ගිලන් වු රජරට මිනිසුන් වෙනුෙවන් ගී ගයන කලාකරුවා..

0
192
(මේ අපුරු සටහන උපුටා ගැනුනේ දයානන්දගේ අස්වැන්න කියන බ්ලෝග් අඩවියෙන් .)
උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය අතීතයේ පටන්ම වැව කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගෙන  කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත්  ප්‍රදේශයක්. නුවර වැව, කලාවැව සහ පදවිය වැව වටා ගොඩනැගෙන ‍ඓතිහාසික නුවරකලාවිය වී ගොවිතැන ප්‍රධානම ආදායම් මාර්ගය කරගත්  බිම් ප්‍රදේශයක්.
ඒත් 1958 න් පසු ව ඇති වු  නව සමාජ දේශපාලනික විපර්යාසයන් හේතුවෙන් රජරට වැව කේන්ද්‍ර කරගනිමින් බිහි වූ ගොවි ජනපද ක්‍රමය නිසා කෘෂිකර්මාන්තය සිඝ්‍ර දියුණුවක් ලබන්න හේතුවක් වූවා සේ ම  අනෙක් අතට කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ගැමි ජනතාවගේ  නොදැනුවත් කම නිසා ම වර්තමානයේ දීර්ඝ කාලින රෝගීන් බවට පත්වන්නේ  පසුගිය දශක හය හමාරකට ආසන්න කාලයක් පුරා සිය ගොවිතැන් කටයුතු සඳහා ඉවක් බවක් නොමැතිව දිගු කාලිනව පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය  භාවිතා කිරිම හේතුවෙන්. 
එසේ ප්‍රමිතියකින් තොරව මෙරටට ආනයනයනය කරන කෘෂි රසායන ද්‍රව්‍යවල අඩංගු ආසනික්, රසදිය, කැඩ්මියම්, (බැර ලෝහ ) සහ යුරේනියම් (විකිරණ) වැනි උග්‍ර විෂ සහිත රසායන ද්‍රව්‍ය පොළව  මතුපිට ඇති වැව් , ගංගා, ඇළ දොළ, පොකුණුවලට  සේ ම භූගත ජලයටත් මිශ්‍ර විම ය. මේවා වරක් පරිසරයට ඇතුළු වූ  පසු ඉවත් නොවේ. විශේෂයෙන්ම මේ බැර ලෝහ ස්වභාවික පරිසර චක්‍රයේ ක්‍රියා කාරීත්වයට ඇතුළුවේ. 
මේ රටේත්  ජනතාවගේත්,  පරිසරයේත්  අවාසනාවකට එසේ  පරිසරයට ඇතුළු වන මේ විෂ සහිත බැරලෝහ මෙරටට ගෙන්වන  පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍යවල අඩංගුවේ. 1958 න් පසු බිහි වූ    ගොවි ජනපද  ක්‍රමය නිසා ගොවියෙකුට හිමිවන අක්කර එකක් හෝ දෙකක් වැනි කුඩා බිම් ප්‍රමාණයට එදා සිට මේ දක්වා යොදා ඇති පොහොර සහ කෘමි නාශක / වල් නාශක රසායන භාවිතා කර ඇති අයුරු මෙසේ ය.
යූරියා වර්ගයේ පොහොර  එක් කන්නයක් සඳහා එක ගොවියෙකු විසින් කිලෝ ග්‍රෑම් 150 බැගින් වසරකට කිලෝග්‍රෑම් 300 ගණනේ වසර 60 ක් කාලයකට එක් අක්කරයකට පො‍හොර මෙට්‍රික් ටොන් 18  හෝ ඊට වැඩි ප්‍රමාණයක්ද, එක් කන්නයක් සඳහා කෘමි නාශක මිලි ලිටර් 400 බැගින් වසරකට මි.ලී. 800 ක්ද ගණනේ වසර 60 ක් කාලයකට සදහා එක් අක්කරයකට ලීටර් 54 ක්ද භාවිතා කර ඇත. මේ අයුරින්ම වල් නාශකද යොදා ඇත.
ඒ නිසා සමස්ත රජරටම ගොවි බිමක් වූ විට එහි විනාශකාරී බව කොතරම්ද කියා ඔබටම වටහා ගත හැකිය. මේ හේතුවෙන් රජරට පො‍ළොවෙහි සහ පරිසරයේ විශාල වෙනසක් සිදුවී ඇත.  පානීය ජලය සපයා ගන්නා ළිං  ජලයේ පවා මෙම  රසායනික සංයුතියේ සාන්ද්‍රණය ඉහළ ගොස් තිබේ.
මුළු රජරට ප්‍රදේශයේම පානීය ජලයේ රසායනික සාන්ද්‍රණය ඉහල යාම හේතුවෙන් මේ වන විට විශාල වශයෙන් වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතී.  බොහෝ වකුගඩු රෝගීන් තමන්ට එවැනි රෝගයක් වැළඳී ඇති බව දැනගන්නා විට හෝ රෝහල්වල කෙරෙන පරීක්ෂණ මගින්  එකී රෝගී තත්වය නිශ්චිතවම වැළඳී ඇති බව තහවුරු කර  ගන්නා විට  ඔවුන්ගේ වකුගඩු වලින් 40% – 50% අතර ප්‍රමාණයක් අක්‍රිය වී අවසන්ය. යමෙකුට මේ රෝගය වැළඳුන පසුව නියතයෙන් ම හිමි වන්නේ මරණයයි. ඒ අනුව උතුරු මැද පළාතේ  ග්‍රාමීය ජනතාව උග්‍ර පානීය ජල ගැටලුවකට මෙන්ම දැන්  වකුගඩු අක්‍රිය වීමේ රෝගයට ද මුහුණ දෙමින් සිටී. 
එහෙත් මේ දක්වා රජරට ගැමි ජනතාව තව දුරටත්  සිය ගම්බිම්වල  ඇති ළිංවලින්  මෙන්ම වැව් , ගංගා, ඇළ දොළ, පොකුණුවලින් සිය පානිය ජල අවශ්‍යතා සපුරා ගැනිම හැර  වෙනත් කළ යුතු දෙයක් ඔවුනට නොමැත. එදා යුද්ධයේදී හඬ අවදිකළ රාජ්‍ය නොවන සංවිධාන පවා මේ මොහොතේ නිහඬය.
එදා කාලිංග මාඝ යුද්ධයෙන් පසු සියවස් ගණනාවක් අහිමි ව තිබූ රජරට සශ්‍රීකත්වයේ ශිෂ්ඨාචාරය යළි පණ ලැබූයේ 19 වන සියවසේ  සහ 20 වන සියවසේ දී ය. ඒත් ඒ ‍ඓතිහාසික ශිෂ්ඨාචාරය යළිත් රෝගී වෙමින් පවතී.  
මේ තත්වයෙන් රජරට ගැමි ජනතාව මුදවා ගෙන ඔවුන්ගේ රෝගී තත්වයන් ඔවුන්ගේ ගම්බිම් වලදීම  නිසි ලෙස හඳුනාගෙන නිසි ප්‍රතිකාර සදහා රෝහල්වෙත යොමුකළ යුතු වුවත් ඒ සදහා රාජ්‍ය යාන්ත්‍රණය තුළ නිශ්චිත වැඩ පිළිවෙලක් මෙතෙක් සංවිධානය වී නොමැත. 

 ඒ නිසා අනුරාධපුරයේ සියලුම ආගමික සහ නිකායික හිමිවරුන්ගේ සංවිධානයෙන් අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ  සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ  ගම්වලටම ගොස් ගම් මට්ටමින් සායන පවත්වා වකුගඩු රෝගීන් හඳුනාගෙන ඔවුන් නිසි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමේ  වැඩ පිළිවෙලක් නිර්මාණය වෙමින් පවතී. 

මේ වැඩ සටහනේදී ගම් මට්ටමෙන් පැවැත්වෙන  සායන වලදී පරීක්ෂණයට භාජනය වන ජනතාවට ඒ පරීක්ෂණ සඳහා අවශ්‍යවන සායන උපකරණ සපයාගැනිමට අරමුදලක් සකසා ගැනිම  පිණිස ජයතිලක බණ්ඩාරයන් ගී ගයන “ජීවිතයට  අරුතක්” සංගීතමය සැඳෑව  2013.04.27 වන සෙනසුරාදා පස්වරු 6.30 ට අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව් මැදුරු රංග ශාලාවේදී පැවැත්වේ.
ජනතාවාදී කලාකරුවකු , ගායන ශිල්පියෙකු ලෙස ජයතිලක බණ්ඩාරයන් සිය නිර්මාණාත්මක හඬ අවදිකරමින් නැවතත් රෝගී වූ රජරට මිනිසුන් වෙනුවෙන්  සිය දායකත්වය ලබාදිමට සූදානම්.  මීට පෙර ඒ අයුරින්ම එදා යුද්ධයට එරෙහිව යුද්ධයෙන් පීඩාවට පත්වු ජනතාව වෙනුවෙන් පෙනි සිටි ඔහු අද දවසේ වකුගඩු රෝගයෙන් පෙළෙන ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින  රජරට ජනතාව වෙනුවෙන් පෙනි සිටී. 
ඒ නිසා ජයතිලක බණ්ඩාරයන් ගී ගයන “ජීවිතයට  අරුතක්” සංගීතමය සැඳෑවට ඔබත් එන්න,  ඇවිත් ආලෝකයක් වෙන්න  ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින  රජරට වකුගඩු රෝගී ජනතාව වෙනුවෙන්. එවිට ඔබටත් දැනේවි,  ඇසේවි සුවහසක් දනන් අතරින් ප්‍රේමයේ මල් පිපි සිනාසී  රජරට  තැනිතලාවේ  වියළි බිම සිසාරා මේ  හමායන්නේ  ජීවිතය යදින මිනිසුන් උදෙසා නැගෙන  ඒ ඔහුගේම  හඬ නොවේද කියා…
http://aswanna.blogspot.com/