කොටස කොවිඩ්19 සහ රෝග ලක්ෂණ ගැන තවත් විස්තර දැනගනිමු
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
“කොරෝනා” යන්න දැන් මෑතදී සොයාගත් කොවිඩ්19 වෛරසයට පමණක් භාවිතා වුවත් ඇත්තටම කොරෝනා යනු විශාල වෛරස පවුලක් වන අතර එයට අයිති වන විවිධ වෛරස තිබේ.
මෙම වෛරස කාණ්ඩය මගින් මිනිසුන්ට සහ සතුන්ට ශ්වසන රෝග ඇති කරයි. සාමාන්‍ය සෙම්පතිශ්‍යාවේ සිට විවිධ අසාධ්‍යතා, මාරාන්තික තත්වයේ තිබෙන රෝග දක්වා මෙය ගමන් කළ හැකිය. උදා- පසුගිය කාලයේ පැතිරුණු MERS, SARS යන වෛරස ද කොරෝනා ප්‍රභේද වේ.
එසේම මෙම ළගදී සොයාගනු ලැබූ නව කොරෝනා වෛරසය නම් කරනු ලැබුවේ කොවිඩ්19 වෛරසය ලෙසය. මෙය වසර 2019 දී දෙසැම්බර් මස දී මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයේ දී සොයා ගනු ලැබීය. එය අද වන විට ගෝලීය වසංගතය දක්වා වර්ධනය වී ඇත. මෙය එය ඉතා ආක්‍රමණශීලී (virulent) සහ සමාජගතික (contagious) වෛරසයක් ලෙස හඳුන්වා දෙනු ලැබේ.
⭕️ රෝග ලක්ෂණ
සාමාන්‍යයෙන් ලා උණ, වියළි කැස්ස, සහ අතපය රිදීම, හොටු දියර ගැලීම, හිසරදය, උගුර රිදීම, වමනය, බඩ එළිය යෑම, සමෙහි පලු මතුවීම ආදිය ද, ඇඟිලි, පා ඇඟිලි වෙනස් පාට ගැනීම(Discolouration), ඈලිමැලි ගතිය, ආහාරවල රස දැනීම හා සුවඳ දැනීම අඩුවීම මෙම රෝගයේ පොදු රෝග ලක්ෂණ වේ. මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් පෙන්නුම් කරන තත්වයේ හෝ නොකරන තත්වයේ පැවැතිය හැකිය. සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වන අය අප හඳුන්වන්නේ මඳ (mild) රෝගලක්ෂණ පෙන්වන අය ලෙසයි.
මෙය රෝගය ඉතා අවදානම් තත්වයට පත් වූ විට, එම රෝගීන්ගේ රෝග ලක්ෂණ වෙනස් ආකාරයක් ගනී. ඉහත කී රෝග ලක්ෂණවලට අමතරව හුස්ම ගැනීමට අපහසුකම්, කෙටි හුස්ම ගැනීම (shortness of breath), ඇදුම වැනි ස්වරූපය, පපුව රිදීම හා ශාරීරික අපහසුතාවයන් ඇතිවේ. මෙම රෝගයෙන් වැඩි අවදානමට පත් වන්නේ අවුරුදු 60 කට මහලු අයයි. එසේම ඇදුම, හෘද රෝග, අධික රුධිර පීඩනය, පිළිකාව වැනි දීර්ඝ කාලීන රෝගීන්ට මෙම රෝගය ආසාදනය වුවහොත් ඒ අයගේ ජීවිත ඉතා අවදානම් තත්වයට පත් විය හැකිය.
එසේ වුවත් මෙම රෝගය සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින්ට වැළඳිය හැකිය. බහුතරය 80%ක් පමණ රෝහල් ප්‍රතිකාර ගැනීමෙන් තොරව ඉබේම සුව වේ. මෙය සරල ලෙස හෙම්බිරිස්සාවක්, හොටු දියර ගැලීමක්, සාමාන්‍ය වියලි කැස්සක් වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. සමහර රෝගීන් සුළු රෝග ලක්ෂණ සහිත (mild), තරමක රෝග ලක්ෂණ සහිත (moderate), තදබල රෝග ලක්ෂණ සහිත ( severe) සහ අසාධ්‍ය මට්ටමේ (critical) යන මේ කවර රෝග කාණ්ඩයේ සිටියත් හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම්, කෙටි හුස්ම ගන්නේ නම්, කතා කිරීමට අපහසුතා ඇත්නම්, ඇදුම රෝගය වැනි තත්ව ඇත්නම් එවැනි අයට වෛද්‍ය ප්‍රතිකාර වහා ලබා දිය යුතුය.
⭕️ රෝග පැතිරෙන ආකාරය
මෙම වෛරසයේ පැතිරීම මූලිකවම ශ්වසන පද්ධතිය හා සම්බන්ධ වන අතර, පැතිරෙන ප්‍රධාන ක්‍රමය වන්නේ ආසාදිතයාගේ කෙළ බිඳිති හරහා රෝග විෂබීජ පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වීමෙනි. රෝගියකුගේ කහින විට, කිවිසින විට, කතා කරනවිට මෙම වෛරසය පිටවේ. එම නිසා ශ්වසන මාර්ගයෙන් බෝවන වෛරසය ඉහත කී ක්‍රම ආකාරයෙන් එක් පුද්ගලයකුගෙන් සමාජයේ විශාල ගණනකට ව්‍යාප්ත වීමේ විභවයක් පවතී.
මෙම වෛරසය අන් වෛරසවලට වඩා සාපේක්ෂකව බරය. මේ නිසා බොහෝ දුරට වාතයේ ගමන් නොකරන අතර, කෙටි දුරකදී ඉක්මනින් පෘෂ්ඨයක් මතට පතිත වේ. එම නිසා සෞඛ්‍ය නිලධාරීන් මීටර් 1 1/2ක් දුරින් පරතරය තබා ගන්නා ලෙස කියනුයේ, මිනිසුන්ගෙන් බෝවීම වැළැක්වීමටය.
මෙම වෛරසය පෘෂ්ඨ මත පතිත වන එකක් බැවින්, පෘෂ්ඨ (door knob, hand railing, මේස, පුටු ආදිය) ස්පර්ශ කිරීමෙන් වැළැකීමත්, ස්පර්ශ කිරීමෙන් පසු නාසය, කට ආශ්‍රිත ප්‍රදේශය ඇල්ලීමෙන් වැළකීමත් රෝගය සම්ප්‍රේෂණය වැළකීමට වැදගත් වේ. ප්ලාස්ටික්වල පැය 72කුත්, මල නොකන යකඩවල පැය 24කුත්, තඹ පෘෂ්ඨමත පැය 4කුත් පවතී.
වාර්තා වන පරිදි රෝග ලක්ෂණ කිසිවක් නොතිබුන ද මෙම වෛරසය තව කෙනෙකුට ආසාදිත කිරීමේ හැකියාව ඇති රෝග ලක්ෂණ නොපෙන්වන රෝග වාහකයින් 20%ක් ද සිටිය හැකිය.
⭕️ වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග
✅ ස්වයං හුදකලාව
කොවිඩ්19 රෝගලක්ෂණ ඇති අය සහ එයට නිරාවරණය වූයේ යැයි සැක සහිත පුද්ගලයන් ස්වයං හුදකලාවට ලක් වීමෙන් අනික් අයට රෝගය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම මෙහි අරමුණ වේ.
යම් අයෙකුට මඳ වශයෙන් රෝග ලක්ෂණ ඇත්නම් පොදු ස්ථානවලට නොයා යුතු අතර, තම නිවස තුළ රැඳී සිටිමින් පවුලේ අන් අයට පැතිර නොයන සේ මුඛ ආවරණ පැළඳීම ආදිය සිදු කළ යුතුය. වෙනම කාමරයක හුදකලාව සිටීම වඩාත් සුදුසු වේ.
♦️ සෑම දිනකම තමන්ගේ රෝග ලක්ෂණ වැඩි වේ දැයි ස්වයං තක්සේරුවක් සිදු කළ යුතුය.
♦️ මෙලෙස හුදකලා වී දින 14ක් සිටිය යුතු වේ. කිසිවකු කොවිඩ්19 ආසාදනයට නිරාවරණය වී ඇත්නම්, එම කාලය ඇතුළත රෝග ලක්ෂණ මතු වීම සිදු වේ.
♦️ මුලින් සඳහන් කළ පරිදි ශ්වසන අපහසුතා, පපුව කැක්කුම, කෙටි හුස්ම ගැනීම සහ ශරීර අපහසුතා ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.
රෝගයෙන් වැළකීමට ගත යුතු අනෙකුත් ක්‍රියාමාර්ග කෙටියෙන් මෙසේ දැක්විය හැකිය.
✅ සමාජ දුරස්ථතාවය තබා ගැනීම – පොදු ප්‍රවාහන, කාර්යාල, වෙළෙඳපොලවලට යෑමේ දී වෙනත් කෙනෙකුට මීටර 1.5ක දුරින් සිටීම වැදගත්ය.
✅ අනවශ්‍ය ලෙස ගෙවල්වලින් බැහැර වීම නොකිරීම, අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් බැහැර වීම සිදු කළ යුතුය.
✅ පොදු ස්ථානවල් වෙත, පාරවල්, කඩවල්, ආදී මහජනයා ගැවසෙන ස්ථාන වෙත යන්නේ නම් මුඛ ආවරණ (mask) පැළදීම කළ යුතුය.
✅ ස්පර්ශක පෘෂ්ඨ (මේස, පුටු, දොරවල්වල අගුළු, ඒටීඑම් මැෂින්වල අංක, වාහනවල ආසන වැනි බොහෝ දෙනා අල්ලන මතුපිටවල්) හැකිතරම් දුරට ඇල්ලීමෙන් වළකින්න. හැකි අවස්ථාවල පෘෂ්ඨ ඇල්ලීමට වැලමිට පාවිච්චි කරන්න.
✅ පෘෂ්ඨ ස්පර්ශ වූවත් නොවූවත් පොදු ස්ථානවලට ගොස් පැමිණි අය අත් සබන් යොදා වැලමිට දක්වා සෝදා ගත යුතුය. අත් නිවැරැදිව සෝදා ගන්න.
✅ මුහුණ කට නාසය ඇල්ලීමෙන් වැළකිය යුතුය.
✅ මලපහවල කොවිඩ්19 වෛරසය ඇතිබවට සොයා ගැනුනත්, එයින් රෝගය බෝ නොවේ.
✅ නැවුම් පලතුරු, හා එළවළු ආහාරයට ගැනීමේ දී ඒවා හොඳින් සෝදා ගන්න. ආහාර පිසීමේ දී ක්‍රියාවලියේ දී වෛරසය තිබුන ද එය විනාශ වේ. එම නිසා පිසූ ආහාර වඩාත් ආරක්ෂාකාරීය. ආහාර පිළියෙල කිරීමට පෙර සහ පසුව ද තමන්ගේ අත් සෝදා ගන්න. සුරක්ෂිතව ආහාර පිළියෙල කර ගැනීම සෞඛ්‍යයට වැදගත් අතර, ගත යුතු මූලික පියවර ගැන මෙතැනින් තවදුරටත් දැන ගන්න. https://www.who.int/docs/ default-source/food-safety/ five-keys-to-safer-food- poster/5keys-sinhala.pdf
✅ මෙම රෝගය ජලයෙන් බෝවන නොවේ. විශේෂයෙන් ක්ලෝරින් මිශ්‍ර නල ජලය තුළ දී මෙම වෛරසය ඉතා ඉක්මනින් විනාශ වේ.
✅ රෝගය මිනිසුන්ගෙන් ගෘහාශ්‍රිත සතුන්ට ආසාදනය වූ විරල අවස්ථා හමු වී ඇත. නමුත් දැනට රෝගය ගෘහාශ්‍රිත සතුන්ගෙන් මිනිසාට සංක්‍රමණය සිදු නොවේ.
✅ මෙම රෝගය වැළැක්වීම සඳහා ඉහත කී ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සෑම අයෙකුම තමන්ගේ මානව යුතුකමක් ලෙස සැලකිය යුතුය.
සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ආසාදිතයන් 5 දෙනෙකුට එක් අයෙකු බරපතල තත්වයකට පත් වන බවයි.
ඊළග ලිපියෙන් ස්වයං නිරෝධායනය සහ හුදකලාව ගැන කතා කරමු.
වෛද්‍ය රිචඩ් පෙරේරා
2020 මැයි 13