කොරෝනා බිය හමුවේ රටේ ප්‍රදේශ ගණනාවක පාසැල් වසා දැමිම ඇරඹේ …

0
822

රජයේ සහ අනුමත පාසල් කළින් සැලසුම් කළ ආකාරයට අඟහරුවාදා (27) සිට පැවැත්වෙන බව අධ්‍යාපන අමාතයංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ ( 25) දිනයේ පවසා තිබුණද රටපුරා මතුව එමින් ඇති කොරෝනා බිය හමුවේ රටේ ප්‍රදේශ ගණනාවකම පාසැල් වසා දැමිම ඇරඹි ඇති බැව් පෙනේ .
බස්නාහිර සහ වයඹ පාසැල් වසා දැමේ

අධ්‍යපාන බලධාරින් අද සවස ප්‍රකාශ කර සිටියේ බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු රජයේ පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් මෙම 30 වැනි දා දක්වා වසා තැබීමට තීරණය කළ බවය.

අධ්‍යාපන ඇමතිවරයා කියා සිටියේ කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් එලෙස මෙම සතියේ පාසල් වසා තැබෙන බවත් එම පළාත්වල පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සති අන්තයේ තීන්දුවක් ගන්නා බවත්ය

මොණරාගලත් පාසැල් වැසේ

මේ අතර කෝව්ඩ් අවදානම සමබන්ධයෙන් සෞඛ්‍ය අංශ කළ ඉල්ලිමක් සැලකිල්ලට ගනිමින් ඌව පලාත් මොනරාගල අධ්‍යපන කොට්ඨාශ තුනක පාසල් 15ක් වසා දැමිමට ආණුඩුකාරවරයා උපදෙස් ලබාදුන් බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසා තිබුණි

ඒ අනුව මොනරාගල කොට්ඨාශයේ පාසැල් පහක් සියඹලාන්ඩුව කොට්ඨාසයේ පාසල් හයක් හා බුත්තල කොට්ඨාසයේ පාසැල් හතරක් මේ අනුව ලබන අප්‍රෙල් මස 30දින දක්වා වසා තැබීමට තීරණය කර ඇත.

පැල්වත්ත මහා විද්‍යාලය ,කුකුරම්පොල විද්‍යාලය, විහාරමහාදේවි විද්‍යාලය හා රංජන් විජේරත්න විද්‍යාලය,මහානාම ජාතික පාසල, මහානාම ප්‍රාථමික විද්‍යාලය, රාජකීය ජාතික පාසල ,තෙනගල්ලන්ද මහ විදුහල,තොටිගල්හෙල ප්‍රාථමික විදුහල,ඇතිමලේ මහ විදුහල ,අතිමලේ ප්‍රාථමික විද්‍යාලය,.දොඹගහවෙල මහ විදුහල,දොඹගවෙල ප්‍රාථමික විද්‍යාලය,තිස්සපුර ප්‍රාථමික විද්‍යාලය,රිටිගහවත්ත ප්‍රාථමික විද්‍යාලය එසේ වසා තැබේ.

පන්නල අධ්‍යාපන කොට්ටාශයේ පාසැල් වසා දැමේ

එමෙන්ම පන්නල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් මැයි මස 02 වන දින දක්වා වසා තැබීමට  වයඹ පලාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා විසින් තීරණය කර ඇති බව වයඹ පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අසෝක ජයලත් මහතා පැවසීය.

ගිරිඋල්ල වික්‍රමශීලාල පන්නල සහ සඳලංකා යන ජාතික පාසල් ඇතුඵ කොට්ඨාශයට අයත් පාසල් 55 ක් මේ යටතේ වසා තබන බව ද ඒ මහතා පැවසීය .

පන්නල ජාතික පාසලේ සිසු සිසුවියන් 04 දෙනකු වාර්තාවීම සහ පන්නල සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ කොරෝනා වෛරස ආසාදිතයන් ගණන සීග්‍රලෙස වැඩිවීම නිසා  දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරනය ගෙන ඇති බවද සඳහන්වේ.

ත්‍රිකුණාමලයේත් පාසල් වැසේ

මේ අතර ත්‍රිකුණාමලය අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් යළි දැනුම් දෙන තෙක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ (25) පස්වරුවේ නියෝග කළාය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයෙන් අද (25) දිනයේදී ‘කොවිඩ් 19’ ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වීම පිළිබඳව අවදානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පැවසීය.

ගම්පහ පාසැල් කිපයක කොරෝනා අවධානමක්

එමෙන්ම අද වෙබ් අඩවිය සදහන් කර තිබුනේ ගම්පහ නගරය ආශ්‍රිතව සහ ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දහයක පමණ කොරෝනා ආසාදිතයින් හමුවීම සැලකිල්ලට ගනිමින් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්පහ කලාපය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. කේ. මල්ලවආරච්චි මහතා සෞඛ්‍ය අංශ සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවය

පාසල් කිහිපයක ගුරු භවතුන් , සිසුන් මෙන්ම සිසු දරුවන්ගේ මව් පියන් ආසාදිතයින් බවට තහවුරු වීම හේතුවෙන් මෙම පියවර ගනු ලැබූ බවත් අවශ්‍යතාවය අනුව පන්ති වශයෙන් සහ අංශ වශයෙන් දින කිහිපයක් සදහා වසා දැමීමට වුවද සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි  පියවර ගත හැකි බවත් කළ විමසුමකට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂවරයා කී බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

මේ අතර කොරෝනා රෝග තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශ සම්බන්ධීකරණය යටතේ ඒ ඒ කොට්ඨාසයන්හි අවශ්‍ය තීරණ ගැනීමේ බලය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් හට ලබාදී ඇති බව දිසාපති සුනිල් ජයලත් මහතා පවසා තිබේ