණක් ලෙස දැක්විය හැක.

මෙම ඒකකය භාරව කටයුතු කරන නිලධාරි මහත්මියක් ප්‍රකාශ කළේ ඊයේ ( 8 දා ) වැඩවර්ජනය සඳහා සේවය සඳහා අත්සන් නොකර නමුත් මෙම අසරණ රෝගීන්ගේ තත්ත්වය ගැන සිතා මෙහි සේවය සඳහා මැදිහත් වන බවය.

නමුත් මේ වනවිට නොසළකා හැරිය නොහැකි ගැටළු රැසකට මෙම ඒකකය මුහුණ දී සිටී.

මින් ප්‍රධාන එකක් ලෙස දක්වා සිටින්නේ එම රෝගීන් සඳහා වැඩි ඉල්ලුමක් පවතින නමුත් දැනට සේවය කරන කාර්ය මණ්ඩලය එම රෝගීන් ප්‍රමාණය අනුව ප්‍රමාණවත් නැති බවය.

දැනට වෛද්‍යවරු හතර දෙනෙක්, සාත්තු සේවිකාවන් අට දෙනෙක් සහ සුළු සේවකයින් තිදෙනක්ද සිටින නමුත් විශේෂයෙන් සුළු සේවක සංඛ්‍යාව සමස්ත රෝහලේම පවතින ප්‍රශ්ණයක්ද වන අතර මෙම ස්ථානයට එකී ප්‍රශ්ණය නිසා බරපතල ගැටළු වලට මුහුණ දෙන බව ප්‍රධාන නිලධාරි මහත්මිය පවසයි.

මෙහි අැත්තේ ඇඳන් 6 කි. අළුතින් එකතුවී ඇති කොරෝනා රෝගියෙකු සඳහා වෙන්කර ඇති ඇඳ සමග ඇත්තේ ඇඳන් 7 කි. එක් රෝගියෙකුගේ රුධිර මාරු කිරීමේ කාර්ය සඳහා පැය 4 පමණ කාලයක් අවශ්‍ය වේ. රෝහලේ සුළු සේවකයින්ගේ ප්‍රමාදය නිසා එය අනෙකුත් රෝගීන් ගෙන්ද කාලය අඩු කිරීමට එම ප්‍රමාදය හේතුවක් වියහැකි බවය.

මෙහි ඉඩ කඩ ප්‍රමාණවත් නැති නිසා කාර්ය මණ්ඩලයට ඇඳුම් මාරුකර ගැනීමේදී පවා අපහසුතාවයකට පත්වේ. ලැබෙන වටිනා උපකරණ තැන්පත් කර ගැනීම සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොවීම ( මෙම භාණ්ඩ නිසි තැනක තැන්පත් නොකළහොත් ඒවාට හානිවිය හැකිය )

කාර්ය මණ්ඩලයට වැසිකිළි පහසු කම් නැත . එබැවින් ඒ සඳහා පිටස්තර ස්ථාන වලට යාමට සිදුව ඇති අතර මේ නිසා ගැටළු රැසක අත්දැකීම් ඉදිරිපත්වී ඇත .

අප මෙම රුධිර කාන්දු කරන ඒකකය පිළිබඳව ආරම්භයේ සිටම තොරතුරු විමසමින් , එම කාර්ය මණ්ඩලයේ කටයුතු පිළිබඳවත්, ඔවුන් ඉදිරිපත් කරන ගැටළු පිළිබඳවත් අවධානයෙන් සිටියෙමු.

⁣මේ අනුව ඔවුන් මේ සඳහා දක්වන උනන්දුව , කැපවීම මීගමුව මහ රෝහලේ අනෙකුත් සේවක කාරකාදීන්ටද මහඟු ආදර්ශයක් බව කිවයුතුය . එසේම තම ජීවිතය ගැනද නොතකා මෙම කොරෝනා වසංගත තත්ත්වය තුළ පවා තම සේවය උපරිමයෙන් ඉටු කරන පිරිසකුත් , තම වගකීම නිසිලෙස නොසළකා කටයුතු කරන පිරිසකුත් අාදී වශයෙන් දෙපිරිසක් සිටින බව අප කව්රුත් දන්නා කරුණකි . මෙසේ සිටින පිරිසට අනුව සේවය ඉටු නොවීම සමස්ත රෝහල වෙත ගැටළු රැසක් මතුකරන බව රෝහලේ දියුණුව පතන නිලධාරීන් නිතර අප සමග පවසති . මෙවැනි තත්ත්වයක් තුළ තම කාර්ය භාරය නිසි වගකීමක් ඇතිව ඉටුකරන මෙම කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය පුද කරනවා සේම , මෙහි ගැටළු විසඳා ගැනීම සඳහා සහාය වන ලෙස ⁣අදාල වගකිවයුත්තන් හට අවධාරණය කර සිටින්නෙමු.

මෙහි විෂබීජ වලින් තොරව පිරිසිදුව තිබීම ප්‍රධාන අවශ්‍යතාවයක්ව තිබෙන නමුත් මෙසේ අදාල බඩු භාණ්ඩ ගොඩ ගසා තිබෙන්නේ ඉඩ කඩ ප්‍රමාණවත් නොවන බැවිනි . මේ නිසා පවතින වාතාශ්‍රය රෝගීන්ට අහිතකර වුවද මෙම වටිනා බඩු විනශකාරී ලෙස තැබීම ද කළ නොහැක .


මෙහි දැක්වෙන්නේ කොරෝනා රෝගියෙකුගේ අවශ්‍යතාවය සඳහා පරිත්‍යාගශීලියෙකු විසින් ගොඩනගා දෙනලද මෙම ඒකකයේ කොටසකි.
සැම්සන් ඥානසිරි