නෝර්වේ නැවතත් දර්ශකයේ ඉහළින්ම පසුවන අතර පහළින්ම පසුවන්නේ උතුරු කොරියාවයි.
ස්ථාන හයකින් පහළ ගොස් 162 වන ස්ථානයේ පසුවන ඉරාකය තුළ කොරෝනාවෛරසය සම්බන්ධ නිල වාර්තා පිළිබඳ ප්‍රශ්න කෙරෙන ලිපියක් පළ කිරීමෙන් අනතුරුව රොයිටර් පුවත් සේවයේ බලපත්‍රය තෙමසක කාලයකට ඉවත් කිරීමට එරට ආණ්ඩුව කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ එක රැයින් බිය ජනිත වූ අයුරු සාවද්‍ය තොරතුරු පළ කරන පුද්ගලයන්ට වසර පහක් දක්වා වන දඬුවම් ලබා දිය හැකි වන පරිදි හංගේරියානු අගමැති වික්තර් ඔර්බන් “කොරෝනාවෛරස්” නීතියක් සම්මත කර ගැනීමත් සමග යුරෝපයට අයත් හංගේරියාව ස්ථාන දෙකක් පහළට ගොස් 89 වන ස්ථානයේ පසුවේ.
“ජනප්‍රිය නොවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ගැනීම සඳහා මේ මහජන සෞඛ්‍ය අර්බුදය අධිකාරිවාදී ආණ්ඩුවලට අවස්ථාව ලබා දෙනවා,” දේශ සීමා රහිත මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ මහලේකම් ක්‍රිස්තොෆ් ඩිලුවාර් පවසයි.
“සාමාන්‍ය අවස්ථාවලදී කළ නොහැකි නමුත් මේ වන විට ක්‍රියාත්මක කර ඇති පියවර නිසා දේශපාලනය නැවතිලා, ජනතාව ගල් ගැහිලා සහ උද්ඝෝෂණ ගැන සිතන්නවත් බැරි තත්ත්වයක් ඇති වෙලා. නායකයන්ට ඉන් ප්‍රයෝජන ගත හැකියි,” යනුවෙන් ඔහු කියා සිටියේය.
“තොරතුරු දැන ගැනීමේ නිදහස, ජනප්‍රියවාදය සහ විශ්වසනීයත්වය කියන කරුණු 2030 දී මොන වගේ වෙයිද? ඒ සඳහා උත්තරය අද දවසේ තීන්දු වෙමින් පවතිනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එක්සත් රාජධානිය ස්ථාන දෙකක් පසුපසට ගොස් 35 වෙනි ස්ථානයට පත්ව ඇත.
- උතුරු අයර්ලන්තයේ ගැටුමෙන් විසිනව හැවිදිරි මාධ්‍යවේදිනියක් මරුට
ලොව පුරා මාධ්‍ය නිදහස ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් රාජධානියේ ආණ්ඩුවේ කාර්යභාර්ය වාර්තාව මගින් පිළිගැනීමකට ලක් කර ඇත. නමුත් උතුරු අයර්ලන්තයේ වාර්තාකරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති මාධ්‍යවේදිනී ලයිරා මැකීගේ ඝාතනය සහ ඉදිරියේදී එක්සත් ජනපදයට භාර දිය හැකි විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් රඳවා තබා ගැනීම වැනි කරුණු මගින් එක්සත් රාජධානිය ගෙන ඇති උත්සාහයන් යටපත් වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව
2020 ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාව පසුවන්නේ 127 වෙනි ස්ථානයේය. එනම් 2019 වසරට වඩා එක් ස්ථානයක් පිටුපසින්ය.
ඉහත කී වාර්තාව තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ කොරෝනාවෛරසය සම්බන්ධයෙන් කරුණු සඳහන් කර නොමැත. කෙසේ නමුත් ශ්‍රී ලංකාව කොවිඩ්-19 සම්බන්ධයෙන් “හමුදාකරණය වූ ප්‍රතිචාරයක්” පළ කරන බව සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) පවසා තිබුණි.
“ශ්‍රී ලංකාව විසින් කෝවිඩ්-19 සම්බන්ධයෙන් දක්වනු ලබන හමුදාකරණය වූ ප්‍රතිචාරය සිවිල් අධීක්ෂණයකින් තොර වීම බරපතල මානව හිමිකම් ගැටලු මතු කරන බව” ඒ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ දැක්විණි.
කෙසේ වුවත් ශ්‍රී ලංකා ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
මේ අතර පොලිසිය අප්‍රේල් 01 වෙනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ රජයේ නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා වන පරිදි ඔවුන්ගේ සුළු අඩුපාඩු විවේචනය කිරීම/මතුකර පෙන්වන තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීමක් බව පවසමින් ඇතැම් සිවිල් ක්‍රියාධරයන් සහ සංවිධාන එම පියවර විවේචනයට ලක් කර තිබුණු අතර ඇතැම් සංවිධාන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබිණි.
“ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරන ලද ප්‍රකාශනයේ නිදහස සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමට මහජන අධිකාරිය විසින් කොරෝනාවෛරස් වසංගතය දඩමීමා කර නොගත යුතුයි,” යන මැයෙන් ඊට විරෝධය පෑම සඳහා ඇතැම් මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාධරයන් සහ කලාකරුවන් ඇතුළු පිරිස් ෆේස්බුක් ඔස්සේ විරෝධතාවක් දියත් කළහ.