ගරු ශිරාන් පියතුමා ගැන මා තුල ඇති මතකයන් ගොනු කරන්න කියලා ඉල්ලා සිටි අවස්ථාවේ ඉදලා එතුමා ගැන ලියවුනු මාගේ මතකයන් එකින් එක පෙරලන්නට පටන් ගත්තේ නිතැතිනි.
එතුමා ගැන, කල කී දෑ ගැන බොහෝ අය බොහෝ දේ කියන නිසා එතුමා හා මා අතර ඇති වුණු ගණු දෙණු වලින් බිඳක් මෙලෙස අවදි කරන්නට සිතුනි.
මාගේ මතකය මුලින්ම දිව යන්නේ එතුමව අපුරුවට නෙත ගැටුණු මුල්ම දිනයයි.
මට ඒ වෙද්දී අවු. 11 ක් විතර ඇති. එවකට මා පුජාවට උදව් වන හා ගයනා කණ්ඩායමේ සාමාජිකයෙක්.
අපේ මිසමේ බොහෝ සමිති සමාගම් පාදක කර ගෙන එවකට අප කඳාන මීසම් සේවකව සිටි ගරු නික්ලස් පෙරේරා පියතුමා පාස්කු නාට්‍යයක් පුරුදු පුහුණු කරමින් සිටි අවස්ථාවක එම නාට්‍යයේ ප්‍රධාන චරිත රග පෑ ශිරාන් පියතුමාගේ අයියලා අක්කලා සමග අවු.5ක 6ක පමණ පුංචි කොල්ලෙක් ද සිය සොයුරියගේ අතැගිලි වල එල්ලී පැමිණියේ ය.
පසුව එම නාට්‍යයේ ම සුළු චරිත වන ක්‍රිස්තියනිකාරයින්ගේ චරිත මා සමග ඔහුද රගපැවේය.
ඒ පුංචි කොලුවා වෙන කවුරුවත් නොව අප ආදර ශිරාන් පියතුමාය.
එදා ඔහු මා ආමන්ත්‍රණය කළේ නිහාල් අයියා කියාය.
මේ ආදරණිය ඇමතුම එදා සිට ඔහු ස්වර්ගස්ථ වීමට පෙර දිනදී දුරකථනයෙන් මා ඇමතු මොහොත දක්වාම නොවෙනස්ව පැවතුණි. මාද හද පුරා හා කට පුරා ඔහුව ඇමතුවේ මල්ලී කියාය.
තවත් විශේෂ දෙයක් මට මේ මොහොතේ මතක් වෙනවා.
මෙතුමා දොන් බොස්කෝ පුංචි සෙමනේරියට ඇතුළු වන තුරුම කොයි කවුරුත් මෙතුමාව ඇමතුවේ අජිත් යන නමිනි. පසුව නුවර දොන් බොස්කෝ දෙව්සත්හලට ඇතුළු වූ පසු ඒ නමින්ම තවත් සිසුවෙක් සිටි නිසා එවකට අපගේ අධ්‍යාපන කටයුතු භාරව සිටි ගරු සෙක්ස්ටස් පියතුමාට මම යෝජනා කළා ඔහුගේ නමට “ශිරාන්” කියන කොටසකුත් තිබෙන නිසා එම නමින් ඔහුට අමන්ත්‍රණනය කරමු කියල. පසුව අජිත්; ශිරාන් යන නමින් බෞතිස්ම කරන ලද අතර, මේ වෙද්දී එතුමාගේ ගෙදර අය ඇතුළු දන්න කියන හැමෝම ඔහුව අමතන්නේ ශිරාන් පියතුමා කියාය. නමුත් මට ඔහු විශේෂ නිසා එදා සිට මේ දක්වාම ඇමතුවේ ශිරාන් මල්ලී කියාය. එයටද තවත් අති විශේෂ හේතුවක් ඇත.
අති විශේෂ හේතුව…
මම උසස්පෙළ විභාගයට මුහුණ දී ප්‍රථිපල බලාපොරොත්තුව සිටි කාලයේ එවකට කඳාන මිසමේ සේවක පියතුමාව සිටි ගරු හයසින්ත් පෙරේරා පියතුමා මට අරාධනා කළා දහම් පාසැලේ සිසුන්ට උගන්වන්නට. මා ඉගැන්වූයේ අටවන වසරේ ළමුන්ටයි. එම පන්තියේ ළමුන් අතර සිටි ශිරාන්වද මට නැවත මුණ ගැසෙන අතර එය අහබුවක් සේ අදටත් නොසලකමි. එලෙසම දහම් පාසලේ මගෙන් ඉගෙනුම ලද දරුවන් අතරින් ලින්ටස්, ඩෙස්මන් හා ටියුඩර් යන අය පසුව ගරු පුජාප්‍රසාදින් වී කරන අනුපමේය සේවය දිහා බලද්දී මට දැනෙන සතුට වචනයෙන් විස්තර කල නොහැක. පුදුමය නම් මේ හැම පියතුමෙක්ම පුජාත්වරය ලැබුවේ මට කලිනි.
විශේෂයෙන් ගරු ශිරාන් පියතුමා පුජාත්වරය ලැබුවේ මට විනාඩි 10 කට කලිනි.
මේ නිසාම දන්න අය අදටත් කියනනේ ගුරාට කලින් ගෝලයෝ ඉස්සර උනා කියලා. මට ඒ ගැන නිහතමානී සතුටක් හා ආඩම්බරයක් අදටත් දැනෙනවා.
කාලයාගේ ඇවෑමෙන් මට ශිරාන් මල්ලීව නැවත මුණ ගැසෙන්නේ කඳාන තරුණ කතෝලික සංගමයේදී ය. එවකට එම සමිතියේ සභාපති ධුරය දැරුවේ අද පියතුමකු වී සිටින ගරු නිමල් ජයන්ත පියතුමාය.
ඒ වෙද්දී ශිරාන් මල්ලී දක්ෂ ක්‍රීඩකයකු ලෙස සමිතිය තුල නම් දරා සිටියේය. ඔහුගේ පවුලේ අය හා මා අතරද ඉතා සමිප බැදීමක් ඇතිවී තිබිණි. ඒ සමයේ මා ඉතා කාර්යබහුල වී සිටියෙමි. දහම් පාසලේ ගීතිකා කණ්ඩායමේ, ල. ක්‍රි. වී. ශිෂ්‍ය සමිතියේ, කිතුදන පුබුදුවේ, ක්‍රියාකාරී නායකත්වයන් ඉසුලුවෙමි.කා
පුබුදු ඉගැන්වීම් අනුව දිනකට පැයක් පෞද්ගලික යැදුමක නිරත වීමට අවැසි නිසා මා ඒ සදහා තෝරා ගත්තේ කඳාන දේවස්ථානයයි. ඉඩ ලද හැම විටම හවස් වරුවක් ඒ සදහා වෙන්කලෙමි. පසු කලෙක ශිරාන් මල්ලි මට කිව්වා ඔහු ක්‍රීඩා කර අවසන් වී සුළු යැදුමකට දේවස්ථානය කරා එන හැම මොහොතකම මා යාච්ඤා කරමින් සිටින බව. ඉන් පසු ඔහුද ක්‍රමක් ක්‍රමයෙන් මද වෙලාවක් යාච්ඤා කරන්නට පෙලබුණ බවත්, මේ හේතුව නිසාම පසුව ඔහු තුල පියතුමකු වීමට අශාවක් ඇතිවුණු බවත් ය. එක තමයි දේව සැලස්ම. කාලය මේ ව්දිහට මොනතරම් වෙනස් කම් කර තිබෙනවද ?…. මේ කාල වකවානුව තුල කොයිතරම් දේවල් සිදු කරලා තිබෙනවාද ?…. මේ හැම දෙයක්ම ගොනු කිරීමට අවශ්‍ය නැතැයි මා සිතමි.
නමුත් මේ දේ නම් නොකියා බැරිය….
මා ඇසුරු කළ පියතුමන්ලා හා කන්‍යාසොයුරියන් මාව උනන්දු කළා පැවිදි ජිවිතයක් තෝරා ගැනීමට. ඒ වගේම ශිරාන් පියතුමාගේ වැඩිමහල් සොහොයුරෙක් වන ලෙනාඩ් අයියා ද මාව ඒ සදහා උනන්දු කළේය. යාච්ඤාව තුල මගපෙන්වීමක් ලබා මහනුවර දොන් බොස්කෝ පුංචි දෙව්සත්හලට සම්මුඛ පරීක්ෂණයට යාමට මා කටයුතු කරද්දී ශිරාන් මල්ලිද මා හමුවීමට පැමිණ පැවසුවේ ඔහුත් සෙමනේරි යන්න කැමති බවය. ඒ වෙද්දී ශිරාන් මල්ලිගේ සොහොයුරෙක් එම දෙව්සත්හලේ ඉගෙනුම ලබමින් සිටියේය. මේ විදිහට ගුරයි ගෝලයයි දෙන්නම එකටමයි දින දෙකක කදවුරකට ගියේත්, දොන් බොස්කෝ දෙව්සත්හලට ඇතුළු උනෙත්, විවිධ පුජක පුහුණුවීම් හා අධ්‍යාපනයන් සදහා, පිලිපීනය, ඉන්දියාව යන රටවල් වලට ගියෙත්, අවසානයේ දේව ධර්මය ඉගෙන ගැනීම සදහා මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලේ පුරා අවුරුදු හතරක් එකම පන්තියේ සිට 1996 දී අප නිකායේ තවත් සොයුරන් දෙදෙනකු වන ගරු සුනිල් පෙරේරා හා ඇන්තනි රංජිත් සමග පුජාත්වරය ලැබූ වෙමු.
ඔහු සමග අත්වැල් බැදගෙන ….
පසුකාලීනව මා ශ්‍රී ලංකාවේ සලේසියානු නිකායේ ප්‍රාදේශීයාධිපති පියතුමා ලෙස කටයුතු කරද්දී එතුමා අප නිකායේ මුදල් පරිපාලක ලෙස මට උපරිම සහාය දුන්නේය. මේ කරුණු කරණා දෙස බලද්දී, මෙතුමාගේ ජිවිතයේ විශේෂ අවස්ථා වලදී මාද ඔහු සමග අත්වැල් බැදගෙන සිටිය අයුරු කැපී පෙනෙයි. එම නිසාම මෙතුමාගේ හද ගැස්ම මම හොදින් හදුනමී. මෙතුමාගේ සැලෙසියානු හා සමාජ දැක්ම හැදින ගතිමි. මෙතුමා අප නිකාය වෙනුවෙන් කල කැපවීම, පරිත්‍යාගයන් හා ඇතුලු සේවාව ගැන අදට වඩා හෙට රැව්පිළිරැව් දේවී. නිකාය වෙනුවෙන් එතුමා කර ඇති මහගු සැලස්මවල් මා සමග නිරතුරු බෙදාගෙන තිබේ.
විශේෂයෙන් අප රටේ දුප්පත් අසරණ දු පුතුන් වෙනුවෙන් මෙතුමා කැපී පෙනෙන ප්‍රශංශාත්මක සේවාවක් කර ඇති බවට අප කවුරුත් දන්නා අතර එම සේවාව වඩා ක්‍රමවත්ව හා පුළුල්ව කිරීමට මෙතුමා තුල සැලසුමක් තිබිණි. ශ්‍රී ලංකාවට පැමිණි විගස එය දියත් කිරීමට විශාල උනන්දුවක් තිබුණු අතර ඒ සදහා දායක වීමට මටද ඇරයුම් කරන ලදි. එතුමා කිට්ටුවෙන් ඇසුරු කළ අය සමගද මේ සිහිනය ගැන කථා කර තිබිණි.
නමුත් එතුමා ගැන දෙවියන් වහන්සේ තුළ වෙනත් සැලැස්මක් තිබෙන්නට ඇති, උන්වහන්සේ අප ශිරාන් පියතුමා කරපු කියපු හා සිතන පතන දේවල් රහසින් බලා සිටින්නට ඇත. ඒ ගැන සත්සුදක් සේ සතුටු වන්නට ඇත. ශිරාන් පියතුමාගේ හිත ශක්තිමත් උනත්, ගතට, මනසට විවේකයක් අවශ්‍ය බව දෙවියන්වහන්සේට දැනෙන්නට ඇති.
අප ශිරාන් පියතුමාට මේ ලෞකික ලෝකය තුල, මේ විෂම සමාජය තුල, කුහක මිනිසුන් අතර, තම ජිවිත කුරුසිය රැගෙන යන්නට ලොකු සටනක් දිය යුතු බව දැනෙන්නට ඇති. ඒ නිසාම දෙවි මහෝත්මයාණන් වහන්සේ අප පියතුමාට ඇති ආදරය නිසාම කියන්නට ඇති….
“දැන් ඔය ඇති පුතේ; මම ඔබ ගැන අතිශයින් ප්‍රසන්නයි; දැන් ඉතින් එන්න, මා ලගට ඇවිත් විවේක ගන්න; මාගේ ගෙදර ඔබ වෙනුවෙන් තැනක් වෙන්කරලයි තියෙන්නේ.”
පියතුමා ස්වර්ගස්ථ වීමට පෙර දින මා හට දුරකථනයෙන් කථා කල සංවාදය අවසන් වීමට මත්තෙන් එතුමා මදක් කලබලයෙන් පැවසුවා,….. “නිහාල් අයියේ මට කථා කරනවා, ගිහින් ඇවිල්ලා කෝල් එකක් ගන්නම්” යනුවෙන් කියා ඔබ යන්නට ගියා දේව තාත්තා ලගට, යළි අප අතරට නොඑන ලෙසම, මට සක්සුදක් සේ පැහැදිලියි ඔබ ඉතා සතුටින් සැනසීමෙන් හා සුවයෙන්, දෙවි පියා තුරුලේ වෙසෙන බවට. එතෙක් බලා සිටිමි, නැවත ඔබ මා අමතන තුරු….. ඒ ඇමතුම සමහර විට දෙව්පිය තුරුලට එන්නට කියාදෑයි නොදනිමි.
එතෙක්;….
ඔබව කිසි දින සිතින් බැහැර නොකරමී…
නිහාල් අයියා.
නිහාල් ලියනගේ පියතුමා (දෝ.සැ.නි.)