කුඩාපාඩුවේ විනෝදනීගේ මිනීමරුවන් තවමත් නිදැල්ලේ ?

0
57

1

කුඩාපාඩුවේ පදිංචි විනෝදනී සිල්වා  හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශීෂ්‍යාවකි. ඇයව
2008 ජුනි 07 වනදා දහවල් ඇගේ නිවසේ දී අභිරහස් ලෙස ගෙල වැලලා මරා දමා තිබුණි. මෙ‍ලෙස මරා දමා තිබුණේ  රෙද්දකින් දමන ලද ගැටයකිනි.
මෙම ගැටය ධීවරයින් විසින් භාවිතාවේදී යොදන ලද ගැටයක් බවද ප්‍රදේශවාසීන් තහවුරු කර තිබුණි.  එමෙන්ම දැරිය අපචාරයට ලක්ව තිඛෙන බවත්, වැඩිවියට පත්ව ඇත්තේ මිය යාමට මාස 6කට පමණ පෙර බවත්    වෛද්‍ය  වාර්තා  වැඩිදුරටත් තහවුරු කර තිබුණි.
මෙම මරණය සැකකටයුතු මරණයක් බවට ඇගේ සොහොයුරා සහ පවුලේ අය විසින් කරන ලද ප්‍රකාශ වලින් පසු මීගමුව පොලීසිය විසින් මෙම මරණයට සැක පිට ඇයගේ මාමා කෙනෙකු පළමුවෙන්ම  අත්අඩංගුවට  ගන්නා ලදී.
12 හැවිරිදි විනෝදනී ශිෂ්‍යාවගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මීගමුව රෝහලේ ඒවකට හිටපු  අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා විසින් 2008 ජුනි 10 වනදා පැවැත්වූ අතර ඔහුගේ නිගමන වලට අනුව මෙම දැරිය ගෙල සිරකර මරණයට පත්කිරීමෙන් පසුව එල්ලා ඇති බව ප්‍රකාශ විය.
විනෝදනී ගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණෙය්දී   ඇයගේ මව විසින් සාක්ෂි දෙන ලදී. ඇගේ සාක්ෂි මත අනාවරණය වූ කරුණු මත අතුරු වාර්තාවක් මගින් මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් සැක පිට තවත් පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ,හා බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් නියෝග කරන ලදී.
එලෙස සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර විනෝදනීගේ හොඳම යෙහෙළියගේ පියා, (කුමාර නමැත්තෙකු)   ඇගේ නිවස අසල පදිංචි අසල්වැසි පුද්ගලයන් දෙදෙනෙකු වේ.  මෙම මරණයට සම්බන්ධ ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තාව ලැඛෙන තුරු මෙම සැකකරුවන් හතර දෙනා තවදුරටත් බන්ධනාගාරගත කර තිබූ අතර පසුව ඔවුන්  නිදහස් කරන ලදී. නමුත් මෙම අපරාධයට වගකිවයුතු  පුද්ගලයන් තවමත් නීතිය ඉදිරියට පමුණුවා නොමැත.