spot_img
spot_img
Wednesday, September 25, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Articles ගෝඨා විකුණුවේ උණුසුම තියාගන්න ! අපේක්ෂකයා වෙනත් අයෙක් !

ගෝඨා විකුණුවේ උණුසුම තියාගන්න ! අපේක්ෂකයා වෙනත් අයෙක් !

0
61
Mahinda_gotabaya
ගෝඨාභය රාජපක්ෂට ඉදිරි ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකි බව තහවුරු වී තිබියදී ඔහු වටා පෙළ ගැසී සිටින ජාතිවාදී බලවේග ඒ දක්වා උණුසුම්ව ක්‍රියාකාරීව තබාගැනීමේ අරමුණින් ඔහුගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය කර ඇතැයි සති අන්ත ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර තිබේ.
ජනාධිපතිවරණ නාමයෝජනා කැඳවීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඒ අනුව වෙනස් අයෙකු ඉදිරිපත් කිරීමටත් එහිදී ගෝඨාභය රාජපක්ෂට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකි වීම අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමෙරිකානු රජය අතර සිදුවූ කුමන්ත්‍රණයකින් සිදුවූවක් බවට ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.මෙම සැලසුමට අනුව අගෝස්තු 11 වැනිදා ගෝඨාභය රාජපක්ෂගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු ඔහු අගෝස්තු 13 වැනිදා ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමෙන් ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ඉන්පසු එදිනම මහනුවරට පැමිණ මල්වතු හා අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීමට නියමිත අතර ඒ සඳහා දැනටමත් දින වෙන් කරගෙන ඇත.එමෙන්ම එදින මහනුවර නගරයේ පිළිගැනීම් ඇතුළු උත්සව පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇත. තවද පුවත්පත් දැන්වීම් ඇතුළු වෙනත් ප්‍රචාරක කටයුතු එම දිනය නිමිත්තෙන් සිදු කිරීමටද නියමිතය.වාර්තාවන්ගේ ගෝඨාභය රාජපක්ෂගේ නම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයන්ගේ නම් ඇතුළත් දෙවැනි කාර්තු වාර්තාවටද ඇතුළත් නැති බවය. එය මහජනයාට බලා ගැනීම සඳහා තවම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. එහෙත් එය ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත්වීමට නියමිතය.

එහි තුන්වන කාර්තුවට අදාළ වාර්තාව නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත්වීමට ඉඩ ඇති අතර ඒ වනවිට ජනාධිපවරණය සඳහා නාමයෝජනා බාරගැනීම අවසන් වී පවතිනු ඇත.

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු !

ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ අපරාධ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ කර ඇති පැමිණිලිවලට විමර්ශනද අවසන් වනතෙක් ඔහුගේ පුරවැසිභාවය අත්හැරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව පියවරක් නොගන්නා බවද එය සාමාන්‍ය ක්‍රමවේදය බවද ඇමරිකාවට සම්බන්ධ අපගේ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු යැයි කියන පිරිස්ද ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කළා යැයි මාධ්‍යයට බොරු ප්‍රකාශ කළද ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් නොකරති. ගෝඨාභය රාජපක්ෂද සාක්ෂි ඉදිරිපත් කරමින් ඒ ගැන කිසිවක් නොකියයි.

සාමාන්‍යයෙන් පුරවැසිභාවය ඉවත් කිරීමේදී ඒ සම්බන්ධයෙන් නිල සහතිකයක් එම පුරවැසියට ලබාදෙනු ලැබේ. සාමාන්‍යයෙන් එම සහතිකය නිකුත් කිරීම සඳහා පුරවැසිභාවය ඉවත් කිරීමේ ඉල්ලීමකින් පසු අවුරුද්දක කාලයක් ගතවෙන බව එම ක්ෂේත්‍රයට අදාළව කටයුතු කරන නීතිඥ සමාගම්වල මතය වේ.

ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා ඉල්ලීම ලබාදී තවම අවුරුද්දක කාලයක් ගතවී නැත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා සන්ධානගතවී සිටින සමහර පක්ෂද අගෝස්තු පළමු සතිය වනවිට ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත යුතු බව තහවුරු කිරීම සිදුකළ යුතු බවට දැනුම්දීම් කර ඇති අතර මෙතෙක් එම පක්ෂවලටද එවැනි තහවුරු කිරීමක් කර නැත.

එමෙන්ම ආගමන විගමන පාලකවරයාටද සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට ගෝඨාභය රාජපක්ෂ මේ වන තෙක් දැනුම් දීමක් කර නැත. ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරනු ලබන්නේ සාක්ෂි සහිතව සිදුකරන එම දැනුම්දීමෙන් පසුවය.

‘මහින්දගේ විහිළු කතා ගණන් ගන්න එපා’ – අලුත්ගමගේ කියයි

එළඹෙන අගෝස්තු එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) සම්මේලනය පවත්වා ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර ඒ අනුව අගෝස්තු 10 වැනිදා වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත එය දැනුම්දීමේ වගකීම විපක්ෂ නායකවරයා වෙත පවරා ඇත.

එසේ තිබිය දී ජුලි 21දා කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ කියා සිටියේ, ඉදිරි ජනපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බවක් තමන් පවසා නොමැති බවයි.

අපේක්ෂකත්වයට සුදුසු පස් දෙනෙකුගේ නම් යෝජනා වී ඇතැයි මහින්ද රාජපක්ෂ එහිදී කළ ප්‍රකාශය පිළිබඳව ‘අනිද්දා’ කල විමසීමකදී ප්‍රතිචාර දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ, එය විහිලුවට කළ කතාවක් බවයි.

”නැහැ. නැහැ. ඒ විහිළුවට. එහෙම වෙනත් අපේක්ෂකයෝ නැහැ. ඔය නම් කීවේ විහිළුවට එදා පක්ෂ නායක රැස්වීමේදී විහිළුවට අපේක්ෂකයෝ පස් දෙනෙකුගේ නම් කියලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා හැරුණාම වෙන කාගෙවත් නම යෝජනා කරලා නැහැ.” මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
newstube.lk