ගුවන්තොටුපලේ විසා අවුල ගැන සදුදාට විශේෂ මාධ්‍ය හමුවක් – ඇමති ටිරාන් කියයි !

0
323

කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු විදේශීය පෞද්ගලික සමාගම භාරගත් අවස්ථාවේදී යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවූයේදැයි සොයා බැලීමට පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පැවසු බව ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

වීසා නිකුත් කිරීමේ අංශයේ කාර්මික දෝෂ නිරවුල් කිරීමෙන් පසු එහි කටයුතු නැවතත්  එම සමාගමට බාරදෙන බව පැවසූ ලේකම්වරයා වීසා නිකුත් කිරීමේ කටයුතු  විදේශ සමාගමට පවරනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් බවද එම පුවතේ වැඩිදුරටත් සඳහන්ය

සඳුදා විශේෂ මාධ්‍ය හමුවක් !

සංචාරකයින්ට වීසා නිකුත් කිරීම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අදාළව මේ වන විට රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ලබන සඳුදා පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදුකිරීමට නියමිතය.

විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් අදාළ රාජ්‍ය නිලධාරීන් සමඟ මෙම මාධ්‍ය හමුවට එක්වන අතර, එහිදී මතුවී ඇති ඕනෑම ගැටලුවකට පිළිතුරු සැපයීමට සූදානමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේදිනවල විදේශගතව සිටින අතර ඔහු ඉරිදා (05) යළි දිවයිනට පැමිණීමට නියමිතය.

කටුනායක ගුවන්තොටුපළ තුළ වීසා නිකුත් කිරිම සම්බන්ධව ඇති වු ගැටලුව ආණ්ඩුවේ පුද්ගලික කරන ප්‍රතිපත්තියට වැදුනු කනේ පාරක් ලෙස ඩලස් අලහප්පෙරුම “නිදහස” ප්‍රධාන කාර්යාලයේදී ජනමාධ්‍ය අමතා පවසා තිබුණි

ආගමන විගමන නිලධාරින් විසින් මැනවින් කළමනාකරණය කරනු ලැබූ මෙම වීසා නිකුත් කිරීමේ කටයුත්ත විදේශ සමාගමට පැවරීම මුළුමනින්ම අසාර්ථක වුවා පමනක් නොව විදෙස් සංචාරකයින්ගේ බරපතළ විරෝධයට ද හේතුවක් වු බවද ඔහු අවධාරණය කර තිබුණි

 

මුලාශ්‍රය – ද ලිඩර්