ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම මෙවර ශ්‍රී ලංකාවේදී

0
68
stop-violence-against-journalistsඑළඹෙන දෙසැම්බර් 4 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීමට නියමිත ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම්  සම්මන්ත්‍රණය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට පියවර ගෙන ඇත. එය සංවිධානය කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) විසිනි.
මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත දේශණය පවත්වනු ලබන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්වන  අතර  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහ යුනෙස්කෝ සංවිධානයේ ජනමාධ්‍ය හා ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක ගයි බර්ගර් මහතා ද මෙහිදී දේශන පැවැත්වීමට නියමිතය‍.
මෙවර සම්මන්ත්‍රණයේදී කලාපීය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ආසියානු කලාපීය මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කිරීම සම්බන්ධයෙන් කථිකා පැවැත්වෙන අතර  ජනමාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව අධිකරණය,  ජාතික මානව හිමිකම් කොමිෂන් සහා සහ සිවිල් සමාජයේ භූමිකාව කෙරෙහි ද අවධානය යොමු කෙරෙනු ඇත.
ජනමාධ්‍යවේදීන්ට එරෙහිව වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ගතයුතු ඉදිරි පියවර හා විසඳුම් හඳුනා ගැනීම මගින් මාධ්‍යවේදීන්ට එල්ලවන ප්‍රචණ්ඩත්වයට එරෙහි අපරාධ සඳහා දඬුවම් නොදීමේ අරගලය ශක්තිමත් කිරීම හා මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ රාමුව පුළුල් කිරීම ද මෙම සම්මන්ත්‍රණයේ අරමුණු වී ඇත.