ජනතා ජයග්‍රහණය, පරාජයක් නොවීමට ප්‍රතිසංස්කරණ දිනා ගනිමු! – මාධ්‍ය නිවේදනය

0
250

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට, ජනාධිපතිවරයෙක් තම ධූරයෙන් පලාගියේ අද (09) වන් දිනකදීය. එම ජනතා ජයග්‍රණය වෙනුවෙන් කැපවූ සංවිධාන අතර සිටි එක් සංවිධානයක් ලෙස Black Cap Movement අප ප්‍රකාශ කරන්නේ එම ජනතා ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කර ගැනීම සියලු පුරවැසි සංවිධාන වල වගකිමක් බවයි.

විදුලිය,ඉන්ධන ප්‍රශ්ණය සම්බන්ධයෙන් Black Cap Movement සාමාජිකයන් 2022 මාර්තු මාසයේ පැවැති නුගේගොඩින් ඇරඹි පළමු විරෝධතාවය

කෙසේනමුත් අද වන විට පසුගිය වසරේ රටේ තිබූ රාජ්‍ය බංකොලොත්භාවය සහ බිඳවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට යම් තරමකට සමනය වී ඇතත් අත්‍යවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ මේ වන විට පවතින්නේ මන්දගාමී ස්වරූපයකය. විශේෂයෙන් ජනතාව පාලන ක්‍රියාවලියට සහභාගීකරගන්නා සහභාගීත්ව ආකෘතියක් කඩිනමින් ස්ථාපනය විය යුතු අතර ඒ ක්‍රියාවලිය මත පදනම්ව ඉදිරියට ඉතිරි සියළු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් සංවිධානය විය යුතුය. එසේම දිගු කාලීන සාමයත් සහ සමෘද්ධියක් අත් කර ගැනීම වෙනුවෙන් කඩිනමින් සමාජ සාධාරණත්ව කොමිසම (Social Justice Commission) සහ සත්‍ය සහ සංහිඳියාව පිළිබඳ කොමිසම (Truth and Reconciliation Commission) පිහිටුවා ගැනීමටත් කටයුතු කළ යුතුය.

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මන්දගාමීවීමෙන් එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ජනතාව දැඩි ආතතියකට ලක්ව ඇති බව අප හැඟීමයි. එබැවින් ශ්‍රී ලංකාව ආදායම් උත්පාදන ආර්ථිකයක් බවට වේගයෙන් පරිවර්තනය විය යුතු අතර අවශ්‍ය දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ වහාම කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

මෙම පියවර ගත යුතු එකම විකල්පය ධනවාදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මාවතක් හරහාය. අරගලයෙන් වසරකට පසු ඇති ලොකුම අභියෝගය වන්නේ මෙම විශාල ප්‍රගතිය ලබා ගැනීම වන අතර ඒ සඳහා අපට ‘නව සමාජ සම්මුතියක්’ බිහිකර ගත හැකි බව අප විශ්වාසයයි.

කෙසේ වෙතත් අරගලයෙන් පසු තහවුරු වී ඇති දේශපාලනය කිරීමේ අයිතියත් පුරවැසි සංවිධාන ලෙස බලපෑම් කිරීමේ අයිතියත් භාවිතා කර ‘නව සමාජ සම්මුතියක්’ බිහිකර ගැනීම සඳහා කැපවන මෙන් අප සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.
Black Cap Movement