කුරන, දුම්රිය මාර්ගය අසල , අනාරක්ෂිත ගස ඉවත්කිරීම දැව සංස්ථාව හිතා මතාම මගහරිනවාද?

0
297

“කුරණ දුම්රිය පොල අසල දිරා ගිය ගසක්,අනතුරකට අත වනයි ” යන සිරස්තලය යටතේ පසුගිය අප්‍රේල් මස එනම් 2024/04/05 වැනිදා අප වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් පළ කළේය. එම ප්‍රවෘත්තිය මගින් පෙන්වා දී තිබුණේ මීගමුව-කොළඹ දුම්රිය මාර්ගයේ කුරන දුම්රියපොළ සමීපයේ ඇති දිරාගිය ගසක් හේතුවෙන් කලක සිට දැඩි අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇති බවයි.

කුරුණ දුම්රිය පොළ සමීපයේ ස්ථාපිත කර ඇති අංක 210 දරන විදුලි සංඥා කණුව හෙවත් ලයිට් සිග්නල් කණුව අසල දුම්රිය මාර්ගය ආසන්නයේම ඇති දැනට වසර කිහිපයකට කලින් සිට දිරාගිය
” ඕවිල්ල ” නමින් හඳුන්වන අඩි 15 ක් පමණ උසකින් යුත් ගසක් හේතුවෙන් මේ අනාරක්ෂිත බව ඇති වී තිබෙන බව එම ප්‍රවෘත්තිය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

එලෙසම එම ප්‍රවෘත්තිය තුළින් කුරන දුම්රියපල සහ එම දුම්රිය මාර්ගයට ආසන්නව ජීවත්වන ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු පෙන්වා දී තිබුණේ එළඹෙන වැසි කාලයේ දී ,දැනටමත් මුළුමනින්ම පාහේ දිරාගොස් ඇති මෙම ගස කොයි මොහොතක හෝ දුම්රිය මාර්ගයට ඇද වැටීමට ඉඩ ඇති බවයි. එහිදී ඔවුන් වැඩිදුරටත් අනාවරණය කර තිබුණේ එම දිරාගිය ගස අනපේක්ෂිතව දුම්රියක් ධාවනය වන අවස්ථාවක හිටිහැටියේම ධාවනය වන දුම්රියකට ඇද වැටුණහොත් එම තත්ත්වය දැඩි අනතුරුදායක තත්ත්වයක් බවට පත්වීමට ඉඩ තිබෙන බවයි .

එමෙන්ම එම ගස දුම්රියක් ධාවනය නොවන අවස්ථාවක හෝ දුම්රිය මාර්ගයට ඇද වැටුණහොත් ,ගස කපා ඉවත් කර දුම්රිය මාර්ගය, දුම්රිය ධාවනයට සුදුසු වන පරිදි යලි යථා තත්ත්වයට පත් වනතුරු පැය ගණනකට දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවද එම ප්‍රදේශවාසීන් විසින් පෙන්වා දී තිබුණි.

මේ හේතුන් නිසා එම ප්‍රදේශවාසීන් පිරිස මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයාට කරන ලද දැනුම් දීම හමුවේ, ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම ගස කපා ඉතා ඉක්මනින්ම ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට දන්වා ඇතත් මාස ගණනාවක් ගත වුවද දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මෙම දිරාගිය, අනාරක්ෂිත ගස කපා එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව අප වෙබ් අඩවියේ පළවූ එම ප්‍රවෘත්තිය මගින් වැඩිදුරටත් අනාවරණය කර තිබිණි.
මෙම ප්‍රවෘත්තිය පළ වී මසකට වැඩි කාලයක් ඉක්ම ගියාද , තවමත් මෙම අනාරක්ෂිත, දිරාගිය ගස කපා ඉවත් කිරීමට මේ සඳහා වගකිවයුතු ආයතන ඉදිරිපත් වී නොමැති වීම ගැටලු සහගත බව එම ප්‍රදේශවාසීන් පවසති.

මේ සම්බන්ධව කුරන දුම්රිය ස්ථානාධිපති මංගල මහතාගෙන් කරන ලද විමසීමකදී ,ඔහු ප්‍රකාශ කළේ දුම්රිය මාර්ගයේ ගමන් කර එය නිරීක්ෂණය කිරීම තමාගේ රාජකාරියක් නොවන බවයි. ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරයා පවසන්නේ දුම්රියපොල ඇතුලත පමණක් රාජකාරී කරන තමන් හට මේ සම්බන්ධව මෙතෙක් කිසිවෙකු හෝ දැනුවත් නොකළ බවයි. මේ සම්බන්ධව වැඩිදුර කරුණු කාරණා දැන ගැනීමට අවශ්‍ය නම් මීගමුව ස්ථිර දුම්රිය මාර්ග පරීක්ෂකවරයාගෙන් විමසන ලෙසද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ, මීගමුව ස්ථිර දුම්රිය මාර්ග පරීක්ෂක ජගත් මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කළෙමු. එහිදී ඔහු ප්‍රකාශ කළේ මෙම අනාරක්ෂිත ගස කපා මෙම ස්ථානයෙන් ඉවත් කර ගැනීම පිණිස මේ මොහොත වන විටත් දුම්රිය දෙපාර්තමේන්තුව මගින්, රාජ්‍ය දැව සංස්ථාවට දන්වා ඇති බවයි.

එහෙත් ප්‍රදේශවාසීන් පවසන්නේ රාජ්‍ය දැව සංස්ථාව මඟින් මෙම ගස කපා මේ ස්ථානයෙන් ඉවත් කර ගැනීම හිතා මතාම මග හරින බවයි. ඒ සඳහා හේතු ලෙස ඔවුන් සඳහන් කරන්නේ මෙම දිරාගිය
” ඕවිල්ල ” නමැති  ගස කිසිදු දැවමය වශයෙන් වටිනාකමක් හෝ වෙනත් කිසිදු ආර්ථික වටිනාකමක් හෝ නොමැති ගසක් වීම නිසා බවයි. එහිදී ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම ගස කොස් ගසක් හෝ වෙනයම් දැව ලබා ගැනීමට හැකි ගසක් වූවානම් පැය කිහිපයක් ගතවන්නට මත්තෙන් මෙම ගස කපා ඉවත් කර ගැනීමට උත්සුක වන බවයි. ඒ අනුව කෙතරම් අනාරක්ෂිත තත්ත්වයක තිබුනත් කිසිදු ආර්ථිකමය වටිනාකමක් නොමැති මෙවැනි ගස් කපා දැමීම රාජ්‍ය දැව සංස්ථාව හිතා මතාම මගහරින බව එම ප්‍රදේශවාසීන්ගේ අදහසයි.

මේ පිළිබඳව විමසීම සඳහා බත්තරමුල්ල, ජයමාවතේ, ” සම්පත් පාය ” ගොඩනැගිල්ලේ පිහිටි රාජ්‍ය දැව සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ , 0112866601 දරන දුරකථන අංකයට කිහිප වාරයක් ඇමතුම් ලබා දුන්නද , ඒ එක් අවස්ථාවකදීවත් ඔවුන් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.