කුණු දමන භාජනය වී ඇති මීගමුව කලපුව විනාශවෙමින් පවතී. වගකිවයුත්තෝ කව්ද?

0
449

IMG-20190711-WA0015

මීගමුව   කලපුව  ලංකාවේ  ඇති  සුන්දර  ස්ථානයක්  බව  අප  කව්රුත්  අවිවාදයෙන්  පිළිගන්නා  කාරණයකි. මෙහි  ඇති  කඩොලාන   සහ  වෙනත්   ශාඛ  ඇතුළු  විවිධ  වර්ගයේ    කුරුල්ලන්ද   සහිත  මෙම   දර්ශණීය  පරිසරය    ක්‍රමානුකූලව  වෙනස්වෙමින්  පවතින  බවට  නොයෙක් දෙනා  අදහස්  පළ  කරති.

මේ පිළිබඳව  අදහස්  දක්වන  පාරම්පරික  කට්ටුදැල්  සමීතියේ   සභාපති  සෙබස්තියන්  මහතා   දක්වන්නේ  මෙවැනි  අදහසකි.

අපි  පොඩිකාලෙ  කලපුව  අයිනෙ  ඉස්සො  අල්ලනව,  නානව  ,  සෙල්ලම්  කරනව.  ඒ  කලපුව  දැන්  නෑ.  අපට  කලපුවෙ  බැහැල  පියවර  තුනක්වත්   යන්න  බෑ  තුවාල  කර ගන්නෙ නැතිව.  මීගමු  නගරයේ  හොඳ  කානු ක්‍රමයක් නෑ.  පිල්ටර්  ක්‍රමයක්  නෑ.  අවුරුදු  පහකට  සැරයක් වත්  කලපුවේ  සුද්ද  කිරිල්ලක්  නෑ.  ඒ  සඳහා  කිසිකනෙක්  උනන්දුවෙන්නෙත්  නෑ.

කලපු  සංවර්ධනය  කියල  අනවශ්‍ය , තමන්ට  ලේසිතැන්  පහසු තැන්  හාරනව.  සියල්ල  සිද්දවෙන්නෙ   කොමිස්  මත.  2008 දී  ආසියානු  සංවර්ධන  බැංකුවෙන්  කෝටි  2000 ක්  ලැබුන  කානු  සංවර්ධනයට  කියල  නමුත්  කිසි වැඩක්  වුනේ  නෑ.  කලපුවට  එකතුවන  සියළු  කුනු  වටේම  තියෙන  කානු  හරහා    කලපුවට  එකතුවෙනව.  සමහර  අවස්ථාවල  කලපුවේ  ඉන්න  මාළු  මැරිල  තියෙනව.  ඒ  කලපුව‍ දූෂණය  වීමේ  ප්‍රතිඵලයක්.

කලපුවේ  දූෂණය  පිළිබඳව  අදහස්  දක්වන  තවත්  අය  කරවල  වාඩිවලින්  සිදුවන  පරිසර  දූෂණය  ගැන සහ  ඒ  තුළින්  තමන්ට  වන පීඩාව පිළිබඳව   අදහස්   දක්වති. මේ  අය  අතර  පිටිපන  කට්ටුදැල්  සමීතියේ  සභාපති  සහ  කලපු  අධිකාරියේ  කමිටු  සාමාජික  ඔස්කා  ප්‍රනාන්දු  මහතා   පිටිපන  දේවස්ථානය  අසල  කරවල  වාඩිකරුවන්ට  එරෙහිව  පෙත්සමක්  අත්සන්  කළ  අවස්ථාවකදී   මේ  ගැන  අදහස්  දැක්වූයේ  මෙසේය.

මීගමුව  කලපුවේ  මේවනවිට  කරවල වාඩි  හැමතැනම  ව්‍යාප්ත වෙල.  මේ කරවල  වාඩි  නිසා   ධීවර  පවුල් 1500  ක්  2000 ක්  පමණ  පීඩාවට  ලක්වෙනව.  මේ  අය  කරවල අපද්‍රව්‍ය,  මාළුන්ගෙ  කොටස්  කලපුවට  මුදා හරිනව.  ඔවුන්ට  වගේම  කට්ටුදැල්  රස්සාව  කරන  අයටත්  මේ  තත්වය ප්‍රශ්ණයක්  වෙලා තියෙන්නෙ. මීගමුවෙ  කට්ටුදැල්  රස්සාව  කරන  පිටිපන,  පිටිපනවීදිය,  මහවීදිය,  දූව, වැල්ලවීදිය  යන  ගම්  පහේ  ජීවත්වන   ධීවර  ජනතාවට  මේනිසා  ජීවත්වීමේ  අපහසුතාවයක්  තියෙනව.  මේගැන  නීති  තිබුනට  ඒව  ක්‍රියාත්මක  වෙන්නෙ නෑ. දේශපාලකයගෙ  ඉඳල  වෙරළසංරක්ෂණ  දෙපාර්ථමේන්තුව,  මධ්‍යම පරිසර අධිකාරිය  වැනි  රජයේ  ආයතන  අද  මුදලට  යටවෙල  ඉන්නෙ.  ඒනිසා  කිසි  විසඳුමක්  නෑ.   මේ  තත්වය  නිසා  කට්ටුදැල්  ධීවරයට  වෙනත්  රස්සාවල්  කරන්න  සිද්දවෙල.

මීගමුව  නගරයේ ජීවත්වන  කාන්තාවක්  ලෙස  සජීවනී  ප්‍රකාශ කරන්නේද    කලපුවට  විවිධ  අන්දමින්  අපද්‍රව්‍ය  මුදාහරින  බවත්,  ඒනිසා   ධීවර ජනතාව  දැඩි  අපහසුතාවයකට  ලක්වන  බවත්ය.

මේ  සියළු  තත්වයන්  මෙසේ  පවතිද්දී  මීගමුවේ  ධීවර  ජනතාව  වෙනුවෙන්  පෙනීසිටින   රාජ්‍ය  ආයතනවල  කටයුතු   නිසි  ලෙස  ඉටුනොවන  බවට  නැගෙන  චෝදනාව  ප්‍රතික්ෂේප  කළ නොහැක. රාජ්‍ය  නොවන  ආයතනද  විශාල  ප්‍රමාණයක්  මීගමු  නගරයේ  ක්‍රියාත්මක  වන  නමුත්  මෙකී  පාරිසරික  ප්‍රශ්ණයට  මැදිහත්වීම  ගැන  සෑහීමකට  පත්විය  නොහැක. ඒ  නිසාම  අසාධාරණය  නිතරම   බලය  ඇති  පාර්ශවය  නියෝජනය  කරමින්  අසරණ  ජනතාව  පීඩාවට  පත්කරයි.  මෙහිදී  දේශපාලකයා  සිටින්නේ  ජනතාව  නියෝජනය  කිරීමට  යැයි   ප්‍රකාශිත  මතයක්  සමාජගතවන  නමුත්   සිදුවන්නේ  ජනතාව  ගොනාට  අන්දවා   වැඩියෙන්  මුදල්  ගැවසෙන   පංතිය  වෙනුවෙන්  පෙනීසිටීමයි.

 

 

Virus-free. www.avast.com