ගොවියාගේ දහඩිය කඳුළු මැද කසල ගොඩට වැටුනු වට්ටක්කා පලදාව ..

0
127

DSC_0922

කොළඹ  හලාවතපාරේ  කට්ටුව  ප්‍රදේශයේ   ස්ථානයක  පසුගිය  දිනවලදී   වට්ටක්කා   ගෙඩියක්  රු.  50/ ක්වැනි  මිලකට  අලෙවි  කරනු  දැකිය   හැකිවිය.  ඒවනවිට  වට්ටක්කා   ගොවීන්  මුහුණ දුන්  ප්‍රධාන  අර්බුධය   තමන්  ලබාගත්  අස්වැන්න   විකුණා ගැනීමට  නොහැකි  තත්වයකට  පත්වීමයි. ඒනිසා  මෙම   වට්ටක්කා  ඉතා  අඩු  මිල ගනන්වලට  හෝ  විකුණා  තම  පාඩුව  පියවා  ගැනීම  සඳහා  මෙසේ  අඩුමිලකට   විනිණීමට  තීරණය  කළා  විය හැක.  නමුත්  දින  කිහිපයක  සිට  වට්ටක්කා  තොගය  තිබුනු  නමත්   ඒ  අසල සිටි වෙළෙන්දා   දක්නට  සිටියේ  නැත.  කිසිවෙකු  මේවා  හොරෙන්  හෝ  රැගෙනයාමක්  සිදුවී  නොතිබින.  මෙසේ  දින  පසුවී  යත්ම   සමහර  වට්ටක්කා  ගෙඩි  කුණුවී  පනුවන්ද  සිටිනු  පෙනින.

නමුත්   27දා  (අද)  එම  ස්ථානයේම   නැවත  වට්ටක්කා  ලොරියක  දමා  ගෙනැවිත්  විකුණන  තරුණයෙකු  දැකියහැකි විය.    ඔහුගෙන්   කළින්  වට්ටක්කා   තොගය  පාර  අයිනේ   දමාගිය  වෙළෙන්දා  ගැන  විමසූ   නමුත්  ඔහු  ඒගැන  නොදන්නා බව පැවසීය.  ගොඩගසා  තිබුනු  එම  වට්ටක්කා   ගොඩ  අයිනකට  කර  ඔහුගේ  තොගය   එතනම තබා  මේ  තරුණයාද  ගෙඩිය  රු. 50/  බැගින්  විකුණයි.  මිල  සීග්‍රයෙන්   පහළ  බැස්සේ  ඇයිද  කියා  ඔහුගෙන්  විමසූ  විට  ඔහු  කීවේ  අස්වැන්න   වැඩිවීම  නිසා  මිල  පහළ  බැස්ස  බවයි. ඉල්ලුමට  අනුව  සැපයුමත්,  ඒ අනුව  මිල  නියම වීමත්    ආර්ථික  විද්‍යාවේ  මූලික  සිද්ධාන්තයකි.  නමුත්  රටක  සංවර්ධනය   සඳහා  ප්‍රධාන  සාධකය  වන‍්නේ  ඒ  රටේ   ජාතික  නිෂ්පාදනයේ  ඉහළ  යාමයි.

ඉහත  සඳහන්  පරිදි  තමන්  වගාකළ  භෝගය  සාධාරණ  මිලකට  විකුණා  ගැනීම   සෑම  ගොවිමහතෙකුගේ  අරමුණයි.   දහසකුත්  එකක්  දුක්ගැහැට විඳ  කනකර  පවා  උගස්තියමින්  විශාල  බලාපොරොත්තු  ඇතිව  වගාකළ  තම  එලවළු  මෙසේ  පාරක්  අයිනක  කුනුවී  පනුවන්ට  ආහාරයක්  වේයැයි    මෙකී   වට්ටක්කා  තොගය  වගාකළ  ගොවිමහතා  හීනෙන්වත්  නොසිතන්නට  ඇත. වගාකරන  බෝගය  සම්බන්ධව  තීරණ  ගැනීමේදී   ඒවා  නිසිලෙස   හැසිරවීම  උදෙසා   ඊට  අදාල  වගකිවයුත්තෝ    සිටිති.   මේ  අය  තමන්ගේ   පුද්ගලික  වුවමනා  එපාකම්  ගැන  පමණක්  සිතා  කටයුතු  කරන්නේ නම් එලවළු  ගොවියා  ඉහත සඳහන්  කරනලද   පීඩාවන්ට  පත්වීම  නොවැලැක්විය  හැකිය.   පාරවල්  අයිනේ  මෙසේ  මෙවැනි  එලවළු  වර්ග  විසිකර  දමා  යන්නේ  ඔවුන්ට  මානසික  ආබාධයක්  ඇති  නිසා  නොවන  බව  අපි  දනිමු.නමුත්  ජීවත්වීම  උදෙසා  ගොවීන්  සතුව  පවතින  එකම  කොන්දේසිය  වන  තමන්  වගාකරන  දෑ  සඳහා  නිසි  මිලක්  නොලැබෙන්නේනම්  මානසික  ආබාධ  හැදීමද   පුදමවිය  යුතු  කරුණක්  වන්නේ  නැත. එබැවින්  රටේ  ජීවනාලිය  නැතිනම්  ආර්ථිකයේ  කොඳු  නාරටිය  වන  ගොවියා  රැක ගැනීමට  වැඩපිළිවෙලක්  සැකසිය  යුතුව  ඇති බව  අප  අවධාරණය  කරන්නෙමු.


සැම්සන් ඥානසිරි