කුවේණිගේ සනුහරේ (02) – කුළියට හැඬූ මීගමු කාන්තාවන් ගේ කතාව (ඉන්දු පෙරේරා)

0
118

 

“කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ
කෙටල පටානෝ – නිතරම උඩ යට යානෝ
මී හරකානෝ – නිතරම ඔලුව වනානෝ
ඇටිකිති ජානෝ – නිතරම ජෙග ජෙග ගානෝ”
460px Kelani River
මෙම ජන කවිය බොහෝ දෙනෙකු අසා ඇති බවට සැක නැත. මෙය මතු පිටින් එක්තරා ආකාරයකට පරිසර වර්ණනාවක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. පාසල් පෙළපොත්වල ද මේ කවිය පරිසර වර්ණනාවක් ලෙස  දක්නට ලැබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ උපත ලද මෙම ජන කවිය අපේ රටේ සිවිල් සේවා නිලධාරියෙකු ව සිටි, විශිෂ්ට ජනශ්‍රැති පර්යේෂකයකු ද වූ නි.බ.මා. සෙනෙවිරත්නයන් 1964 වර්ෂයේදී සම්පාදනය කරන ලද “සිංහල කාව්‍ය සංග්‍රහය – මාතර යුගය” කෘතියෙහි ද ඇතුළත් කර තිබේ.
මේ කවියෙහි මතුපිටින් ධ්වනිත වන අර්ථයට වඩා බෙහෙවින්ම වෙනස් අරුතක් මෙහි අභ්‍යන්තරයෙහි පවතින බව වර්තමානයෙහි ප්‍රකට ජනශ්‍රැති පර්යේෂකයෙකු වන මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මහතා සියනෑ කෝරලයෙහි ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ කරන ලද ගවේෂණයක් මගින් අනාවරණය කරගෙන තිබේ. කුවේණිගේ සනුහරේ ගැන කතා කරන මා ඒ පිළිබඳ කතාව පසෙක තබා මේ ලෙස ජන කවියක් විවරණය කරන්නට යන්නේ ඇයිද? යන්න මෙය කියවන ඔබට ගැටලුවක් විය හැකිය. නමුත් මීට වඩා හොඳ ආරම්භයක්, ඊට තිබිය හැකි යැයි මට නම් නොසිතේ. එනිසා අපි යළිත් ඒ ජන කවියේ  කතාවට යමු. සේනාසිංහ මහතාගේ ගවේෂණයෙහි මෙවැනි සඳහනක් වෙයි.
“දහ අට වන සියවසේ අග භාගයත්, දහ නව වන සියවසේ මුල් භාගයත් අතර අපේ රටේ සියනෑ කෝරළයෙහි විසූ මහා ධන කුවේරයකු ගේ ලිංගික ජීවිතය මෙම ජන කවියෙහි ඇතුළතින් ගම්‍ය වන අර්ථයයි. මේ තැනැත්තා සුවිසල් පොල් ඉඩම් ඇතුළු විශාල දේපළකට උරුමකම් කියූවෙකි. අපේ රටේ බොහෝ ප්‍රභූ සහ රදල පැලැන්තියේ අතීතයේ බහුලව දක්නට ලැබුණු තත්ත්වයක් නම් තමන්ගේ ඉඩකඩම් ආදියෙහි වැඩ කටයුතුවල යෙදෙමින් ජීවනෝපාය සලසා ගන්නා එම ගම් ප්‍රදේශවලම වාසය කරන සේවක කාරකාදීන්ගේ රූමත් බිරියන් සහ තරුණ දියණියන් තම ලිංගික අවශ්‍යතා සඳහා යොදා ගැනීම ය. මෙහිදී එම භාර්යාවන්ගේ ස්වාමිපුරුෂයන් හට  මීට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවසර දෙන්නට සිදුවේ. ” කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ” යනු ඒ තැනැත්තාගේ එම ලිංගික චර්යාවයි.
“කෙටල පටානෝ – නිතරම උඩ යට යානෝ” යනු එම දෙදෙනා අතර සිදුවන ලිංගික කාර්යය බව දැක්වේ. එසේම මෙම ධන කුවේරයා සමග අනියම් ඇසුරක් පැවැත්වීම පවා එම කාන්තාවන් සලකන්නේ තමන්ට ලැබෙන ගරු නම්බුවක් ලෙස ය. එනිසා ඔවුන් තම සැමියාට සේම ගම්මුන්ට පවා මහත් උඩඟු බවක් පෙන්වූ බවද ප්‍රකට කරුණකි. මෙම දෙවන පද පේළියෙන් එම අරුතද ගම්‍ය වන බව පැවසේ.
“මී හරකානෝ – නිතරම ඔලුව වනානෝ” යන්නෙන් එම කාන්තාවන්ගේ සැමියන් පිළිබඳව අදහස් කෙරේ. එම ප්‍රභූවරයාගේ දාසයන් වන තමන්ට සිදුවන මෙවැනි ප්‍රබල අසාධාරණයකදී පවා හිස වනා එය පිළිගැනීම මිස ඊට එරෙහිව යාමට ඔවුන්ට හය්යක් තිබුණේ නැත. එනිසා මෙම ස්වාමිපුරුෂයන්ව  මී හරකාට උපමා කෙරිණි.
“ඇටිකිති ජානෝ – නිතරම ජෙග ජෙග ගානෝ” මෙහි සිව්වන පේළියයි. ඇටිකිත්තන් යනු කුඩා ගෙඹි විශේෂයකි. මීට ජානෝ හෙවත් ජනතාව යන පදය එකතු කිරීමෙන් කවියා අදහස් කරන්නට ඇත්තේ අවශේෂ ජනතාව ය.
“ජෙග ⁣ජෙග” ගෑම යනු ඔවුනොවුන් රහසේ කතිකා කිරීමයි. ගමේ ප්‍රභූවරයකුගේ කුමන ක්‍රියාවකට වුවද එළිපිට විරෝධය දැක්වීමට අතීතයේ සාමාන්‍ය ජනතාව බිය වූහ. එනිසා ඔවුන් මෙවැනි දෙයක් කතා කරන්නේ රහසේ ය. මෙහි “ජෙග ජෙග” යන්නට තවත් විවරණයක් ද සේනාසිංහ මහතා සිය ලිපියෙහි දක්වයි. අරාබි බසින් ලිංගික ක්‍රියාව දක්වන පහත් ඕලාරික වදනක් වන්නේ “ජිගි ජිගි” යන්න ය. මෙහි ජිගි යන වදන having sex යන අරුත ගෙනෙන, නමුත් පහත් වදනක් ලෙස ඉංග්‍රීසි ශබ්ද කෝෂවල දැක්වේ.
අපේ රටේ අතීතයේ ජීවත් වූ බොහෝ ප්‍රභූවරුන්ගේ සහ රදල පැලැන්තියේ ක්‍රියාකාරකම් ඉහත සඳහන් කළෙමු. මෙයින් අදහස් කරන්නේ වර්තමානයේ මෙවැනි දේවල්  නැති බවක් නොවේ. සිදු වී තිබෙන්නේ ඒවායේ මුහුණුවර වෙනස් වීම පමණි. ඒ කෙසේ වුව ද එම කුලවතුන්ගේ සහ ප්‍රභූවරුන්ගේත්, ධන කුවේරයන්ගේත් භාර්යාවන් වන කුමාරිහාමිලා, මැණිකේලා, ළමාතැනීලා තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ මේ කෙරුවාවල් නොදැන හිඳින්නේ නොවේ. එම ගම් ප්‍රදේශවල තම ස්වාමිපුරුෂයාගේ මුහුණුවර ඇති දරුවන්ද ඔවුන්ට සාමාන්‍ය දෙයකි. මේවා එම පැලැන්තිවල අංගයක් වීම ඔවුන්ට සුපුරුදු ය. ඊට අකමැති වුවත් මොන හේතුවකටවත් දික්කසාද වීම  ඔවුන් සිහිනෙකින්වත් නොසිතූ බවක් පෙනේ. එය එම කාන්තාවට සේම ඇගේ හත්මුතු පරම්පරාවට පවා සිදු කරගන්නා විශාල කැළලක් ලෙස අතීතයේ සැලකිණි. එසේම දික්කසාද නිසා ඔවුනොවුනට අහිමි වන ධනය සහ දේපළ කන්දරාව ගැන ද සුළු කොට සැලකිය නොහැකිය. මේ සියලු දේ තුළ අතීතයේ ප්‍රභූ කාන්තාවන්ට තමන්ගේ සැමියාගේ අනාචාරයන් දරාගෙන සිටීමේ හැකියාව පරම්පරාවෙන්ම උරුම වන්නට ඇති බවට සැකයක් නැත.
මෙවැනි ජීවිතයක් ගත කළ සැමියකු මියගිය පසු එම කුමාරිහාමිට, මැණිකේට නැතහොත් ළමාතැනීට එය ඒ හැටි දුකක්  වන්නට කාරණාවක් නොවේ. වර්තමානයේ අවමගුල් ගෙවල්වල ශෝක කරන්නන් මිස කෑ ගසා ළතෝනි දෙමින් හඬන අය අඩු ය. නමුත් අතීතයේ එලෙස විලාප දෙමින් කෑගසා නොහැඬුවොත් එය මියගිය පුද්ගලයාට කරන මදි පුංචිකමකි. අනෙක් අතට මියගියේ සැමියා නම් ඔහුගේ බිරිඳ එලෙස විලාප නගා නොහැඬුවොත් “ඒකිට හොර මිනිහෙක් ඉන්නව ඇති” කියන්නට තරම් අපේ සමාජය සැහැසි වූහ. හඬන්නේ කවුදැයි බලන්නටම මළ ගෙවල්වලට ගොඩ වූ අයත් නොසිටියා නොවේ. මෙය පිරිමින්ට අදාළ නොවන්නේ පිරිමින් සාමාන්‍යයෙන් හඬන්නේ  නැතැයි හෝ හැඬිය යුතු නැතැයි නිගමනයක් සමාජය විසින්ම ගෙන තිබූ නිසා ය.
මෙබඳු වාතාවරණයක් තුළ හැඬීම සඳහා ගැහැනුන් ව කුලියට හෝ ගැනීමට මියගිය පුද්ගලයාගේ නීත්‍යානුකූල බිරිඳ ඇතුළු පවුලේ අය පෙළඹීම පුදුමයට කරුණක් නොවේ. කුලියට හඬන ගැහැනුන් පිළිබඳ කතන්දරය කරලියට එන්නේ මෙලෙස ය.
කුවේණිගේ සනුහරේ කාන්තාවන් ලෙස සැලකිය හැකි මෙම කාන්තාවන් එකල ජීවත් වුණේ පුත්තලම සිට කොළඹ දක්වා වෙරළබඩ තීරයේ බවත්, ඉනුත් මීගමු ප්‍රදේශය විශේෂිත බවත් පෙර ලිපියෙහි සඳහන් කළෙමු. කුලියට හඬන කාන්තාවන් මීගමුවේ සිටි බව ප්‍රචලිත ය. එක් දහස් අටසිය ගණන්වලටත් පෙර සිටම මෙය ආදායම් මාර්ගයක් ලෙස ඔවුන් විසින් කරගෙන ආ බව කරුණු සොයා බැලීමේදී පැහැදිලි වෙයි. එක්කෙනෙක් දෙන්නෙක් නොව කාන්තාවන් පිරිසක් විසින් මෙය සාමූහිකව කරගෙන ආ ක්‍රියාදාමයකි.
මොවුන්ගෙන් සේවය ලබා ගත්තේ ඉහත විස්තර කළ පරිදි අපේ රටේ ධනවතුන් ගේ නිවෙස්වල ය. අවමගුල් නිවසේ සෙනග වැඩි අවස්ථාවට මේ කාන්තාවෝ පැමිණ හඬන්නට පටන් ගනිති. මියගිය පුද්ගලයාගේ බිරිඳ ට සිය සැමියා වෙනුවෙන් කෑ ගසා වැළපීමට තරම් හේතුවක් නොමැති වීම පමණක් නොව, ඔහුගේ හොර අඹුවන් ඔහුට දාව උපන් දරුවන් ද සමඟ පැමිණ යම් හෙයකින් ඒ දරුවන් “අනේ අප්පච්චි” නැතහොත් “අනේ තාත්තේ” යනුවෙන් කෑ ගසා හඬන්නට වුවහොත් එවැනි තත්ත්වයකදී ඇතිවිය හැකි ලජ්ජාව මකා ගන්නටද මෙසේ කුලියට හඬන කාන්තාවන්ගෙන් විශාල සේවයක් ඔවුහු ලබා ගත්හ. සමූහයක් මැද මෙලෙස විලාප නගමින් කාන්තාවන්  හඬන ආකාරය රැස්ව සිටින අනෙක් අයගේද දෑස්වලට කඳුළු උනන්නට සමත් වෙයි.එහි දී ඔව්හු මෙම මිය ගිය ප්‍රභූන් ගේ නැති ගුණ පවා වර්ණනා කරමින් හඬා වැළපෙති. අප රටේ අවමඟුල්වල දී මෙවැනි ගුණ වැයුම් විලාපයක් දෙවන රාජසිංහ රජ සමයේ (ක්‍රි.ව 1635-1687) ද පැවැති බව ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් කියයි.
මෙහිදී  තවත් දෙයක් සඳහන් කළ යුතුය. මෙලෙස කුලියට හඬන කාන්තාවන්ගේ සේවය ලබාගන්නේ ඉහත කී ආකාරයට ධන කුවේරයන්ගේ නිවෙස්වල එම ගෘහ මූලිකයා මියගිය අවස්ථාවල පමණක්ම නොවේ. අවශ්‍ය ආකාරයට පවුලේ වෙනත් අය මියගිය අවස්ථාවල වුවද එම මරණය  හඬා දොඩා වැළපෙන්නට තරම් කාරණයක් නොවේ නම් තම ජාමෙ බේරා ගැනීම සඳහා කුළියට හඬන කාන්තාවන්ගේ සේවාව ලබා ගැනේ.
සමහරුන්ගේ මතය වන්නේ මෙම කාන්තාවන් මත්පැන් පානය කර මෙම කාර්යයට එන බවයි. මීගමු කාන්තාවන් බහුතරයක් අතර, විශේෂයෙන් වෙරළබඩ කාන්තාවන් අතර මත්පැන් ප්‍රචලිත බව මුසාවක් නොවේ. නමුත් මෙය එම කාන්තාවන්ගේ රාජකාරියක් මිස, මෙය ඔවුන් මත්පැන් බී වෙරි වී මළගෙදර නාඩගමක් නටන්නට එන ගමනක් නොවේ.
මෙම හඬා වැළපීම් අතීතයේ හැඳින්වූයේ “ළතෝනි” ලෙසිනි. සිංහලයෙහි ළතොනි යන්න ළ තැවුම යන්නෙන් බිඳී ආ එකක් බව පෙනෙයි. ක්‍රිස්තියානි ආගමිකයන් යේසුස් වහන්සේ කුරුසියට තබා ඇණ ගැසීම සිහිකරමින් කරනු ලබන  දුක්ප්‍රාප්ති ගායනා ද ළතෝනි ලෙසින් අතීතයේ හැඳින්විණි. දුක්ප්‍රාප්ති ගායනාවලින් සංකේතවත් වන්නේ යේසුස් වහන්සේගේ මෑණියන් වන මරියතුමියගේ වැළපිල්ලයි.
ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ ළතෝනි යනු litany ( ලිටනි) යන ඉංග්‍රීසි වදනින් බිඳී සිංහලයට නැගුණු වදනක් ලෙස ය. litany යන්නෙහි අරුත් දෙකක් දක්වයි. එකක් නම්  යාඥාව ය. අනෙක වෙහෙසකර වූ එක දිගට කියාගෙන යෑම ය. ළතෝනි යනු වෙහෙසකර කියාගෙන යෑමක් ලෙස දක්වන්නට පුළුවන. litany යන ඉංග්‍රීසි වදන ග්‍රීක භාෂාවෙන් litaneia ( ලිටානියා) වෙයි. ලිටනි, ලිටානියා යන වචන දෙකම ළතෝනි  යනුවෙන් සිංහලයට වර නගන්නට නොහැකිකමක් නොමැත.
මුලින්ම මෙම දුක්ප්‍රාප්ති ගායනා හඳුන්වා දුන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස සිටි ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ය. සංගීත ශිල්පය හොඳින් හදාරා තිබූ මෙම පියතුමා වයලීන වාදනයෙහි අතිදක්ෂයකු ලෙස සැලකේ. සිංහල භාෂාවෙන් ළතෝනි ලියා ගොන්සාල්වෙස් පියතුමා  ඊට තනු යොදා තිබුණේ බෞද්ධයන් මළගෙවල්වල අතීතයේ සිට ගායනා කළ වෙස්සන්තර ජාතක කතාව ඇසුරින් නිර්මාණය වූ  වෙස්සන්තර  වැළපිල්ලෙහි තනුව ඇසුරු කරගෙන ය. මෙම කිතුණු ශෝකාකූල නාද රටාවන් ළතෝනි, දුක්ප්‍රාප්ති ගායනා මෙන්ම පසම් ලෙසින් ද හඳුන්වයි. පසම් යනු පෘතුගීසි පයිසම් යන වදනින් බිඳී ආවකි. පයිසම් යන්නෙහි අරුත ද දුක්ප්‍රාප්ති යන්නයි. සාමාන්‍යයෙන් මේවා ගායනා කරන විට වාද්‍ය භාණ්ඩ යොදා ගන්නේ නැත.
මෙම දුක් ප්‍රාප්ති ගායනා විලාසය මීගමු කාන්තාවන්ගේ පාරම්පරික උරුමයක් බඳු ය. ඔවුන් කිතුනු බැතිමතුන් බැවින් ජන්මයෙන්ම ඔවුන්ට මෙය ලැබී ඇති දෙයකි. එනිසා  අවමගුල් නිවෙස්වල වැළපීම ද ඔවුන් විසින් සිදු කරනු ලබන්නේ අසන්නන්ගේ සිරුරු  ලොමුදැහැගැන්වෙන ආකාරයට මහත් කම්පනයක් ඇති කරවන අයුරිනි. අවමගුලට පැමිණෙන කිසිවකුටවත් මේ පිළිබඳව සැකයක් ඇති නොවෙන අයුරින් අගේට මේ කටයුත්ත කරන ආකාරය ඔවුහු දනිති. ඇත්තටම හඬන්නේ කවුද, බොරුවට හඬන්නේ කවුද මේ කිසිවක් අමුත්තන්ට වෙන් කර සොයා ගැනීමට කෙසේවත් හැකියාවක් නොලැබේ.
අද වන විට කුළියට හඬන මීගමු කාන්තාවන් යනු ජන වහරට සීමාවූවක් පමණි. ඉතිහාසඥයන් සහ මානව විද්‍යාඥයන් මේවා ගවේෂණය කර අනාගත පරපුර වෙනුවෙන් ලියා තැබීම සුදුසු යැයි සිතමු.
තවත් කොටසකින් ලබන සතියේ හමු වෙමු.
සටහන : ඉන්දු පෙරේරා